චතුබ්යූහ හාර විභංග වර්ණනාව
තත්ථ කතමො චතුබ්යූහො හාරො යනු චතුබ්යූහහාර විභංගයයි. එහි බ්යඤ්ජනෙන සුත්තස්ස නෙරුත්තඤ්ච අධිප්පායොච නිදානඤ්ච පුබ්බාහාර සන්ධි ච ගවෙසිතබ්බා යනු සංක්ෂේපයෙන් පළමුව චතුබ්යූහ හාරය දක්වයි යනුයි. බ්යඤ්ජනෙන යන මෙයින් සූත්රය ව්යඤ්ජනවලින් විමසිය යුතු බැවින් ව්යඤ්ජන මුඛයෙන් ම මේ චතුබ්යූහහාර පදාර්ථ වෙන්කර දැක්විය යුතුයයි දක්වයි. නෙරුත්තං යනු නිරුක්තියයි. නිර්වචනය යන අර්ථයයි. නිරුක්තියම නෙරුත්ත නම් වේ. එහෙයින්ම යා නිරුත්ති පද සංහිතා යි කියන ලදි. එහි අර්ථය යමක් නිරුක්ති වේ ද එය නෙරුත්ත නම් වේ යනුයි. ඒ නිරුක්තිය කවරී ද? පද සංහිතා යනු පදයන් හා ගැළපුණු, ඒ සමග වූ යන අර්ථයයි. ලිංග වචන කාලසාධන පුරුෂ ආදී විශේෂ යෝගවලින් යම් යම් අර්ථයක් යම් යම් ආකාරයකින් කිවයුතු ද ඒ ඒ ආකාරයෙන් පැවති ස්වභාව නිරුක්තිය යන අර්ථයයි. එසේම යං ධම්මානං නාමසො ඤාණං යි කියන ලදි.
එහි යං යනු හේතු අර්ථයේ නිපාතයකි. යම් කරුණකට හේතු වූ යන අර්ථයයි. ධම්මානං යනු ඥෙය්ය ධර්මයන්ගේ ය. නාමසො යනු පොළව ස්පර්ශය, ස්කන්ධ, ධාතු, තිස්ස, ඵුස්ස යන මේ ආදි නාම විශේෂයෙන් ඤාණය පවතී ද මෙය ස්වභාව නිරුත්ති නම් වේ යනුයි. පොළොව යන මේ ආදී ශබ්දයක් ගෙන ඉන්පසු සංකේත ද්වාරයෙන් එහි අර්ථ ප්රතිපත්තිය වේ ද ඒ ඒ දෙය අනියත වූ නාම ප්රඥප්තීන් ගැනීම් වශයෙන් ම වේ. එසේ නැතහොත් පද සංහිතා යනු පදය හා ගැළපුණු යනුයි. පදයෙන් ම පදාර්ථ අවබෝධය වේ. ඒ අර්ථය වනාහි ප්රවෘත්ති නිමිත්ත වූ ප්රඥප්තිය ගැනීමෙන්ම වේ යයි ඒ ප්රඥප්තිය නිරුක්ති සංඛ්යාත වූ පදය සමග ගැළපී පදාර්ථය අවබෝධ කෙරේ යන අර්ථයෙන් පද සංහිතායි කියන ලදි. යදාහි භික්ඛු යනාදියෙන් ධර්මයන්ගේ නාම වහයෙන් ඤාණය වේ යයි පදයේ අර්ථය විවරණය කරයි.
එහි අත්ථස්ස යනු ශබ්දයෙන් කිය යුතු අර්ථයේය. නාමං ජානාති යනු නාම ප්රඥප්ති වශයෙන් මේ නමැයි නම දනී යනුයි. ධම්මස්ස යනු ස්වභාව ධර්මයේය. අභිනීරොපෙති යනු යම් යම් අර්ථයක් හා ධර්මයක් යම් යම් සේ ව්යවහාර කළ යුතු ද එසේ එසේ ඒ නාම ව්යවහාරය නැගෙයි. දෙසයි යන අර්ථයයි. මෙපමණකින් ද මේ භික්ෂුව අත්ථකුසල පුද්ගලයෙක් නොයෙක් නාමාන්තරයන්හි දක්ෂයෙක් ගැන කියනු ලැබේ යයි සම්බන්ධ කළයුතුය.
එහි අත්ථකුසලො යනු පාළි අර්ථයෙහි දක්ෂ වූ යනුයි. ධම්ම කුසලො යනු පාළියෙහි දක්ෂ වූ යනුයි. බ්යඤ්ජන කුසලො යනු අකුරුවල ද වැකිවලද දක්ෂ වූ යනුයි. නිරුත්ති කුසලො යනු නිර්වචනයෙහි දක්ෂ වූ යනුයි. පුබ්බාපරකුසලො යනු දේශනාවේ පෙර පසු තැන්හි දක්ෂ වූ යනුයි. අතීතාධිවචන කුසලො යනු අතීත ප්රඥප්තියෙහි දක්ෂ වූ යනුයි. මේ නය ඉතිරි තැන්හි ද වේ. එවං සබ්බානි කාතබ්බානි ජනපද නිරුත්තානි යනු සත්ත්ව ව්යවහාරයේ ඇති යම් ඒ සියලු දේ සම්භ වූ පරිදි සූත්රයෙහි නිර්වචන වශයෙන් කළ යුතුය. පැවතිය යුතුය යන අර්ථයයි. සබ්බා ච ජනපද නිරුත්තියො යනු සියලු ලෝක සංඥාවන් සුදුසු පරිදි කළ යුතුය යනුයි. ප්රඥප්ති නාමය නො ඉක්මිය යුත්තේ යයි කියන ලදි. එසේම සම්මුති සත්ය වශයෙන් පරමාර්ථ සත්යාවබෝධය වන්නේ ය.
අධිප්පාය කාණ්ඩයේ ප්රකට නොකරන ලද අර්ථයක් නැත.
නිදාන කාණ්ඩයෙහි ඉමිනා වත්ථුනා යනු මේ පුත්ර ගව කීර්ති සංඛ්යාත කාරණයෙනි. මෙහිදී කාරණයම නිදානය යැයි කියන ලදි. මේ ක්රමයෙන් සියලු තැන්හිදී නිදානය වෙන්කර ගැනීම දතයුතුය.
කාමන්ධා යනු ක්ලේශ කාමයෙන් අන්ධ වූ යනුයි. ජාලසඤ්ඤා යනු තණ්හා දැලින් වෙළුණු යනුයි. තණ්හාජ්ජදන ඡාදිතා යනු තණ්හා සංඛ්යාත වූ අන්ධකාරයෙන් වසන ලද යනුයි. බන්ධනා බද්ධා යනු කාමගුණ සංඛ්යාත වූ බන්ධනයෙන් බැඳුණු යනුයි. පමත්ත බන්ධනා යිද පාඨයකි. ප්රමාදයෙන් යන අර්ථයයි. පුබ්බාපරෙන යනු මුලින් හෝ අගින් හෝ වූ වෙනත් දේශනයකින් යන අදහසයි. යුජ්ජති යනු යෝග්යත්වයට පත්වේ. ගැළපේ යන අර්ථයයි. ඉමෙහි පදෙහි පරියුට්ඨානෙහි යනු තණ්හාව මතුකරවාලන කියන ලද මේ ගාථා පදයන්ගෙන් යනුයි. යා යෙව තණ්හා යනු පළමු ගාථාවෙහි යමක් කියන ලද ද එම තණ්හාවමය යනුයි. යඤ්චාහ යනාදියෙන් ගාථා දෙකේම අර්ථ ගැළපීමෙන් පූර්වාපර පද පැහැදිලි කරයි. පයොගෙන යනු භාවිතයෙනි. තස්මා යනු යම්තැනක තමාම ඇතිවී ද එය සත්ත්වයන්ගෙන් ඉවත් කරන්නට නොදෙමින් නොයෙක් අරමුණුවලින් පොළඹවනු ලබන්නේ කෙලෙස්වලින් සිත මැඩගෙන සිටී ද එහෙයින් කෙලෙස් ලෙසින් ද පරියුට්ඨාන වශයෙන් ද තණ්හා බන්ධනය කියන ලදි.