ආවට්ට හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො ආවට්ටො හාරො යනු ආවට්ටහාර විභංගයයි. එහි ආරභථ යනු ආරම්භ ධාතු සංඛ්‍යාත වීර්යය කර වූ යන අර්ථයි. නික්කමථ යනු දක්‍ෂතා පක්‍ෂයෙන් නික්මුණු බැවින් නික්කම ධාතු සංඛ්‍යාත ඊට වැඩිමනක් වූ වීර්යය කරවු යනුයි. යුඤ්ජථ බුද්ධසාසනෙ යනු යම්හෙයකින් සීල සංවරය, ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙන් මාත්‍රඥතාව, සතිසම්පජඤ්ඤය යන මේ ධර්මයන්හි පිහිටියවුන්ට නිදිවැරීම් වශයෙන් ආරම්භ නික්කම ධාතූහු පැමිණෙත්. එහෙයින් එවැනි වූ සමථ විදර්ශනා සංඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යෙදුණාහු වෙවු යනුයි. ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො යනු මෙසේ පිළිපන්නාහු ද ත්‍රෛධාතුක සසරට ප්‍රධාන වූ මාර රජුගේ වසඟයට සත්ත්වයන් පමුණුවානුයි ඔහුගේ සේනාසංඛ්‍යාත වූ අබල දුබල බව යම්සේ බලවත් ඇතෙක් බටලීවලින් සාදන ලද ගෙයක් ක්‍ෂණයකින් කඩාදමන්නාක් මෙන් කෙලෙස් සමූහය කම්පා කරවු. විනාශ කරවු. නසවු යන අර්ථයයි.
එය යොදා දක්වන්නට ආරභථ නික්කමථ යන්න වීර්යයේ ආසන්න කාරණයයි කියන ලදි. එහි ආරභථ නික්කමථ යන මේ වචනය වීර්යයේ ආසන්න කාරණයයි. වීර්යය යෙදීමේ හේතුව වීර්යාරම්භයෙහි නියෝජනය වන හෙයින්ය. ‘යොගාවෙ ජායතෙ භූරී’ යන වචනයෙන් යොග යනු භාවනාවයි. එහි විදර්ශනා භාවනාව කිය යුතු බැවින් මෙහි දී සමාධි භාවනාව අදහස් කරන ලදැයි කියන ලදි. යුඤ්ජථ බුද්ධසාසනෙ යනු සමාධියේ ආසන්න කාරණයයි. මාරයාගේ සේනාව යැයි කියන ලද කෙලෙස් සේනාව මනාව කම්පා කිරීම ඤාණයෙන් ම වේ යැයි ධුනාථ -පෙ- පදට්ඨානං යි කියන ලදී. නැවතත් කියන ලද පරිදිම වීර්ය සමාධි ප්‍රඥාවන්ගෙන් යුක්ත වූ අධිපති කෘත්‍යත්වයෙන් ප්‍රපඤ්චයන් ප්‍රහාණය කිරීමට සමත් වූ සංසාර මූලය සිඳ දමා නිවනට පමුණුවන්ගේ යයි දැක්වීමට ආරභථ නික්කමථාති විරියින්‍ද්‍රියස්ස පදට්ඨානං යනාදිය කියන ලදි. ඉමානි පදට්ඨානානි දෙසනා යනුවෙන් යම් මේ කරුණු වීර්යයේ ආසන්න කරුණු යනාදී වශයෙන් වීර්යාදියේ පදට්ඨානයන් කියන ලද ද එය ආරභථ නික්කමථ ආදී දේශනාවයි. වීර්යාරම්භ වස්තු ආදිය යන අර්ථය නොවේ. එසේ ද වර්ණනා කරන ලදි.
මෙසේ බැහැර කරන ලද දේශනාවේ ආසන්න කරුණු වශයෙන් අර්ථය වෙන්කොට දක්වා දැන් එය සභාග විසභාග ධර්ම වශයෙන් පරිවර්තනය කරනු කැමැත්තේ එහි භූමිය දක්වන්නට අයුඤ්ජන්තානං වා සත්තානං යොගෙ යුඤ්ජන්තානං වා ආරම්භො යනාදිය කියන ලදි. එහි අර්ථය නම් මෙයයි. යෝගයෙහි හෙවත් භාවනාවෙහි එය නොයොදන සත්ත්වයන්ගේ හෝ මුහුකුරා නොගිය ඤාණය ඇති අයගේ හෝ වාසනා භාගීත්වයෙන් මත්තෙහි දැන්වීම පිණිස මේ දේශනාරම්භයයි. නැතහොත් (භාවනාවේ) යෙදෙන සත්ත්වයන්ගේ හෝ මුහුකුරා ගිය ඤාණය ඇති අයගේ ය.
සො පමාදො දුවිධො යනු යම් ප්‍රමාදයකින් නො යෙදීමක් වේ ද ඒ ප්‍රමාදය තමාගේ කාරණ භේදයෙන් දෙවැදෑරුම් ය. අඤ්ඤාණෙන යනු පංචස්කන්ධයේ ස්වලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණය වසාදමන මෝහයෙනි. නිවුතො යනු වසන ලද යනුයි. ඤෙය්‍යට්ඨානං යනු ඥෙය්‍ය ද මේ රූපයයි. මේ රූපයේ හටගැන්මයි ආදි වශයෙන් ඤාණයේ පවතිනා ස්ථානය ද ඤෙය්‍යට්ඨාන නම් වේ. පාප ධර්මයන්හි නොයෙක් භේද ඇති බැවින් ඒවායේ ස්වරූප වශයෙන් නොයෙක් භේද ඇති ප්‍රමාදය මූල හේතු වූ අවිද්‍යාව ලෙසින් එකක්ම වේ යයි එකවිධො අවිජ්ජායි කියන ලදි. ලාභ විනිශ්චය පරිග්ගහ අච්ඡරියාදිය සෙවීම් රැකීම් පරිභෝග කිරීම්හි ඇතුළත්ය. ඡන්‍දරාගයෙහි බැසගත් තණ්හාවම තණ්හාමූලික ධර්මයෙහිම ඇතුළත්කොට තිවිධො තණ්හාය යන්න කියන ලදි.