ද්වාදසපදං
දැන් යම් බ්‍යඤ්ජන පදයන්ගේ ද අර්ථ පදයන්ගේ ද වශයෙන් ද්වාදසපදානි සුත්තං යැයි කියන ලද ද ඒ පදයන් දක්වන්නට අක්ඛරංපදං යන ආදිය කියන ලදි. එහි නොරක්නා ලද පදයෙහි ඇති වර්ණය අක්‍ෂරය නමි. පර්යාය වශයෙන් ක්‍ෂය නොවන බැවින් හා වෙන තැනකට නොහැසිරෙන බැවිනි. වර්ණය පිළිබඳ සමාන වචනයක් විද්‍යමාන නොවේ. එහෙයින් වණ්ණො යන තැන කවර අර්ථයකින් වර්ණ නම් වේද? අර්ථ සංවර්ණනා අර්ථයෙනි. ස්වල්ප වේලාවක් උසුරුවන හෙයින් වර්ණයම පූර්වාපර වශයෙන් පැවතියේ පදයක මුලින්ම ගනු ලබන්නේ සම්බන්ධය ඇති පරිදි ඒ ඒ අර්ථය ප්‍රකාශ කරයි. එක් අකුරක් හෝ පදයක් අකුරකි. ඇතැමෙක් මනසින් දෙසූ දෙය වචනයෙන් ව්‍යවාහර කරන හෙයින් අක්‍ෂර නම් වෙතැයි කියති.
පදං මෙයින් අර්ථය සංස්කරණය කෙරෙයි යන අර්ථයෙන් පද නම් වේ. එය නාමපදය, ආඛ්‍යාත පදය, උපසර්ග පදය, නිපාත පදය යැයි චතුර්විධය. එහි ඵස්සො, වෙදනා, චිත්තං යන මේ ආදී සත්ත්ව ප්‍රධාන දේ නාමපද නම් වේ. ඵුසති, වෙදයති, විජානාති යන මේ ආදි ක්‍රියා ප්‍රධාන දේ ආඛ්‍යාත පද නම් වෙමු. ක්‍රියා විශේෂණ ග්‍රහණ නිමිති වශයෙන් ‘ප’ යන මේ ආදිය උපසර්ග පද නම් වේ. ක්‍රියාවේ ද සත්ත්වයන්ගේ ද ස්වරූප විශේෂය ප්‍රකාශ කිරීමට හේතු වූ ‘එව’ යන මේ ආදිය නිපාත පද නම් වේ.
බ්‍යඤ්ජනං යනු පදයට හිත වූ අර්ථය බබුළුවන්නේ නුයි බ්‍යඤ්ජන වෙතැයි කෙටියෙන් කියන ලදි. වාක්‍යය (යනු) එය අර්ථ වශයෙන් වූ පද සමුදාය යැයි දතයුතුය. පද මාත්‍රයක් ඇසීමේ දී වුවත් අධිකාරාදි වශයෙන් ලැබෙන වෙනත් පදයන්ගෙන් එකට එකතු කොට අර්ථ ප්‍රතිපාදනය වෙතැයි වාක්‍යයම අර්ථය (බබුළුවයි) ප්‍රකාශ කරයි. නිරුත්ති යනු ආකාරයට හිත වූ නිර්වචනය නිරුත්ති නම් වේ යනුයි.
නිද්දෙසො යනු නිර්වචනය විස්තර කිරීමයි. නිරවශේෂව දේශිත බැවින් නිද්දේස නමි. පදයන්ගේ යුත් වාක්‍යයේ විභාගය ආකාරයයි. ඉදින් මෙසේ පද වශයෙන් ආකාරයේ කවර විශේෂයක් ද? නො අවසන් කරන ලද හෝ නොබෙදන ලද වාක්‍යයේ ඒ ඒ අවයව පද නමි. උච්චාරණ වශයෙන් අවසන් වූ හෝ බෙදන ලද හෝ වාක්‍යයේ ඒ ඒ අවයවය ආකාරයයි. සවැනි වචනය මෙයටය යන අර්ථයෙන් ආකාර ඡට්ඨ වචනං යි යෙදේ. බ්‍යඤ්ජන පදයයි. මෙහි ද බ්‍යඤ්ජනං යනු මේ පදයට අනතුරුව කිවයුතු ආකාර පදය නිද්දේස පදයට අනතුරුව කියන බැවින් ආකාර ඡට්ඨ වචනං යැයි කියන ලදි. පදානුපූර්වත්වය කැමතිවන්නවුන් විසින් එය බ්‍යඤ්ජන පදයන්ට අනතුරුවම කළ යුතුය. එසේම ‘බ්‍යඤ්ජන අප්‍රමාණය. ආකාරයන් අප්‍රමාණයැයි’ කියනු ලැබේ. බ්‍යඤ්ජනයන්ගෙන් විවරණය කරයි. ආකාරයන්ගෙන් විභජනය කෙරේයැයිද කියනු ලැබේ. කිසිවෙක් ආකාර පද බ්‍යඤ්ජන නිරුත්තියො ච නිද්දෙසො යැයි ද කියත්. එත්තාව බ්‍යඤ්ජනං සබ්බං යනු යම් මේ අක්‍ෂරාදියක් දක්වන ලද ද එපමණ සියලු ව්‍යඤ්ජනය. මේවායින් සංග්‍රහ නොකරන ලද ව්‍යඤ්ජනයක් නම් නැත යන අර්ථයයි.
සංකාසනා යනු කෙටියෙන් ප්‍රකාශ කිරීමයි. පකාසනා යනු පළමුව ප්‍රකාශ කිරීමයි. ප්‍රකාශ කරයි බබළවයි යන අර්ථයයි. මේ පද දෙකින් අක්‍ෂර පදයන් මගින් බබුළුවනු ලබන අර්ථාකාරය ගන්නා ලදි. යම්හෙයකින් අක්‍ෂරයන් මගින් ශබ්දකරන විට අසන්නවුන්ගේ විශේෂාවධානය කරන ලද බැවින් පද කෙළවර පදාර්ථ ප්‍රතිපාදනය වෙයි. එසේම කියනු ලැබේ. එහි භාග්‍යවතුන් වහන්සේ අකුරුවලින් කෙටියෙන් ප්‍රකාශ කරයි. පදයන්ගෙන් ප්‍රකාශ කරත් යනුයි. අකුරුවලින් ද පදවලින් ද වැසුම් හරිතැයිද (කියන ලදි).
විවරණා යනු විස්තර කිරීමයි. විභජනය ද ප්‍රකට කිරීම ද පැනවීම ද විභජනුත්තානී කම්මපඤ්ඤත්ති නමි. එහි විභජනා යනු විභාග කිරීමයි. දෙකින්ම නිර්දේශය කියන ලදි. මෙහි දී පූර්ව න්‍යායෙන්ම බ්‍යඤ්ජන ආකාරයන්ගෙන් දක්වනු ලබන අර්ථාකාරය දක්වන ලදැයි දතයුතුය. උත්තානී කම්මං යනු ප්‍රකට කිරීමයි. ඒ ඒ ප්‍රකාරයන්ගෙන් හැඟවීමයි. පඤ්ඤත්තං යනු දෙකකින් ඉදිරිපත් කිරීමයැයි කියයි. මෙහිද නිරුක්ති නිර්දේශ සංඛ්‍යාත වූ බ්‍යඤ්ජන පදයන්ගෙන් දක්වනු ලබන අර්ථාකාරය කියන ලදි. යමෙක් නැවත දක්වනු ලැබේ ද එය කියන ලදි. එතෙහි යනු ඒවායින්ම සංකාසනාදියෙන් තොර වූ දේශනාර්ථයක් නොමැති හෙයිනි. අත්‍ථො යනු සූත්‍රාර්ථයයි. කම්මං යනු උද්ඝාටන ආදී කර්මයයි. දේශනාවේ පවත්නා සූත්‍රාර්ථයෙන් උග්ඝටිතඤ්ඤු ආදී හික්මවිය යුතු පුද්ගලයන්ගේ චිත්ත සන්තානයේ ප්‍රබෝධ කිරීම ඇතිවීමයි. ඒ සූත්‍රාර්ථය ද සංකාසනා ආදි ආකාර ඇත්තේය. එහෙයින් ‘අත්‍ථො කම්මඤ්ච නිද්දිට්ඨං’ යැයි කියන ලදි.