පඤ්ඤත්ති හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො පඤ්ඤත්ති හාරො යනු පඤ්ඤත්ති හාර විභංගයයි. එහිදී මේ පඤ්ඤත්ති නම් කවරී ද? කියන ලදි. යා පකති කථාය දෙසනා යන මෙය කියන ලද්දේ වෙයි. දේශනා හාරාදිය මෙන් ආශ්වාද ආදි පදාර්ථ විශේෂ වෙන් නොකොට භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවික ධර්ම කථාවෙන් යුත් යම් දේශනාවක් වේ ද, එය එහි පැනවීමෙන් මේ පඤ්ඤත්තිහාරය බවට පත්වේ. යම්හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ආකාරයෙන් හික්මවනු ලබන පුද්ගලයන්ගේ සිතෙහි අභිප්‍රේතාර්ථය තබන්නේනුයි නික්ඛෙප නම් වේ. මේ හාරය දුක් සංඛ්‍යාත කොටස් ඒ ඒ ප්‍රකාරයන්ගෙන් හඟවයි. අමිශ්‍රව තබයි ද එහෙයින් ඊට නික්ඛෙපපඤ්ඤත්ති ය යැයි කියන ලදී. මෙසේ ප්‍රකෘති කථාවේ දේශනාව යැයි සංක්‍ෂේපයෙන් කියන ලද අර්ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට කා ච පකතිකථාය දෙසනා යි විමසා චත්තාරි සච්චානි යනාදිය කියන ලදී.
තත්‍ථ ඉදං දුක්ඛන්ති අයං පඤ්ඤත්ති යනු කර්කශ ස්පර්ශාදි ස්වභාව ඇති අතීත ආදී වශයෙන් බෙදුණු රූප අරූප ධර්මයන් නොබිඳ පීළන, සංඛත, සන්තාප, විපරිණාම ආදී අර්ථ සාමාන්‍යයෙන් නින්දිත බව ආදි ප්‍රවේශයන්ගෙන් එක්ව ගැනීමට හේතු වූ යම් ප්‍රඥප්තියක් වේ ද එයයි. එය කවරේ ද? නාමපඤ්ඤත්ති නිබන්‍ධනය හා තජ්ජා පඤ්ඤත්තියයි. අනෙක් ඒවා වෙනස් හැඳිනීම් සහිත ශබ්දමය. මේ ක්‍රමයෙන් ඒ ඒ තැන ප්‍රඥප්ති අර්ථය දතයුතුය. පඤ්චන්නං ඛන්‍ධානං යනාදියෙන් ඒ ප්‍රඥප්තියේ උපාදානය දක්වයි. දසන්නං ඉන්‍ද්‍රියානං යනු රූප ඉන්‍ද්‍රිය අට, මනින්‍ද්‍රිය, වෙදනා ඉන්‍ද්‍රිය යන මේ දහයේ ය. වින්දනය කිරීමේ සාමාන්‍යයෙන් වේදනාව එක් ඉන්‍ද්‍රියක් බවට පත්කරන ලදි. ශ්‍රද්ධාදිය ද ආර්ය මාර්ගයට පක්‍ෂ වූ දේ ද එසේමය.
පිඬු කෙරේනුයි කබලීකාර නම් වේ. මේ නිර්දේශය වස්තු වශයෙනි. යම් ඕජාවකින් සත්ත්වයෝ යැපෙත් ද මේ ඊට වෙනත් වචනයකි. එය ඕජාව අටවැනි වූ රූපය ආභරණය කරන බැවින් ආහාර නම් වේ. අත්‍ථි යනු මාර්ගයෙන් නොසිඳි බැවින් විද්‍යමාන වේ යනුයි. රාගො යනු රඤ්ජනාර්ථයෙන් රාග නම් වේ. නන්‍දනාර්ථයෙන් නන්‍දි නම් වේ. ආශා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. මේ සියල්ල ලේභයට ම යෙදෙන නාමයන් ය. පතිට්ඨිතං තත්‍ථ විඤ්ඤාණං විරූළ්හං යනු කර්මය දුවවා ප්‍රතිසන්ධිය ඇදගැනීමට සමත් බැවින් පිහිටියා වූ ද වර්ධනය වූ ද විඤ්ඤාණයයි. යත්‍ථ යනු ත්‍රෛභූමක සසරෙහි භූමියයි. සියලු තැන හෝ පළමු පළමු පදයෙහි හෝ මේ භූමිය වේ. අත්‍ථි තත්‍ථ සංඛාරානං වුඩ්ඪි යන්න මේ විපාක සසරෙහි පිහිටි මත්තෙහි වැඩීමට කරුණු වන යම් සංස්කාර වේ ද ඒවා සඳහා කියන ලදි. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ්භවාහි නිබ්බත්තති යනු යම්තැනක මත්තහෙි පුනර්භවයේ පහළවීමක් වේ ද එයයි. අත්‍ථි තත්‍ථ ආයතිං ජරාමරණං යනු යම්තැනක පිළිසිඳ ගැනීම වේද එතැන ස්කන්ධයන්ගේ පහළවීම් සංඛ්‍යාත උපත ද මේරීම් ලක්‍ෂණ ඇති ජරාව ද බිඳීම් ලක්‍ෂණ ඇති මරණය ද වේ යනුයි. අයං පභව පඤ්ඤත්ති දුක්ඛස්ස ච සමුදයස්ස ච යනු කියන ලද පරිදි මේ දේශනාව දුක්ඛ සත්‍යයේ ද සමුදය සත්‍යයේ ද සමුට්ඨාන පඤ්ඤත්තිය වේ යනුයි. තණ්හා හේතුව දක්වන ලද බැවින් විපාකවට්ටයෙහි වූ සංස්කාරයන්ගේ ද සමුට්ඨාන පඤ්ඤත්තිය වේ යන අදහසයි.
නත්‍ථි රාගො යනු ශ්‍රේෂ්ඨ වූ මාර්ග භාවනාවෙන් මුලින්ම සිඳ දමන ලද බැවින් රාගය නැත යනුයි. අප්පතිට්ඨිතං තත්‍ථ විඤ්ඤාණං අවිරූළ්හං යනු කර්මය දුව වා ප්‍රතිසන්ධිය ඇදගැනීමට සමත්කමක් නැති බැවින් අප්පතිට්ඨිත වූයේ ද අවිරූළ්හ වූයේ ද කියන ලද ප්‍රතිපක්‍ෂ න්‍යායෙන් අර්ථය දතයුතුය යනුයි.
අයං පරිඤ්ඤා පඤ්ඤත්ති යනාදියෙන් එක්වන් අවබෝධය වශයෙන්ම මාර්ග සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍යයෙහි පවතී යැයි දක්වයි. අයං භාවනා පඤ්ඤත්ති යනු සදොර පවත්නා ධර්මයන්ගේ ද්වාර පිළිබඳ අරමුණුවලින් ආර්ය මාර්ගය ගැන අනිත්‍ය ලෙස දැකීම භාවනා පඤ්ඤත්තිය වේ යනුයි. නිරොධ පඤ්ඤත්ති නිරොධස්ස යනු රෝධ සංඛ්‍යාත තණ්හාව ආර්ය මාර්ගයෙන් ඉතිරි නොකර නිරුද්ධ කරන නිරෝධ පඤ්ඤත්තියයි. උප්පාද පඤ්ඤත්ති යනු ඇති වූ දෙය දක්වාලීමයි. ඔකාස පඤ්ඤත්ති යනු ස්ථානය දක්වාලීමයි. ආහමනාපඤ්ඤත්ති යනු ඉවත් කිරීමේ ප්‍රඥප්තියයි. ආඝාටිකානං යන තැන ගවයන්ගේ වණවල නිලමැස්සන් විසින් වසන ලද තැන ආඝාටිකා නම් වේ. මෙහිදී යමකු තුළ මෙය ඇතිවී ද ඒ සත්ත්වයාගේ විනාශයට හේතුවන බැවින් අඝාටිකයක් මෙන් වේ යන අර්ථයෙන් අඝාටික නම් වේ. එනම් කෙලෙස් ය. ඒ කෙලෙස්වල ය. අභිනිඝාත පඤ්ඤත්ති යනු මුලිනුපුටා දැමීමේ ප්‍රඥප්තියයි.
මෙසේ සසර හා නිවන යන ප්‍රවේශයන්ගෙන් උපාදානස්කන්‍ධ ස්පර්ශ කිරීම් මුඛයෙන් සත්‍යයන්හි ප්‍රඥප්ති විභාගය දක්වා දැන් ත්‍රිපරිවෘත්ත වශයෙන් දක්වන්නට ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ යනාදිය අරඹන ලදි. එහි දර්ශනාර්ථයෙන් චක්ඛු නම් වේ. පවත්නා ස්වභාවය දැනීම් අර්ථයෙන් ඤාණ නම් වේ. විනිවිද යෑම අර්ථයෙන් පඤ්ඤා නම් වේ. අවබෝධ කිරීම් අර්ථයෙන් විජ්ජා නම් වේ. බැබළීම් අර්ථයෙන් ආලෝක නම් වේ. සියල්ල ප්‍රඥාවේ පර්යාය පද ම ය. මේ වෙවචන පඤ්ඤත්තියයි. සච්ඡිකිරිය පඤ්ඤත්ති ප්‍රත්‍යක්‍ෂ කරන ප්‍රඥප්තියයි.
තුලමතුලඤ්ච යන ගාථාවේ බොහෝ ජනයාට ප්‍රත්‍යක්‍ෂ බැවින් සමානය පිරිසිඳිණි යන අර්ථයෙන් තුල නම් වේ. කාමාවචර සිතයි. සම නොවේ නුයි අතුල නමි. මීට සමාන වූ සදෘශ වූ වෙනත් ලෞකික ක්‍රියාවක් නැත්තේ නුයි අතුල නමි. මහග්ගත කර්මයයි. නැතහොත් කාමාවචර, රූපාවචර කර්මය තුල නම් වේ. අරූපාවචර කර්මය අතුල නම් වේ. ස්වල්ප වූ විපාක ඇති කර්මය තුල නම් වේ. බොහෝ විපාක ඇති කර්මය අතුල නම් වේ. මෙයින් ලැබේනුයි සම්භව නම් වේ. ඇතිවීමට හේතුවූ යනුයි. භව සංඛාර යනු පුනර්භවය සකස් කරන දේය. අවස්සජි යනු අත්හළේය යනුයි. මුනි යනු බුද්ධ මුනීන්‍ද්‍රයන් ය. අජ්ඣත්තරතො යනු නියතව ඇතුළත ඇලුණු යනුයි. සමාහිතො යනු උපචාර අර්පණා සමාධි වශයෙන් එකඟ වූ යනුයි. අභිදා කවචමිව යනු සන්නාහයක් මෙන් බින්දේය යනුයි. අත්තසම්භවං යනු තමා තුළ ඇති වූ කෙලෙස් ය. මෙය කියන ලද්දේ වෙයි. විපාක සහිත යන අර්ථයෙන් හටගත් භවය සකස් කරන අර්ථයෙන් භව සංඛාරයයි ලබන ලද නම් ඇති තුල අතුල සංඛ්‍යාත වූ ලෞකික කර්මය ද අත්හළේය. යුධ පෙරමුණෙහි මහා යෝධයෙන් සන්නාහයක් පලන්නාක් මෙන් තමා තුළ හටගත් කෙළෙස් ද අධ්‍යාත්මයෙහි ඇලුණේ සමාහිත වී පලාදැම්මේය යනුවෙනි.