යුත්ති හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො යුත්තිහාරො යනාදිය යුත්තිහාර විභංගයයි. එහි කිං යොජෙති යි යුත්තිහාරයේ විෂය විමසයි. මෙහි විෂයය කවරේ ද? අසත්‍යාකාරයෙන් ගනු ලබන සූත්‍රාර්ථ විෂයයි. එහෙයින් ඒවා සාතිශයව සුදුසු පරිදි යුත්ති නිර්ධාරණය සමග යෙදිය යුතුය. ඉතිරි ඒවායේ ද මේ හාරය කැමතිවන ලද්දේමය. එය සත්‍යය ප්‍රකාශ කරන තාක් වේ. යම්හෙයකින් මේ යුක්ති ගවේෂණය මහාපදෙස නොමැතිව නොවන බැවින් යුත්ති හාරය බෙදා දක්වමින් එහි ලක්‍ෂණ පළමුව උදෙසන්නට චත්තාරො මහාපදෙසා යනාදිය කියන ලදි.
එහි මහාපදෙසා යනු මහා අපදෙසයෝය. බුද්ධාදී පුද්ගලයෝ උසස් දේ බලා කියන ලද දේය. මහා කාරණා යන අර්ථයයි. එසේ නැතහොත් මහාපදෙසා යනු මහත් වූ අවකාශයෝය. ධර්මය පිළිබඳ මහා පිහිට යැයි කියන ලද්දේ වෙයි. මේ එහි වචනාර්ථයයි. බලනු ලැබේනුයි අපදෙසා නම් වේ. බුද්ධ අපදෙසය මෙහි වේ යන අර්ථයෙන් බුද්ධාපදෙස නම් වේ. සෙසු ඒවායේ ද මේ ක්‍රමය වේ. මා විසින් මෙය භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසන ලදි. යනාදියෙන් කිසිවකු විසින් අර්ථ දක්වනු ලැබේ. පමුණුවන ලද ග්‍රන්ථයේ ධර්මය හෝ අධර්මය හෝ කියා විනිශ්චය කිරීමයි. ඒ කුමක්ද? එසේ ඒ පමුණුවන ලද ග්‍රන්ථයේ සූත්‍රය තරණාදියමය. ඉදින් මෙසේ නම් සතරක් වන්නේ කෙසේ ද? බැලිය යුතු භේදයෙනි. භාග්‍යවතුන් වහන්සේ හා ශ්‍රාවකයෝ යැයි ධර්මය පිළිබඳ සම්ප්‍රදාය දෙකකි. එයින් ශ්‍රාවකයෝ සංඝ ගණ පුග්ගල වශයෙන් ත්‍රිවිධය. මෙසේ මා විසින් මෙයින් මේ ධර්මය පිළිගන්නා ලද්දේ යැයි බැලිය යුතු භේදයෙන් සතරකි. එහෙයින් බුද්ධාපදෙසො -පෙ- එකත්‍ථෙරාපදෙසො යි කියන ලදි. තානි පදබ්‍යඤ්ජනානි යනු පමුණුවන ලද කිසි සූත්‍රයක පද ද ව්‍යඤ්ජනයෝ ය. අර්ථපද හා බ්‍යඤ්ජන පද යන අර්ථයයි. වර්ණනා කරන්නා විසින් හෝ සංවර්ණනා වශයෙන් හෝ ගනු ලබන පද බ්‍යඤ්ජනයෝ ය. සුත්තෙ ඔතාරෙතබ්බානි යනු සූත්‍රයෙහි ප්‍රවේශ කළ යුතු යනුයි. සන්‍දස්සයිතබ්බානි යනු සැසඳිය යුතු යනුයි. උපනික්ඛිපිතබ්බානි යනු බහාලිය යුතු යනුයි.
සූත්‍රාදිය දක්වන්නට කතමස්මිං යනාදිය කියන ලදි. එහි යම්හෙයකින් සත්‍යයෙන් තොර වූ භාග්‍යවතුන් වහන්සේගේ එක් වචන මාත්‍රයක් හෝ නැත. එහෙයින් සුත්තෙ යන පදයේ අර්ථය දක්වන්නට චතුසු අරියසච්චෙසු යි කියන ලදි. එය මේ නෙත්ති වචනය සමග ඒකාන්තයෙන් සැසඳෙයි. එසේම සම වෙයි යැයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව උපාදාන රහිතව පිරිනිවීම පිණිසය. එය ඒකාන්තයෙන් රාගාදි කෙලෙස් සන්සිඳුවීම කියානුයි. විනයෙ යන පදයේ අර්ථය දක්වමින් රාග විනයෙ යනාදිය කියන ලදි. විනයො යනු හේතුවයි. රාගාදිය සන්සිඳුවන නිමිත්ත මෙහිදී අදහස් කරන ලදි. උදාහරණ මෙසේ කියන ලදි.
“ගෝතමිය, නුඹ මේ ධර්මය රාග සහිත බව පිණිස පවතියි. රාගයෙන් දුරුවීම පිණිස නොපවතියි. සසර හා බැඳීම පිණිස පවතියි. සසරින් වෙන්වීම පිණිස නොපවතියි. කෙලෙස් රැස්වීම පිණිස පවතියි. කෙලෙස් දුරුකිරීම පිණිස නොපවතියි. මහත් ආශා ඇති බව පිණිස පවතියි. මහත් ආශා නැති බව පිණිස නොපවතියි. ලද පමණින් සතුටු නොවීම පිණිස පවතියි. ලද පමණින් සතුටුවීම පිණිස නොපවතියි. ගණයා කෙරෙහි ඇලී විසීම පිණිස පවතියි. ගණයා කෙරෙන් වෙන්ව විසීම පිණිස නොපවතියි. කුසීත බව පිණිස පවතියි. වීර්යාරම්භය පිණිස නොපවතියි. දුකසේ පෝෂණය කළ යුතු බව පිණිස පවතියි. සුවසේ පෝෂණය කළයුතු බව පිණිස නොපවතියි යැයි දැනගත්තෙහි ද එසේ වූ මේ දෙය ධර්මය නොවේ. එය විනය නොවේ. එය ශාස්තෲ ශාසනය නොවේ යැයි සැලකිය යුතුය.” “ගෝතමිය, මේ ධර්මය විරාගය පිණිස පවතියි. සරාගය පිණිස නොපවතියි. මේ ධර්මය විසංයෝගය පිණිස පවතියි. සසර බැඳීම පිණිස හෙවත් සංයෝගය පිණිස නොපවතියි. කෙලෙස් රැස්කිරීම පිණිස නොපවතියි. කෙලෙස් දුරලීම පිණිස පවතියි. අල්පේච්ඡ බව පිණිස පවතියි. මහිච්ඡ බව පිණිස නො පවතියි. ලද දෙයින් සතුටුවීම පිණිස පවතියි. ලද දෙයින් සතුටු නොවීම පිණිස නොපවතියි. ගණයා කෙරෙහි ඇලී ගැලී විසීම පිණිස නොපවතියි. ගණයා කෙරෙන් වෙන්ව දුරස්ව විසීම පිණිස හේතුවෙයි. කුසීත බව පිණිස නො පවතියි. වීර්යාරම්භය පිණිස පවතියි. දුකසේ පෝෂණය කළ යුතු බවට නොපවතියි. සුවසේ පෝෂණය කළයුතු බවට පවතියි යැයි යම් ධර්මයක් දැනගත්තෙහි ද ගෝතමිය එය ධර්මය වේ. එය විනාශ වේ. එය ශාස්තෲ ශාසනය වේ. මෙසේ නුඹ සැලකිය යුතුයි.”
ධම්මතායං යන පදයේ අර්ථය දක්වන්නට පටිච්චසමුප්පාදෙ යනුවෙන් කියන ලදි. පටිච්චසමුප්පාදය ඨිතාව සා ධාතු ධම්මට්ඨිත්තා ධම්ම නියාමතා යි කියන ලදි. ධම්මතායං උපනික්ඛිපිතබ්බානි යන මෙය පාළියේ නැත. අර්ථ දැක්වීම් වශයෙන් මෙහි කියන ලදැයි දතයුතුය. මෙහි ද ප්‍රවෘත්තිය නිවෘත්තිය හා එහි උපාය ද බාධා ඇති බැව්හි නියත ලෙස පෙන්නුම් කරනුයේ සූත්‍රයේ බහාලීම නම් වේ. ඒකාන්තයෙන් රාගාදි කෙලෙස් දුරුකිරීම ප්‍රකාශ කරමින් විනයෙහි සසඳයි. එසේ ශාස්වතය ද උච්ඡේදය ද දුරුකොට ඒකත්ත නය ආදිය දැක්වීමෙන් ස්වභාව ධර්මයන්ගේ ප්‍රත්‍ය හා ප්‍රත්‍යය උත්පන්න භාවය දක්වමින් ධර්මතාව විකෘති නොකරයි.