ලක්ඛණ හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො ලක්ඛණො හාරො යනාදිය ලක්ඛණ හාර විභංගයයි. එහිදී කිං ලක්ඛීයති යි ලක්ඛණ හාරයේ විසය විමසයි. යෙ ධම්මා යනාදියෙන් ලක්ඛණ හාරය සංක්‍ෂේප වශයෙන් දක්වා එය උදාහරණළුලින් බෙදා දක්වන්නට චක්ඛුං යනාදිය ආරම්භ කරන ලදි. එහි වධකට්ඨෙන එක ලක්ඛණානි යන මෙයින් එක් අරමුණක නොපිහිටන ස්වභාවාදියෙන් ද ඒක ලක්‍ෂණත්වය කියන ලදමැයි දතයුතුය.
මෙසේ ආයතන වශයෙන් ඒක ලක්‍ෂණත්වය දක්වා දැන් ස්කන්ධාදී වශයෙන් දක්වන්නට අතීතෙ රාධ රූපෙ අනපෙක්ඛො හොහි යනාදි සූත්‍රය ගෙනහැර දක්වන ලදි. යමකොවාද සුත්තෙ වධකට්ඨෙන එක ලක්ඛණා වුත්තා යනු එම සූත්‍රයේ ‘වධක රූපයකි. වධක රූපයකි’යි තතු ලෙස නොදනී යනාදී වශයෙන් ආ බැවින් කියන ලදි යනුයි. ඉති යනු මෙසේය. මේ ගාථාවෙහි, කායගතාසතියෙන් කියන ලද සතිය ද වෙදනාගත සතිය ද චිත්තාගත සතිය ද ධම්මගතා සතිය ද කියන ලද්දේ වෙයි. සතිපට්ඨාන බැවින් ඒක ලක්‍ෂණත්වයෙන් යුතු යන අදහසයි. දිට්ඨං යනාදීන්හි අර්ථය පසුව වර්ණනා කරන්නෙමු.
කායෙ කායානුපස්සී විහරාහි යන මෙහි කායෙ යනු රූප කයෙහිය. රූප කය ම අංග ප්‍රත්‍යංගයන්ගේ සමූහාර්ථයෙන් කාය යැයි අදහස් කෙරේ. සමූහාර්ථයෙන් යම්සේ ද මෙසේම නින්දිත දේ පැමිණීම් අර්ථයෙන් ද කාය නම් වේ. ආය යනු උත්පත්ති දේශයකි. මේ එහි වචනාර්ථයයි. අය නම් නින්දිත වූ කෙස් ආදියයි. මේ නින්දිත වූ දේවලට වාසස්ථාන වේ යැයි කාය නම් වේ.
කායානුපස්සී යනු කය අනුව බලන සුලු යනුයි. කය අනුව බලන්නේ හෝයි කයෙහි යැයි කියා නැවත කායානුපස්සී යැයි දෙවනුව කාය ග්‍රහණය අමිශ්‍රව තීරණය කර ඝන විනිබ්භෝගාදිය දැක්වීම පිණිසයි. එහෙයින් කයෙහි වෙදනානුපස්සී හෝ චිත්ත - ධම්මානුපස්සී පුද්ගලයෙක් නැත. එකල්හි කායානුපස්සීව යනුවෙන් කාය සංඛ්‍යාත වස්තුවේ කායානුපස්සනා ආකාරයට දැක්වීමෙන් අමිශ්‍රව නියම කිරීම දක්වන ලද්දේ වෙයි. එසේම කය පිළිබඳ අංග ප්‍රත්‍යංගවලින් තොර වූ එක්වන් ධම්මානුපස්සනාවක් නැත. කෙස් ලොම් ආදියෙන් තොර වූ ස්ත්‍රී පුරුෂයන් දකින්නෙක් ද නැත.
මෙහි යම් කෙස් ලොම් ආදී වූ භූතයන්ගේ සමූහය නම් කයක් වේ ද එහිද භූත උපාදායවිලන් මිදුණු එක්වන් ධම්මානුපස්සනාවක් නැත. ඉක්බිති රිය සමූහයක් බලන්නෙක් මෙන් අංග ප්‍රත්‍යංග සමූහය බලන්නෙකි. නගර අවයව බලන්නෙක් මෙන් කෙස් ලොම් සමූහය බලන්නෙකි. කෙසෙල් කඳෙහි පතුරු ගලවන්නෙක් මෙන් හිස් මිටක් වෙලා ගන්නෙක් මෙන් ද භූත උපාදාය රූප සමූහය දකින්නෙක් ම යැයි නානාප්‍රකාරයෙන් සමූහ වශයෙන්ම කාය සංඛ්‍යාත වස්තුවේ දර්ශනයෙන් ඝන විනිබ්භෝගය දක්වන ලද්දේ වෙයි. මෙහි පෙර කියන ලද සමූහයෙන් මිදුණු කයක් හෝ අන් කිසි ධර්මයක් හෝ නොදක්නා ලැබේ. පෙර කියන ලද ධර්ම සමූහ මාත්‍රයම ඒ ඒ ලෙස සත්ත්වයෝ වැරදි ලෙස ග්‍රහණය කරත්. එහෙයින් පෝරාණිකයෝ –
යං පස්සති න තං දිට්ඨං යං දිට්ඨං තං න පස්සති,
අපස්සං බජ්ඣතෙ මූළ්හො බජ්ඣමානො න මුච්චතී ති
“යමක් දක්නා ලැබේ ද එය නො දකින ලදි. යමක් දක්නා ලද ද එය නොදකියි. නොදක්නේ මුළාවේ බැඳේ. බැඳෙනුයේ නොමිදේ යැයි” කියන ලදි.
ඝන විනිබ්භෝගාදිය දක්වනු පිණිස ආදි ශබ්දයෙන් මේ අර්ථය දතයුතුය. මොහු මේ කයෙහි කය අනුව බලන්නෙක් ම ය. අනෙක් ධර්මයක් බලන්නෙක් නොවේ.
යම්සේ දිය නැති මිරිඟුවේ දිය දකින්නෝ වෙත් ද මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අශුභ වූම මේ ශරීරයේ නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් දකින්නෙක් නැත යන මෙය කියන ලද්දේ වෙයි. එසේ නැතහොත් මහා සතිපට්ඨානයේදී ආශ්වාස ප්‍රශ්වාස ආදී චූර්ණිකවලින් ඇති වූ අස්ථිවලින් කෙළවර වූ යම් මේ ශරීරයක් ගැන කියන ලද ද? මෙලොව අයෙක් පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය -පෙ- අට්ඨිමිඤ්ජකාය අනිත්‍ය වශයෙන් දකියි යැයි පටිසම්භිදාවෙහි යම් කයක් ගැන කියන ලද ද ඒ සියල්ල මේ කයෙහිම දකින්නාගේ කයෙහි කය අනුව බලමින් යි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එසේ නැතහොත් කයෙහි මම කියා හෝ මගේ කියා හෝ ගතයුතු කිසිවක් නොදක්නේ කයෙහි කෙස් ආදී ධර්ම සමූහ සංඛ්‍යාත වූ කායානුපස්සනාව කරමින් යැයි අරුත් දතයුතුය. තව ද මේ ශරීරයෙහි අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ යනාදියෙන් අනුක්‍රමයෙන් පටිසම්භිදාවේ ආ ක්‍රමය වූ සියල්ලේ අනිත්‍ය ලක්‍ෂණාදී ආකාර සමූහය නම් වූ කය අනුව බලමින් කයෙහි කය අනුව දකින්නා යන අර්ථයයි. විහරාහි යනු පවතුව යනුයි. ආතාපී යනු තුන් භවයන්හි කෙලෙස් තවානුයි ආතප වේ යනුයි.
එය ඔහුට ඇත්තේනුයි ආතාපී නමි. සම්පජානො යනු සම්ප්‍රජන්‍ය (මනා දැනීම) සංඛ්‍යාත වූ ඤාණයෙන් සමන්විත වූ යනුයි. සතිමා යනු කය අල්ලාගන්නා සිහියෙන් සමන්විත වූ යනුයි. මෙය යම්හෙයකින් සිහියෙන් අරමුණ අල්ලාගෙන ප්‍රඥාවෙන් දකියි ද සතියෙන් තොර අනුපස්සනාවක් නැත. එහෙයින්ම ‘මහණෙනි, මම සතිය සියලු දේ ඇති දෙයැයි කියමි යැයි කියන ලදි. කෙලෙස් තවන වීර්යය නැත්තහුගේ ඇතුළත වූ සංකාව අනතුරුදායක වෙයි. කර්මස්ථානයට නොපැමිණේ. එහෙයින් යම් ධර්මවල අනුභාවයෙන් ඊට පැමිණේ. එහෙයින් යම් ධර්මයන්ගේ ආනුභාවයෙන් ඊට පැමිාණේ. එය දක්වන්නට ආතාපී යනාදිය කියන ලදි.
එහි විනෙය්‍යො යනු තදංග වශයෙන් හෝ වික්ඛම්භන වශයෙන් දුරුකොට යනුයි. ලොකෙ යනු ඒ සිරුරෙහි ම ය. මෙහි කය ම කැඩීම් බිඳීම් අර්ථයෙන් ලෝකය යැයි අදහස් කරන ලදි. මෙහිදී අභිධ්‍යාග්‍රහණයෙන් කාමච්ඡන්දය ද දෝමනස්ස ග්‍රහණයෙන් ව්‍යාපාදයද ගන්නා ලද්දේය. නීවරණයන්හි දැඩි ධර්ම දෙක පිළිබඳ ප්‍රහාණය දැක්වීමෙන් නීවරණ ප්‍රහාණය කියන ලදැයි කායානුපස්සනා සතිපට්ඨානයේ ප්‍රහාණංගය දක්වන ලදි. ආතාපී යනාදියෙන් සම්පයෝග අංගය දක්වන ලදැයි යන මේ අර්ථය දක්වන්නට ආතාපී යනාදිය කියන ලදි. එහිදී අභිධ්‍යා දෝමනස්ස දෙකේ සමථය සෘජුවම ප්‍රතිපක්‍ෂ වේයැයි අභිධ්‍යා දෝමනස්ස ප්‍රහාණය කියනු ලබන්නේ සමාධි ඉන්‍ද්‍රිය දක්වා යයි. විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සන්ති සමාධින්‍ද්‍රියං යනුවෙන් කියන ලදි. එකලක්ඛණත්තා චතුන්නං ඉන්‍ද්‍රියානං යනු වීර්ය ප්‍රඥා සමාධි ඉන්‍ද්‍රියන්ගෙන් කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධ වේ. මෙසේ වේදනා චිත්ත ධම්ම අනුපස්සනා සතිපට්ඨානයන් ද ඒවායින් සමෘද්ධ වෙතැයි සූවිසි පට්ඨාන සාධනයෙහි මේ ඉන්‍ද්‍රියන්ගේ ස්වභාව භේදයක් නැතිකමින් සමාන ලක්‍ෂණ ඇති බැවින් ඉතිරි සතිපට්ඨාන ද කියන ලද්දේ ම වේ යන අර්ථයයි.