1 - 5
පස්වන ගාථාවේ සංක්ෂිප්ත අර්ථය මෙසේ ය. ‘ඒ පුද්ගලයා දුර්වල බැවින් ක්ලේශයෝ ඔහු බලය යොදා යටපත් කරගනිති. දමනය කරති. මර්දනය කරති. ‘ශ්‍රද්ධා බල ආදියෙන් තොර වූ බැවින් හෝ දුර්වල වූ ඒ පුරුෂයා දුබල බැවින් බලාත්කාරයෙන් යටත් කරගනිති’යි යන අර්ථයි. ඉක්බිති ඒ කාමයට ගිජු වූ, කාමයෙහි ඇලුණු, කාමය සොයන්නහු සිංහාදී වූ ප්‍රකට අන්තරායයෝ ද කාය දුශ්චරිතාදී අප්‍රකට අන්තරායයෝ ද මර්දනය කරති. ඉක්බිති අප්‍රකට අන්තරායයන් විසින් මඬනා ලද ඒ පුද්ගලයා පසුපස ජාති ආදී දුක් එයි. බිඳී ගිය නැවක් තුළට ජලය වදනා සේය.
අබලා යනු ‘මොවුනට බලයක් නැත්නු’යි අබල නම් වෙති. බලයෙන් තොර වූවාහුයි. දුබ්බලා යනු මද වූ ප්‍රයෝග (ප්‍රායෝගිකත්වයක්, කාර්යක්‍ෂම භාවයක්) ඇත්තාහුයි, බලයෙන් කළයුතු කටයුතු විරහිත වූවාහුයි. අප්පබලා අල්ප වූ, සුලු වූ බලයක් මොවුනට ඇත්නු’යි අප්පබල නම් වෙති. යෙදීමට (නියුතුවීමට අසමත් වූවාහු යි. ‘අප්පථාමා’ යනු අල්ප වූ සුලු වූ වීර්යයක්, වෑයමක්, උත්සාහයක් මොවුනට ඇත්නුයි අප්පථාප නමි. වීර්යයෙන් හීන වූවාහුයි, ප්‍රයෝග හීන වූ බැවින් ඔමකා ‘ඕමක’ (ප්‍රායෝගිකත්වයෙන් අවම) නම් වෙති. වීර්යය දුර්වල වූ හෙයින් ඡත්තක නම් වෙති. (එනම් හතු මෙන් පහසුවෙන් මඩිනු ලැබිය හැකි වෙති.) අදහස් හීන වූ බැවින් පරිත්තා යනු පරිත්ත (ලඝු) නම් වෙති. ශක්තියෙන් හීන වූ හෙයින් (කාය දුශ්චරිතාදී වූ අප්‍රකට අන්තරායයෝ) යටත් කරගනිති. මැඩගනිති. ගැටීම් උපදවති. පරිසහන්ති යනු සර්වප්‍රකාරයෙන් ම මැඩ ගනිති. අභිභවන්ති යනු ඒ ඒ භවයෙහි උත්පත්ති වශයෙන් අජ්ඣොත්‍ථරන්ති යනු නැවත නැවත උත්පත්ති වශයෙන් මැඩගනිති. පරියාදියන්තී යනු වියලවා (ක්‍ෂය කරවා) සිටීමෙන්, මද්දන්ති යනු කුසල් ඉපදීම වැළැක්වීමෙන් මඩිති.
සද්ධාබලං යනු ‘මෙය කරණකොට ගෙන අදහතියි, ‘තමාම (තනිවම) යමක් කරණ කොටගෙන) අදහති’යි, මෙය හුදු ඇදහීම් මාත්‍රයකි’ යි හෝ ‘සද්ධා’ නමි. එය ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේය. විශ්වාස කිරීම හෝ ලක්‍ෂණ කොට ඇත්තේ ය. මනාකොට පැහැදවීම (රස) කෘත්‍යකොට ඇත්තේය. ජලය පහදවන මැණිකක් මෙනි. ශීඝ්‍ර චලනය (සැණෙකින් ක්‍රියාත්මක වීම) හෝ කෘත්‍යකොට ඇත්තේ ය. ඕඝයක් තරණය කිරීමේ දී නැවක් මෙනි. විචිකිච්ඡා ආදියෙන් නොකිළිටි බව පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේ ය. නැඹුරු බව වැටහීම් කරණ කොට ඇත්තේය. ඇදහිය යුතු බව පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. සෝතාපත්ති අංගය (විචිකිච්ඡා රහිත බව) හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. ‘මැනවින් මඬනා ලද (නිසැකයෙන් ඵලදාව ඇතිකරන) බිජුවට මෙනැ’යි දතයුතුය. ‘අවිශ්වාසයෙන් (සැකයෙන්) කම්පා නොවෙති’යි සද්ධාබලං සද්ධා බල නමි. විරිය බලං, විරිය බල යනු වීරයාගේ ස්වභාවය ‘විරිය’ (වීර්ය) නමි. වීරයන්ගේ කාර්යය හෝ විධිමත් නයින් (උපායයෙන්) කියවිය යුතු වූයේ, පැවැත්විය යුතු වූයේ හෝ විරිය (වීර්ය) නමි. ඒ මේ (වීර්යය) උපස්ථම්භනය (රුකුල්දීම) ලක්‍ෂණකොට ඇත්තේ ය. උත්සාහය ලක්‍ෂණකොට ඇත්තේ ද වේ. සහජාත (එක්ව උපන්) ධර්මයනට රුකුල්දීම කෘත්‍යකොට ඇත්තේය. ‘සංවිග්ගො යොනිසො පදහති’ (සංවේගයට පත්වූයේ නුවණින් වීර්ය කරයි.) යනු කී හෙයින් සංවේගය (කලකිරීම) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. වීර්යාරම්භයට වස්තු (ආශ්‍රය) වූ දෙය හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. මැනවින් අරඹන ලද්දේ සියලු සම්පතට මුල්වෙතැයි දතයුතුය. කුසීතකමින් කම්පා නොවෙති’යි විරිය බලං විරිය බල නම් වේ.
සිහියෙහි ලක්‍ෂණාදිය (ඉහතින්) පවසන ලද්දේ ය. මුළා වූ සිහියෙන් කම්පා නොවේනුයි සති බලං, සති බල නම් වේ. ‘සහජාත (එක්ව උපන්) ධර්මයන් මනාව ආධාරකොට ගනිති’යි, ‘පිහිටුවා ගනිති’යි සමාධි නම් වේ. එය (සමාධිය) ප්‍රමුඛත්වය ලක්‍ෂණකොට ඇත්තේ ය. අවික්‍ෂේපය (ඒකාග්‍රතාව) හෝ අවිසාර (නො විසුරුණු බව) හෝ ලක්‍ෂණකොට ඇත්තේ ය. සහජාත (එක්ව උපන්) ධර්මයන් පිළිබඳ අරමුණෙහි දී සම්පිණ්ඩනය (පිඬුකොට ගැනීම) කෘත්‍යකොට ඇත්තේ ය. (සඳුන්, කොකුම් ආදී) නහන සුවඳ කුඩුවලට (සුවඳ සුණු) ජලය මෙනි. උපසමය (සන්සිඳීම) වැටහීම් කාරණ කොට ඇත්තේ ය. ඥානය හෝ වැටහීම් කොට ඇත්තේ ය. ‘සමාහිතො යථාභූතං පජානාති පස්සති’ (සමාධියෙන් යුක්ත වූයේ තත් වූ පරිදි දනියි. දකියි.) යනුවෙන් කියන ලදී. විශේෂයෙන් සුඛය (සුවපහසු බව) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. සුළඟින් ආවරණය වූ තැනෙක පහන් සිළුවේ නිසල පැවැත්ම මෙන් සිතෙහි නිසල බව දතයුතුයි. ‘උද්ධච්චයෙන් කම්පා නොවෙති’යි සමාධිබලං සමාධි බල නමි. ‘විශේෂයෙන් දැනගන්නේ නු’යි පඤ්ඤා නම් වේ. කුමක් දැනගනී ද? ‘මේ දුකය.....’ යනාදී නයින් ආර්ය සත්‍යයන් දැනගනියි. එය යථා ස්වභාව (තත් වූ පරිදි අවබෝධ කිරීම) ප්‍රතිවේධය ලක්‍ෂණකොට ඇත්තේ ය. අක්ඛලිත පටිවේධය (නොපැකිලෙන) හෝ ලක්‍ෂණකොට ඇත්තේ වේ. දක්‍ෂ දුනුවායකුගේ දුන්නෙන් නිකුත් වූ ඊතලයක් (නිවැරදිව ඉලක්කය කරා යන්නා වැනිය.) මෙන් ප්‍රස්තුත විෂය කරාම යන්නේය. ප්‍රස්තුත විෂයය පහනක් මෙන් හෙළිපෙහෙළි කිරීම කෘත්‍යකොට ඇත්තේය. අසම්මෝහය (නොමුළා බව), නොමුලාව කැලෑ මං නිවැරදිව පෙන්වන්නෙකු මෙන් පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේය. අවිද්‍යාවෙන් කම්පා නොවේනුයි පඤ්ඤා බලං පඤ්ඤා බල නමි. අහිරික බවින් (ලැජ්ජා නැති බැවින්) කම්පා නොවේනුයි හිරිබලං හිරිබල නමි. අනොත්තප්පයෙන් (පව් කිරීමට නොබිය වන බැවින්) කම්පා (නොවේනුයි ඔත්තප්පබලං ඔත්තප්ප බල නම් වේ. මේ එම දෙපදයේ අර්ථ වර්ණනාවයි. කාය දුශ්චරිතාදියෙහි ලැජ්ජා වනුයේ ‘හිරි’ හිරි නමි. ලජ්ජාවට මේ අධිවචනයෙකි. ඒ කාය දුශ්චරිතාදිය සිදුකිරීමට බිය වේනුයි ඔත්තප්පං ඔත්තප්ප නමි. පාපයට බියවීමට තැති ගැනීමට මේ අධිවචනයෙකි.
මේ දෙපදය වෙන්කර පැහැදිලි කරනු පිණිස සමුට්ඨාන, අධිපති හා ලජ්ජාදී ලක්‍ෂණයන් ද යන මේ මාතෘකා තබා, අනතුරුව මේ සවිස්තර කථාව කියන ලදී. ඇතුලතින් හටගන්නේ (සමුට්ඨාන) හිරි නම් වේ. බාහිරව (පිටතින්) හටගන්නේ ඔත්තප්ප නම් වේ. තමා අධිපති කොට උපන්නේ හිරි නම් වේ. ලෝකයා අධිපති කොට උපන්නේ ඔත්තප්ප නම් වේ. ලජ්ජා ස්වභාවයෙන් සිටියේ හිරි නම් වේ. එය ස්වභාවයෙන් සිටියේ ඔත්තප්ප නම් වේ. අප්‍රගල්භ (යටහත් පහත් පැවතුම් ඇති) ලක්‍ෂණය ඇත්තේ හිරි නම් වේ. වරදට බිය වන වරදෙහි බිය දක්වා ලක්‍ෂණය ඇත්තේ ඔත්තප්ප නම් වේ.
එහි අභ්‍යන්තරව හටගන්නා හිරිය කාරණා සතරකින් උපදියි. එනම්, තමාගේ ජාතිය පිළිබඳව සලකා බලා ද, වයස සලකා බලා ද, ශූරභාවය සලකා බලා ද තමාගේ බහුශ්‍රැතභාවය සලකා බලා දැයි යන කරුණු සතරෙකි. කෙසේද යත්, ‘පව්කම් කිරීම නම් උසස් කුලවතුනට සුදුසු වුවක් නොවේ. මසුන් මරන කේවට්ටාදී කරන ක්‍රියාවෙකි. ‘ඔබ වැනි උසස් කුලවතුන්ට මෙවැනි ක්‍රියා කිරීම නොහොබී’ යනුවෙන් තමාගේ ජාති සම්පන්නභාවය සිහිකර බලා, ප්‍රාණඝාතාදී පව්කම් නොකරනුයේ පව් කිරීමට ලජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් කිරීම නම් ළදරුවන් විසින් කළ යුත්තකි. ඔබ වැනි වැඩිහිටි වියෙහි සිටියකු විසින් මෙවැනි පව්කම් කිරීම නොහොබී’ යැයි වයස පිළිබඳව සිහිපත් කර බලා ප්‍රාණඝාතාදී පවු නොකරනුයේ ලැජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් නම් දුර්වල වූවන්ගේ ක්‍රියාවකි. ඔබ වැනි ශූරභාවයට පත්වූවකු විසින් මෙවැනි පාපකර්ම කිරීම නුසුදුසුය’යි මෙසේ තම ශූරභාවය සිහිපත් කර බලා ප්‍රාණඝාතාදී පවුකම් නොකරනුයේ ලජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් කිරීම නම් අඳබාලයන්ගේ ක්‍රියාවෙකි. පඬිවරුන්ගේ ක්‍රියාවක් නොවේ. ඔබ වැනි බහුශ්‍රැත පඬිවරුනට මෙවැනි ක්‍රියා සිදුකිරීම නොහොබී’ යැයි මෙසේ තම බහුශ්‍රැතභාවය සිහිපත් කිරීමෙන් පව්කම් නොකරනුයේ ලජ්ජාව උපදවා ගනියි. මෙසේ අභ්‍යන්තරව හටගන්නා හිරිය සිවු ආකාරයකින් උපදවා ගනියි. එසේ උපදවා ගෙන, යලිදු තමාගේ සිත තුළ පිහිටාගෙන පවුකම් නො කරයි. මෙසේ අභ්‍යන්තරයෙන් හටගන්නා පව් කිරීමට ඇති ලජ්ජාව හිරි නමි. ඔත්තප්ප සිතුවිල්ල කෙසේ බාහිරව හටගන්නේ ද? ඉදින් ඔබ පව්කම් කරතොත් සිවු පිරිස් අතර ගැරහීමට පත්වූවෙක් වන්නාහුය.
ගරහිස්සන්ති තං විඤ්ඤා අසුචී නාගරිකො යථා,
විවජ්ජිතො සීලවන්තෙහි කථං භික්ඛු කරිස්සතී ති
‘නුවණැත්තෝ ඔහුට නගරවැසියෙකු අශූචි පිළිකුල් කරන්නාක් මෙන් ගරහති. සිල්වතුන් විසින් අත්හැරෙති. ඒ භික්‍ෂුව කෙසේ (මහණකම්) කරන්නේ ද?’
මෙසේ සිහිපත් කරමින් බාහිර හටගන්නා වූ ඔත්තප්පය (බිය) නිසා පවුකම් නොකරයි. මෙසේ බාහිරව හටගන්නා (පවු නොකරන සිතුවිල්ල) ඔත්තප්ප නම් වේ.
කෙසේ අත්තාධිපති ධර්මය හරි නම් වේද? මේ සසුනෙහි කිසියම් කුලපුත්‍රයෙක් තමා අධිපතියකු, ජ්‍යෙෂ්ඨයකු කර, ‘ඔබ වැනි ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බහුශ්‍රැත වූ ධුතංගධරයෙකුට පව්කම් කිරීම නුසුදුසුය’යි සිතා පව්කම් නොකරයි. මෙසේ තමා ප්‍රධාන කරගත් (අත්තාධිපති) ධර්මය හිරි නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘ඔහු තමාම අධිපති කරන්ගෙන අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය දේ බැහැරලයි. නිවැරදි ක්‍රියා වඩයි. පිරිසිදු වූ ආත්මභාවය පරිහරණය කරයි’ යනුවෙනි.