මහානිද්දෙස අටුවාව
ගන්ථාරම්භකථා
අවිජ්ජාලඞ්ගිං ඝාටෙන්තො නන්‍දිරාගඤ්ව මූලතො,
භාමෙන්තට්ඨඞ්ගිකං මග්ගං ඵුසී යො අමතං පදං
භාමෙන්තට්ඨඞ්ගිකං මග්ගං ඵුසී යො අමතං පදං
අවිද්‍යා නමැති අගුලද නන්‍දිරාග තෘෂ්ණාවද මුලින්ම ගලවා දමා, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින්, යම් කෙනෙක් තුමූ අමෘත පද සංඛ්‍යාත නිර්වාණය ස්පර්ශ කළාහුද,
පාපුණිත්‍වා ජිනො බොධිං මිගදායං විගාහිය,
ධම්මචක්කං පවත්තෙත්‍වා ථෙර කොණ්ඩඤ්ඤ මාදිතො
ධම්මචක්කං පවත්තෙත්‍වා ථෙර කොණ්ඩඤ්ඤ මාදිතො
(ඒ ජිනයන්) බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ (ඉක්බිති) මිගදායයට වැඩමවා, දම්සක් දෙසුම් පවත්වා, එහි කොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රමුඛ කොට.
අට්ඨාරසන්නං කොටීනං බොධෙසි පිතාමහෙ තහිං,
වන්‍දෙහං සිරසා තඤ්ච සබ්බසත්තාන මුත්තමං
වන්‍දෙහං සිරසා තඤ්ච සබ්බසත්තාන මුත්තමං
අටළොස් කෙළෙක (කෙලක් පමණ වූ) බ්‍රහ්මයන්ට ධර්මාවබෝධය කරවූවහුද, සියලු සත්ත්වයනට වඩා උතුම් වූ ඒ බුදුරජාණන් වහන්සේ සිරස නමා වඳිමි.
තථා ධම්මුත්තමඤ්චෙව සංඝඤ්චාපි අනුත්තරං,
සංඛිත්තෙන භියො වුත්තං ධම්මචක්කං වචිභාගසො
සංඛිත්තෙන භියො වුත්තං ධම්මචක්කං වචිභාගසො
එසේම උතුම් වූ ධර්මයද, අනුත්තර වූ (ශ්‍රාවක) සංඝයාද (වඳිමි.) බොහෝ සෙයින් සංක්‍ෂිප්ත කොට දේශනා කරන ධම්මචක්ක දේශනාව විස්තර විභාග වශයෙන් දක්වමින්
සාරිපුත්තො මහාපඤ්ඤො සත්‍ථුකප්පො ජිනත්‍රජො,
ධම්මචක්කං විභාජෙත්‍වා මහානිද්දෙසමබ්‍රවි
ධම්මචක්කං විභාජෙත්‍වා මහානිද්දෙසමබ්‍රවි
මහාප්‍රාඥ වූ, ශාස්තෲන් වහන්සේ හා සමාන වූ, ජිනරාජ පුත්‍ර වූ, සැරියුත් මහ තෙරුන් වහන්සේ, ධම්මචක්ක දේශනාව විභාග කර දක්වමින් මහානිද්දේසය දෙසූ සේක.
පාඨො විසිට්ඨො නිද්දෙසො තං නාම විසෙසතො ච
විශේෂ කොට දන්වන ලද පාඨය නිද්දේස නමි. එම (ග්‍රන්ථ) නාමයද (මෙකී) විශේෂාර්ථ වශයෙන් වේ.
තං සාරිපුත්ත ජිනරාජපුත්තං ථෙරං ථිරානෙක ගුණාභිරාමං,
පඤ්ඤාසභාවුග්ගත නාමකිත්තිං සුනීච වුත්තිඤ්ච අථො නමිත්‍වා
පඤ්ඤාසභාවුග්ගත නාමකිත්තිං සුනීච වුත්තිඤ්ච අථො නමිත්‍වා
අනතුරුව, ජිනරාජ පුත්‍ර වූ, ස්ථිරසාර නොයෙක් ගුණ මහිමයෙන් ශෝහිත වූ, ප්‍රඥා ස්වභාවයෙන් උස්ව නැගි කීර්තිරාව ඇති, මනා වූ නිවාත ගුණයෙන් (නිහතමානී බවින්) හෙබි පැවතුම් ඇති, ඒ ශාරිපුත්‍ර තෙරණුවන්ද නැමද,
ඛමා දයාදියුත්තෙන යුත්ත මුත්තාදි වාදිනා,
බහුස්සුතෙන ථෙරෙන දෙවෙන අභියාචිතො
බහුස්සුතෙන ථෙරෙන දෙවෙන අභියාචිතො
ඉවසීම, දයාව ආදී ගුණයෙන් යුත්, ගුණ යුක්ත, දෝෂ මුක්ත ආදි ආකාරයෙන් කථාකරන සුලු, බහුශ්‍රැත වූ දේව නම් තෙරුන් විසින් ආරාධිත වුයෙම්.
මහාවිහාරවාසීනං සජ්ඣායම්හි පතිට්ඨිකො,
ගහෙතබ්බං ගහෙත්‍වාන පොරාණෙසු විනිච්ඡයං
ගහෙතබ්බං ගහෙත්‍වාන පොරාණෙසු විනිච්ඡයං
මහා විහාර වාසීන්ගේ ඉගෙනීම් සම්ප්‍රදායෙහි පිහිටියෙම්, පුරාණාචාර්යවරයන්ගේ අර්ථ විවරණයන්ගෙන් ගතයුතු විනිශ්චයද ගෙන,
අවොක්කමන්තො සමයං සකඤ්ච අනාමසන්තො සමයං පරඤ්ච,
පුබ්බාපරෙපට්ඨ කථානයඤ්ච යථානුරූපං උපසංහරන්තො
පුබ්බාපරෙපට්ඨ කථානයඤ්ච යථානුරූපං උපසංහරන්තො
සමය නො ඉක්මවමින්ද, පරසමය ස්පර්ශ නොකරමින්ද, (මෙකී) පෙර පසු දෙ කරුණෙහිදීම, සුදුසු පරිදි, අට්ඨකථා නය හකුලුවමින්ද (පිඬුකොට දක්වමින්ද),
ඤාණප්පභෙදා වහනස්ස තස්ස යොගෙහි නෙකෙහි නිසෙවතස්ස,
අත්‍ථං අපුබ්බං අනුවණ්ණයන්තො සුත්තඤ්ච යුත්තිඤ්ච අවොක්කමන්තො
අත්‍ථං අපුබ්බං අනුවණ්ණයන්තො සුත්තඤ්ච යුත්තිඤ්ච අවොක්කමන්තො
(මාර්ග-ඵල ආදී වූ) ඥාන ප්‍රභේදයන් ගෙන දෙවන, බොහෝ වූ යෝගීන් විසින් සෙවුනා ලද, එම නිද්දේස පාළියෙහි අපූර්ව වූ අර්ථය වර්ණනා කෙරෙමින්, සූත්‍ර පාඨයද, යුක්ති යුක්තතාවද නො ඉක්මවමින්
ආරභිස්සං සමාසෙන මහානිද්දෙස වණ්ණනං,
සද්ධම්ම බහුමානෙන නාත්තුක්කංසන කම්‍යතා
සද්ධම්ම බහුමානෙන නාත්තුක්කංසන කම්‍යතා
තමා හුවා දැක්වීමේ කැමැත්තෙන් නොව, සද්ධර්මය කෙරෙහි බහුමානයෙන් යුක්තව මහා නිද්දේස පාළියෙහි අර්ථ වර්ණනාව බොහෝ විස්තර නැතිව අරඹන්නෙමි.
වක්ඛාමහං අට්ඨකථං ජනස්ස හිතාය සද්ධම්ම චිරට්ඨිතත්‍ථං,
සක්කච්ච සද්ධම්ම පජොතිකං කථං සුණාථ ධාරෙථ ච සාධු සන්තො
සක්කච්ච සද්ධම්ම පජොතිකං කථං සුණාථ ධාරෙථ ච සාධු සන්තො
හික්මවිය යුතු ජනයාගේ හිතසුව පිණිස, සද්ධර්මයේ චිරස්ථිතිය අපේක්‍ෂාවෙන් සද්ධර්මය අතිශයින් ජ්‍යොතිමත් කරන කථා ඇති එම (සද්ධම්ම පජ්ජොතිකා නම් වූ) අට්ඨකථාව මම කියමි. සාධු ජනයිනි, එය යහපත් සිතින් මනාකොට අසවු. ධාරණයද කරගනිවු.
එහි, පාඨො විසිට්ඨො නිද්දෙසො තං නාම විසෙසතොච යනුවෙන් කී බැවින්, පාඨය ද්විවිධ වේ. බ්‍යඤ්ජන පාඨය, අත්‍ථ පාඨය යනුවෙනි. ඒ අතුරින් බ්‍යඤ්ජන පාඨය අක්‍ෂර, පද, ව්‍යඤ්ජන, ආකාර, නිරුක්ති, නිද්දේස වශයෙන් සවැදෑරුම් වේ. අත්‍ථපාඨයද සංකාසන, පකාසන, විවරණ, විභජන, උත්තානී කරණ, ප්‍රඥප්ති යනුවෙන් ස-වැදෑරුම් වේ. එහි තුන් දොරෙහි පිරිසිදුව යෙදීම් වශයෙන් පිරිසිදු කරන්නවුන්ගේ සිතින් පවත්වන ලද දේශනාව වචනයෙන් කියන ලද බැවින්ද (වචනයෙන්ම) සෙවුනා ලබන බැවින්ද අක්ඛර නම් වීය. එය (වචනයම පිහිටකොට ගත් බ්‍රහ්මයන්ගේ මනසින් අසන ලද ප්‍රශ්නයන්ට අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් රුවන් ගෙහි වැඩහිඳ සම්මර්ශනය (විමසීම) කරන ලද පට්ඨාන මහා ප්‍රකරණ වශයෙන්ද අක්ඛර නම් වෙති’යි ගතයුතුය.
නැතහොත් පිරිපුන් (සම්පූර්ණ) පදය ‘අක්‍ෂර’ යයි ගත යුතුය. ‘සට්ඨිවස්ස සහස්සානි’ යන ආදියෙහි මෙනි. මෙහි ස කාර, න කාර, සො කාර ආදිය අක්‍ෂර යයි ගෙන ඇතැමෙක් එක අකුරෙකින් සැදි පදය හෝ අක්‍ෂර යයි පවසති. ‘යායං තණ්හා පොණොභවිකා’ යන ආදියෙහි විභක්ත්‍යන්ත වූ අර්ථයක් ප්‍රකට කරන අකුරු - පිඬ පද නම් වේ. ‘නාමඤ්ච රූපඤ්ච’ යන ආදියෙහි බොහෝ අක්‍ෂරයන්ගෙන් යුතු පදය නාම යයි කියන ලද පදය ප්‍රකට කරයි. පදයෙන් නො මුතු වූයේ ව්‍යඤ්ජන යි. එනම් වාක්‍යයමැයි. ‘චත්තාරො ඉද්ධිපාදා’ යනුවෙන් සංක්‍ෂිප්ත කොට දෙසූ අර්හත්වය ‘කතමෙ චත්තාරො’ ඡන්‍ද සමාධිපධාන සංඛාර - සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරිය-චිත්ත වීමංස සමාධි පධාන-සංඛාර -සමන්නාගතං ඉද්ධිපාදං භාවෙතී’ යන ආදි තන්හි ප්‍රකට කිරීමේ අර්ථයෙන් බ්‍යඤ්ජන නම් වේ. බ්‍යඤ්ජනයන්ගේ විභාගය හෙවත් විග්‍රහය ප්‍රකට කිරීම ආකාර යි. ‘තත්‍ථ කතමො ඡන්‍දො? යො ඡන්‍දො, ඡන්‍දීයතා, කත්තුකම්මතා යන ආදියෙහි යන ලද බ්‍යඤ්ජනය නොයෙක් ආකාරයෙන් (නැවත) විභාග කිරීම ආකාර නම් වේ. ආකාර වශයෙන් කියන ලද පදය නිර්වචන කිරීම නිරුත්ති නමි. ‘ඵස්සො වෙදනා යන ආදී තන්හි ආකාර වශයෙන් කියන ලද දෙය (නැවත) ‘ඵුසතීති ඵස්සො වෙදියතීති වෙදනා’ යනුවෙන් ගෙනහැර දැක්වීම නිරුත්ති නමි. නිර්වචන කළ දෙය (නැවත) නියමකොට නිශ්චිත කොට දැක්වීම නිද්දේස යි. ‘වෙදියතී ති වෙදනා’ යනුවෙන් නිර්වචන කළ ශබ්ද පාඨය ‘සුකා, දුක්ඛා, අදුක්ඛමසුඛා, සුඛයතීති සුඛ, දුක්ඛයතීති දුක්ඛා, නෙව දුක්ඛයති, නසුඛයතීති අදුක්ඛමසුඛා’ යනුවෙන් අර්ථ විස්තරය නිරවශේෂ වශයෙන් කියන ලද හෙයින් නිද්දේස නම් වේ.
මෙසේ සවැදෑරුම් බ්‍යඤ්ජන පාඨය පැහැදිලි කොට, ඉක්බිති සවැදෑරුම් අර්ථ පාඨයන් අතුරෙන්, පළමු කොට, ‘කාසනා’ යනු: සංක්‍ෂේපයෙන් අරුත් හැඟවීම, හෙලි කිරීම සංකාසන යි. ‘මඤ්ඤමානො ඛො භික්ඛූ බද්ධො මාරස්ස, ආමඤ්ඤමානො මුත්තො පාපිමතො’ යන (ආදී තන්හි සංක්‍ෂිප්ත කොට අර්ථ දැක්වීම සංකාසනා නමි. මේ තෙරණුවෝ වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ සංක්‍ෂිප්ත කොට පවසන ලද අර්ථය, අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගත’ යයි පවසනු සමත් වූවාහු (රහත්ඵලය) ප්‍රතිවේධ කළහ.
මත්තෙහි (පසුව) කිවයුතු අර්ථය පළමුව ප්‍රකාශ කිරීම පකාසනා යි. ‘සබ්බං භික්ඛවෙ ආදිත්තං’ යන ආදියෙහි පසුව කිවයුතු අර්ථය ප්‍රථම වචනයෙන්ම දක්වා තිබීම පකාසනා නම් වේ. මෙසේ ප්‍රථමයෙන් දැක්වූ අර්ථය නැවත ප්‍රකට කොට දැක්වීම් වශයෙනි. ‘කිඤ්ච භික්ඛවෙ සබ්බං ආදිත්තං, චක්ඛුං භික්ඛවෙ ආදිත්තං, රූපං ආදිත්තං’ යනුවෙන් මේ ආදිය පැවසූ විට, තියුණු ඉන්‍ද්‍රිය සහිත පුද්ගලයා සංක්‍ෂිප්ත කොට දෙසන ලද අර්ථය අවබෝධ කරගනීය’යි කියන ලද හෙයින් මෙකී (සංකාසනා, පකාසනා යන) අර්ථ පද දෙකම තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තාට උපකාර වශයෙන් කියන ලදි.