වෙවචන හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො වෙවචන හාරො යනු වෙවචන හාර විභංගයයි. එහි යම්සේ වෙවචන නිර්දේශය වෙයි ද එය දක්වන්නට එකං භගවා ධම්මං අඤ්ඤමඤ්චෙහි වෙවචනෙහි නිද්දිසති යි කියන ලදි. වෙවචනෙහි යනු පර්යාය ශබ්දයන්ගෙන් යන අර්ථයයි. පදාර්ථය මුලදී කියන ලද ම ය. භාග්‍යවතුන් වහන්සේ කවර හෙයකින් එක් ධර්මයක් නොයෙක් පර්යායන්ගෙන් දක්වන සේක් ද? කියනු ලැබේ. දේශනා කාලයෙහි ද මත්තෙහි ද කිසිවෙක්, කෙසේනම් යන අර්ථ අවබෝධය පරියාය වචනයෙන් වෙයි. එකෙණෙහි වික්‍ෂිප්ත වූ සිත් ඇති වෙන දෙසකට යොමු වූ සිත් ඇති අයට අන්‍ය ක්‍රමයකින් ඒ අර්ථාවබෝධය කරනු පිණිස පර්යාය වචනය යොදාගැනේ. එහිදී ඒ පදයෙන්ම ඉන් අන්‍ය වූ පදවල පුනරුක්ත අවබෝධ වන්නේය. මන්දබුද්ධිකයන්ට නැවත නැවත ඒ අර්ථ සලකුණෙහි නොමුළාවීම පිණිස පර්යාය වචන යොදා ගැනේ. නොයෙක් අර්ථ සමාන ව්‍යඤ්ජන සහිත වෙත් යන යම් අර්ථාන්තර පරිකල්පනයක් වේ ද එය දුරුකරනු පිණිස ද පර්යාය වචනය යොදා ගැනේ. නොදන්නා වචනයකදී විවිධ වූ ඒ ඒ සංඥාවන්ගෙන් ඒ ඒ අර්ථ හැඟවීම පිණිස ද පර්යාය වචන යොදාගැනේ. නිඝණ්ඩු ශාස්ත්‍රයෙහි මෙනි. පෙළ අර්ථය අවබෝධ කරගන්නා ධර්ම කථිකයන්ගේ සුඛසිද්ධිය පිණිස ද පර්යාය වචන යොදාගැනේ. හික්මවිය යුතු පුද්ගලයන්ට තමන්ගේ ධර්ම නිරුක්ති පටිසම්භිදා සම්පත් විභාවනය කරනු පිණිසත් එහි බීජ වපුරනු පිණිසත් භාග්‍යවතුන් වහන්සේ පර්යාය වචන නිර්දේශ කරන සේක.
බොහෝ කොට කීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යම් ධර්ම ධාතුවක් මනාව අවබෝධ කළ හෙයින් සම්‍යක් සම්බුදුන් වහන්සේ යම්සේ සියලු අර්ථයන්හි නොවළක්වන ලද ඤාණාචාරයක් ඇත්තේ ද එසේ සියලු ශබ්ද ව්‍යවහාරයෙහි එක් අර්ථයක් ද නොයෙක් ක්‍රමයන්ගෙන් අවබෝධ කරවයි. එහිදී අර්ථයේ අඥාන බවක් අඩාල බවක් ඇති නොවේ. ධර්මදේශනා හානියක් ද නොවේ. මෙය බුද්ධධර්මයේ ආවේණික දෙයකි. පර්යාය දේශනාව දක්වමින් ආසා යනාදිය කියන ලදි. එහි අර්ථය දක්වනුයේ ආසානාම වුච්චති යා භවිස්සස්ස අත්‍ථස්ස යනාදිය කියන ලදි. එහි භවිස්සස්ස අත්‍ථස්ස යනු අනාගතයේ කැමතිවිය යුතු අර්ථයේය. අවස්සං ආගමිස්සති යනුවෙන් එහි පැවැත්මේ ස්වරූපය දක්වයි. අනාගත අර්ථවිෂය පිළිබඳ තණ්හාව ආශාවයි. අනාගත වර්තමාන අර්ථවිෂය පිළිබඳ තණ්හාව පිහා නමි. මේ මේවායේ විශේෂයයි.
අත්‍ථනිප්ඵත්ති පටිපාලනා යනු යමකින් කැමති අර්ථයේ නිෂ්පත්තිය රකී ද ඉවසා ද යමකින් නිපන්නා වූ අර්ථය පාලනය කෙරේද රකී ද මෙය අභිනන්‍දනා නමි. ලබන ලද පරිදි අර්ථයේ මමත්‍ව ග්‍රහණය නම් වේ යන අර්ථයයි. ඒ අර්ථ නිෂ්පත්තිය සත්ත්ව සංස්කාර වශයෙන් බෙදා දක්වන්නේ පියං වා ඤාතිං යනාදිය කීහ. එහි ධම්මං යනු රූපාදි වූ අරමුණුය. ඉෂ්ටාරම්මණයෙහි සතුටු වෙයි. අනිෂ්ටාරම්මණයෙහි ද එය දක්වන්නට අප්පටිකූලතො වා අභිනන්‍දති යි කියන ලදි. පිළිකුල් සහගත දෙයින ද විපර්යාස වශයෙන් සත්ත්වයා හෝ සංස්කාර හෝ අප්‍රතිකූල වශයෙන් සතුටු වෙයි.
තණ්හාව යම් නොයෙක් ධාතූන්හි පැවැත්මෙන් අනෙක ධාතුසු සරා යයි කියන ලද ද ඒ ධාතූහු විභාග වශයෙන් දක්වන්නට චක්ඛුධාතු ආදිය කියන ලදි. කෙසේ වුව ද ධාතු විභංග ආදී සූත්‍රවල කාමධාතු ආදි අනෙක් ධාතු සඳහන්ය. මෙහිදීම ඒවායේ ද එකතුව දක්වනු පිණිස අටළොස්ව දක්වන ලදි. කෙචිරූපාධිමුත්තා යනාදිය ඒ ධාතූන්හි තණ්හාවේ පැවැත්ම දැක්වීමකි. එහිදී යම්හෙයකින් ආධ්‍යාත්මික ධාතු පස ද විඤ්ඤාණ ධාතු සූත්‍ර ද ධම්මධාතුව ද ධර්මාරම්මණයෙහිම සංග්‍රහ කරන ලද ද එහෙයින් අටළොස් ධාතු දක්වා ෂඩ්විධ තණ්හාවේ ප්‍රවෘත්ති ස්ථාන බෙදන ලදැයි දතයුතුය. ආශාව හේතුකරගෙන දොම්නස වේ යන ප්‍රකාශයෙන් තෘෂ්ණාවට පක්‍ෂ වූ නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කරගත් දොම්නස් හැසිරීම් ඒවා අතර වූ විමෝක්‍ෂයන්හි ආශාව එළඹවමින් උපදියි. ගෙහසිත වූ දොම්නස් හැසිරීම්වලදී කවර කතා ද යනු දැක්වීමට ඉමානි චතුවීසති පදානි තණ්හා පෙක්ඛා යි කියන ලදි. ගෙහසිත උපේක්‍ෂාව නොදන්නා වූ උපේක්‍ෂාවට කැමති පරිදි ප්‍රවිෂ්ට වී ප්‍රත්‍ය වේ යයි ඡ උපෙක්ඛා ගෙහසිතා අයං දිට්ඨිපක්ඛො යනුවෙන් කියන ලදි.