පදට්ඨාන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො පදට්ඨානහාරො යනාදිය පදට්ඨාන හාර විභංගයයි. එහිදී යම් හෙයකින් මෙය මෙහි පදට්ඨානයයි. (ආසන්න කාරණයයි) මෙය මෙහි ආසන්න කාරණයයි. ඒ ඒ ධර්මයන්ට ආසන්න කාරණය වූ දෙය දක්වන ලක්ෂණය පදට්ඨාන හාරය වේ ද එහෙයින් පැවැත්මට මුල් වූ අවිද්යාව ආදි කොට ස්වභාව ධර්මයන්ගේ පදට්ඨානය නම් වූ ආසන්න කාරණය නිර්ධාරණය කරමින් සබ්බධම්ම යාථාව අසම්පටිවෙධ ලක්ඛණා අවිජ්ජා යි අවිද්යාවේ ස්වභාවය දක්වයි. එහි අර්ථය මෙයයි. සියලු ධර්මයන්ගේ නොවෙනස් ස්වභාවය මෙයින් අවබෝධ කෙරේනුයි සබ්බධම්මයාථාව අසම්පටිවෙධො නම් වේ. ඒ ලක්ෂණය මෙහි ඇතැයි එය එසේ කියන ලදි. මෙයින් ධර්ම ස්වභාවය වසා දමන ලක්ෂණය අවිද්යාවයැයි කියන ලද්දේ වෙයි. එසේ නැතහොත් මනා අවබෝධය සම්පටිවෙධ නමි. ඊට ප්රතිපක්ෂ වූයේ අසම්පටිවෙධයයි. කවර තැනක ඒ සම්පටිවේධයේ ප්රතිපක්ෂ වේ ද, සබ්බ -පෙ- ලක්ඛණා යි කියන ලදි. යම්හෙයකින් අශුභ දෙයෙහි ශුභය යනාදී විපර්යාස ඇතිවිට එහි මුළාව මතු මත්තෙහි හටගන්නේම වේ ද නොපිරිහේ ද එහෙයින් තස්සා විපල්ලාසා පදට්ඨානං යි කියන ලදි.
පියරූපං සාතරූපං යනු ප්රිය කළයුතු ජාතියේද කැමතිවිය යුතු ජාතියේ ද ආසන්න කාරණයයි. ‘ලෝකයේ යම් ප්රිය රූපයක් වේ ද සැප ස්වභාවයක් වේ ද මෙහි ඒ තෘෂ්ණාව උපදමින් උපදී’ යැයි කියන ලද්දේ ම ය. අදින්නාදානා යනු නුදුන් දෙය ගැනීමේ සිතිවිල්ලයි. එය එක් වරක් උපන්නේ නමුත් ආදීනව දැකීම නිසා ලෝභයේ උත්පත්ති කාරණය වේයයි එහි ආසන්න කාරණය කියන ලදි. දොසස්ස පාණාතිපාතො පදට්ඨානං මොහස්ස මිච්ඡාපටිපදා පදට්ඨානං යන මෙහි ද මේ ක්රමයෙන්ම අර්ථය දතයුතුය. වණ්ණ සණ්ඨාන බ්යඤ්ජනග්ගහණ ලක්ඛණා යනු නිමිති අනුව්යඤ්ජන ගැනීම් ලක්ෂණයයි. සුඛ සංඥාව වූ ස්පර්ශයේ උපගමන ලක්ෂණත්වය ස්පර්ශ ප්රත්යයමයි කියන ලදි. ස්පර්ශ කරන ලදුව හඳුනාගනීයැයි කියන ලදි. අස්සාදො යනු තණ්හාවයි. ඇතිවීම වැයවීම වෙනස්වීම සංඛත ලක්ෂණයෝය. බොහෝසෙයින් විඤ්ඤාණාදි නිත්ය ග්රහණය නිත්ය සංඥාවෙන් විඤ්ඤාණයේ ආසන්න කාරණය බැව් කියන ලදි. එසේමය. ඒ භික්ෂුව එම විඤ්ඤාණයම දිවෙයි. සැරිසරයි යනුවෙන් විඤ්ඤාණ විෂයම තමන්ගේ නිත්ය ග්රාහකත්වය ප්රකාශ කරයි. පංචස්කන්ධයේ අනිත්යත්වය ද දුක්ඛතාව ද මනාව දක්නා ලද්දේ ආත්ම සංඥාව සුඛ සංඥාව අනාවකාශ යැයි අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අසමනුපස්සන ලක්ඛණා අත්තසඤ්ඤා යි කියන ලදි. යමක් අනිත්ය ද එය දුකය. යමක් දුක්ඛ ද එය අනාත්මයැයි කියන ලදි.
බොහෝ සෙයින් අරූප ධර්මයන්හි ආත්මාභිනිවේෂය වේයැයි තස්සා නාමකායො පදට්ඨානං යයි කියන ලදි. සබ්බං ඤෙය්යං යනු චතුරාර්ය සත්යයි. චතු සත්යයෙන් මිදුණු ඥෙය ධර්මයක් නොවන බැවිනි. චිත්ත වික්ඛෙපපටිසංහරණං යනු උද්ධච්චය යටපත් කිරීමයි. අසුභා යනු අසුභානුපස්සනාවයි. පටිභාග නිමිත්ත වූ අසුභයම හෝ ය. තෘෂ්ණාවට ප්රතිපක්ෂ බැවින් සමථයට අසුභය ආසන්න කාරණය යැයි කියන ලදි. අභිධ්යාව තුනීකරන බැවින් නුදුන් දෙය ගැනීමෙන් වැළකීම අලෝභයේ ආසන්න කරුණ යැයි කියන ලදි. එසේම ව්යාපාදය තුනීකරන බැවින් ප්රාණඝාතයෙන් වැළකී සිටීම අදෝෂයේ ආසන්න කරුණ යැයි කියන ලදි. වස්තු පිළිබඳ නිවැරදි පිළිපැදීම් විෂය ස්වභාවය වැළැක්වීමයි. සම්යක් ප්රතිපත්තිය වූ සීල සමාධි සම්පදාවන්ගේ නිබ්බිදා ඤාණයෙන් අනභිරති ඤාණයම හෝ එසේ පැවති අනෙකකි. සියලු වේදනා දුක්ඛ දුක්ඛතා ආදී වශයෙන් දුක යැයි තීරණය කොට දුක්ඛ සඤ්ඤාය වෙදනා පදට්ඨානං යැයි කියන ලදි. ධම්ම සඤ්ඤා යනු ධර්ම මාත්රය කියන සංඥාවයි.
සත්ත්වයන්ගේ ශරීරයේ අවීතරාගීත්වය පංච අජ්ඣත්තික ආයතනයන්ගේ වශයෙන් වේ යැයි පංචින්ද්රියානි රූපානි රූපීනි රූපරාගස්ස පදට්ඨානං යි කියන ලදි. මෙහි කය ම රූපය යැයි අදහස් කරන ලදි. විශේෂයෙන් ධ්යානවලට නිශ්රය වූ මනායතනයෝ ද තෘෂ්ණාව වේ යැයි ඡට්ඨායතනං භවරාගස්ස පදට්ඨානං යි කියන ලදි. මෙවැනි රූපයක් ඇති නොවේවා. මෙවැනි වේදනාවක් ඇති නොවේවා යනුවෙන් පැවති රූපාදි අභිනන්දනය නිබ්බත්ති භවය දක්නා සුලුය. ඤාණදස්සනස්ස යනු කම්මස්සකතා ඤාණ දර්ශනය පිණිසය. යෝනිසෝ මනසිකාරය ඇති පුද්ගලයාගේ පුබ්බේනිවාසානුස්සතියම කම්මස්සකතා ඤාණයට හේතුවෙයි. අයෝනිසෝ මනසිකාරය ඇති ගිලෙන්නාගේ නොවේ. මේ අර්ථය පැහැදිලි කිරීමට මහා නාරද කාශ්යප ජාතකය ද බ්රහ්මජාල සූත්රයේ එකසිය එකක් වූ වාද ද ගෙනහැර දැක්විය යුතුය. ඔකප්පන ලක්ඛණා යනාදියෙන් ශ්රද්ධාප්රසාද විශේෂය දක්වයි. ශ්රද්ධාවෙන් ම වූ ඒ අවස්ථා විශේෂය දතයුතුය. එහි ඔකප්පනං යනු ඇදහීම් වශයෙන් අරමුණට බැසගැනීම් නිශ්චයයි. අනාවිලතා (යනු) අශ්රද්ධාව පහවීමෙන් සිතේ නිකැලැල් බවයි. අභිපත්තියනා යනු ඇදහීමය. අවෙච්චප්පසාදො යනු ප්රඥා සහිත ආයතන ගත මනා ප්රසාදයයි. අපිලාපනං යනු නොමුළාවයි. කිමිදී අරමුණෙහි බැසගැනීමයි. මෙහිදී ශ්රද්ධාදීන්ගේ ප්රසාද සද්ධා සම්යක් ප්රධන් සතිපට්ඨාන ඣාන අංගයන්ය. පිළිවෙලින් ආසන්න කරුණු යැයි කියන්නහු විසින් අවස්ථා විශේෂ වශයෙන් පදට්ඨාන භාවය කියන ලදැයි දතයුතුය. සති සමාධීන්ට කායාදිය සතිපට්ඨාන වේ. විතර්කාදීහු ද ආසන්න කාරණා වශයෙන් ධ්යාන වේයයි කියන ලදි.