විචය හාර විභංග වර්ණනාව
එහි විචයභාරය කවරේ ද? යනාදිය විචයහාර විභංගයයි. මේ එහි පූර්වයෙන් නොකියන ලද පද වර්ණනාවයි. කිං විචින්ති යන මෙහි විචින්ති යන මේ පදයෙන් විචය ශබ්දයේ කර්තෘ නිර්දේශය දක්වයි. ‘කිං’ යනු මෙයින් එම හාරයේ විෂය විමසන ලද්දේයැයි එහි විෂය දක්වන්නට ‘පදං විචින්ති’ යනාදිය කියන ලදි. එහි පදං විචින්ති යනු මුල පටන් නිගමනය තෙක් සූත්‍රයේ සියලු පද සොයයි යනුයි. මෙම සෙවීම ශබ්ද වශයෙන් හා අර්ථ වශයෙන් දෙවැදෑරුම්ය. ඒ දෙකින්, මේ නාමපදයකි. මේ ආඛ්‍යාත පදයකි. මේ උපසර්ග පදයකි. මේ නිපාත පදයකි. මේ ස්ත්‍රී ලිංගයකි. මේ පුරුෂ ලිංගයකි. මේ නපුංසක ලිංගයකි. මේ අතීත කාලයයි. මේ අනාගත කාලයයි. මේ වර්තමාන කාලයයි. මේ කර්තෘ සාධනයකි. මේ කරණ සාධනයකි. මෙය කර්ම සාධනයකි. මෙය අධිකරණ සාධනයකි. මෙය පච්චත්ත (පඨමා) වචනයකි. මෙය උපයෝග (දුතියා) වචනයකි. මේ භුම්ම (සත්තමි) වචනයකි. මෙය ඒකවචනයකි. මෙය බහුවචනයකි යන මේ ආදී බෙදීම් වචනයක් වේ ද එය ශබ්ද වශයෙන් පද සෙවීමයි. ඒ මේ පද විචය නොවෙනස් වන ස්වභාව නිරුක්තිය ස්වලක්‍ෂණයෙන්ම පැමිණේයැයි දතයුතුය. අර්ථ වශයෙන් වූ විචය වනාහි ඒ ඒ පදයෙන් කිවයුතු අර්ථ සංවර්ණනාවයි. ඉදින් පෘච්ඡා (විමසීම්) වශයෙන් පැවති පදය, එහි ද, එහි අර්ථයේ ද විමසිය යුතු බව විවේචනය කළ යුතුයැයි මේ අර්ථය දක්වමින් ‘පඤ්හං විචින්ති’ යන ආදිය කීවේය.
යම්හෙයකින් සියලු දේශනාහාරය විචය හාරයට විෂය වූ සූත්‍රයේ සෙවීම කොට පවතී. එහෙයින් ‘අස්සාදං විචන්ති’ යනාදිය කියන ලදි. යම්හෙයකින් අනුගීතිං යන මෙහි අනුරූප වූ ගීතිය අනුගීතිය වේ යන මේ අර්ථය කැමති වන ලද්දේය. එහෙයින් සොයනු ලබන සූත්‍ර පදයට අනුරූප වශයෙන් සූත්‍රාන්තර පදයන් ද අර්ථ උපුටා ගැනීම් වශයෙන් හෝ පද උපුටා ගැනීම් වශයෙන් හෝ රැගෙන විවේචනය කළයුතුයැයි දක්වමින් සබ්බෙ නව සුත්තන්තෙ විචන්ති යනාදිය කීවේය. නව සුත්තන්තෙ යනු සූත්‍ර ගෙය්‍ය ආදි නව සූත්‍රයන්හිය. ලැබෙන පරිද්දෙන් ගනියි යන අදහසයි. මේ විචයහාරයේ පදාර්ථ දැක්වීමයි.
මෙසේ නිද්දේසවාරයේ දී විචයහාරය සංක්‍ෂේප වශයෙන් දක්වන ලදැයි එය විභාග වශයෙන් නිර්දේශ කර පටිනිද්දේස වශයෙන් බෙදා දක්වනුයේ යම් හෙයකින් පදවිචය සූත්‍රයේ පදයක් පාසා පැවතිය යුතු බැවින් ඉතා බරය, පහසු නොවේ යැයි එය ස්පර්ශ නොකර ප්‍රශ්න විසඳන විචයයෙහි පළමුව දක්වමින් ‘යථා කිං භවෙ’ යනාදිය කීවේය. එහි යථා කිං භවෙ යනු යම් ආකාරයකින් ඒ හාරය පැවැත්විය යුතු ද ඒ ප්‍රකාරය කිම වන්නේ ද යනුයි. කෙබඳු වන්නේ ද යන අර්ථයයි. යථා කිං භවෙය්‍ය යන පාඨයක් ද වේ. නැවත යථා යනු නිපාත මාත්‍රයකි. ආයස්මා යනු ප්‍රියවචනයකි. අජිතො යනු බාවරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය වූ දහසය දෙනාගෙන් එක්තරා අයෙකි. පාරායනෙ යන පදයේ පාර යන්නෙන් නිවන ගැන ප්‍රකාශ වේ. එය අවබෝධ කරගැනීමේ උපාය දේශනා කරන බැවින් කෙසේ හෝ භාග්‍යවතුන් වහන්සේගේ සියලු වචන පාරායන යැයි කියන්නට සුදුසුය. සංගීති කාරකයන් විසින් වත්‍ථුගාථා අනුගීති ගාථා ආදිය සමග අජිත සූත්‍රය ආදි සූත්‍ර දහසකට මේ නම කරන ලදැයි ඒවාටම පාරායන සංඥාව වෙතියි පාරායනයෙහි කියන ලදි. ඇතැමෙක් පාරායනිකො යැයි කියත්. ඔවුහු තාපස පැවිද්දෙන් පැවිදිවීමට පෙර පාරායනය හදාරමින් සැරිසැරූහ. එහෙයින් මෙයත් පාරායනය පවත්වතැයි පාරායනිකො යැයි කියන ලදි. පුච්ඡති යැයි කුමක් නිසා කියන ලද ද? ඇසීමෙන් උපන් බැවින් ඉක්මවූයේ නොවේ ද? මෙය සත්‍යයකි. විමසීම් ආකාරය බුද්ධිය වෙනස්කොට කියන ලදි.
මේ විමසීම ද, අදිට්ඨජොතනා (නොදක්නා ලද්දහුගේ ප්‍රකාශය විමසීම) දිට්ඨසංසන්දනා (දක්නා ලද්දහුගේ ප්‍රකාශය සැසඳීම) විමතිච්ඡේදන (විමතිය දුරුකරන විමසීම) අනුමති (අනුමැතිය විමසීම) කථෙතුකම්‍යතා (කියනු කැමති දෙය විමසීම) එකංසව්‍යාකරණ (සෘජුව විමසීම) විභජ්ජ ව්‍යාකරණ (බෙදා දක්වා විමසීම) පටිපුච්ඡා ව්‍යාකරණ (ප්‍රතිප්‍රශ්න නගා විමසීම) ඨපනීය (පිළිතුරු නොදීම) ධම්මාධිට්ඨාන සත්තාධිට්ඨාන යැයි නන්වැදෑරුම්ය. එහෙයින් මේ විමසීම අදිට්ඨජෝතනා ආදියෙන් ලැබෙන පරිදි විමර්ශනය කළ යුතුය. මෙහි පෘච්ඡා විභාගය යම්සේ ද එසේ විස්සජ්ජන විභාගය ද විස්සජ්ජන විචයයෙහි දී ලැබෙන පරිදි කිය යුතුය. විස්සජ්ජනය පෘච්ඡාවට සමානකම් ඇත්තේය. මෙහිදී විමතිච්ඡේදන සත්තාධිට්ඨාන පුච්ඡාව ගෙනහැර දක්වා එහි විමසීම් ආකාරය දක්වන්නට ‘කෙනස්සු නිවුතො ලොකො’ යනාදිය කීවේය.
එහි කෙන යනු කර්තෘ කාරකයේ කරණ විභක්ති වචනයකි. සු යනු නිපාත මාත්‍රයකි. නැතහොත් සූ යනු සංශයාර්ථයේ නිපාතයකි. එයින් මෙම ප්‍රශ්නයේ සැක දුරු කරන විමසීම් ස්වරූපය දක්වාලයි. නිවුතො යනු වසන ලද යනුයි. ලොකො යනු සත්ත්ව ලෝකයයි. ඉච්චායස්මා අජිතො යනු සංගීතිකාරක භික්‍ෂූන්ගේ වචනයකි. නප්පකාසති යනු නොපැනේ යනුයි. කිස්සාභිලෙපනං බ්‍රෑසි යනු මේ ලෝකයේ අභිලෝපනය (ලාටුව) කිමකැයි කියහි ද යනුයි. කිංස්වාභිලෙපනං යනු ද පාඨයකි. එහි කිංසු අභිලෙපනං යන පද විභාගය වේ.