1. කාමසූත්රනිර්දේශ වර්ණනාව
1 - 1
එහි මුල් සූත්රය කාමසූත්රයයි. එහිද මුල් ගාථාව කාමං කාමයමානස්ස යනුයි. එය (ඒ ගාථාව) උද්දේස, නිද්දේස වශයෙන් තුන් අයුරෙකින් සිටියේය. කාමං කාමය මානස්ස යන මේ ආදිය උද්දේසයි. ‘කාමා’ ති උද්දානතො ද්වෙ කාමා, වත්ථුකාමො කිලෙසකාමොච යනුවෙන් (වෙසෙසා) දැක්වීම නිද්දේසයි. කතමෙ වත්ථුකාමා, මනාපිකා රූපා යන මේ ආදිය පටිනිද්දෙසයි.
එහි කාමං මනාප වූ ප්රියරූපාදී ත්රෛභූමක ධර්ම නම් වූ වස්තු කාමයයි. කාමයමානස්ස යනු, කැමැති වන්නහුටයි. තස්ස චෙ තං සමිජ්ඣති යනු, ඒ කැමතිවන සත්ත්වයා හට, ඉදින් ඒ කැමතිවන කාම සංඛ්යාත වස්තුව සමෘද්ධ වේ නම්, ‘ඉදින් ඔහු එය ලබතොත්” යයි කී නිසයි. අද්ධා පීති මනො හොති යනු ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වේ. ලද්ධා යනු ලැබ, මච්චො යනු ඒ සත්ත්වයායි. ‘යදිච්ඡති’ යමක් කැමැති වෙතොත් එයයි. මේ වනාහි සංක්ෂේප වශයෙන් පදාර්ථයන් දැක්වීම පමණෙකි. විස්තරය වනාහි පෙළෙහි (මහා නිද්දේස පාළියෙහි) ආ නයින්ම දතයුතුය. මෙහි යම් සේද, මින්මතු සියලු තන්හි එසේය.
‘කාමා’ යනු මතුකොට දැක්විය යුතු පදයයි. ‘උද්දානතො’ යනු, වර්ග වශයෙන් නැවත ගැනීමයි. ‘කිණෙය්ය’ (තෝරා) මිලට ගන්නේය) යන ආදියෙහි මෙන් නැතහොත්, මතු මත්තෙහිත් දැක්වීම් වශයෙන් විස්තර කිරීමයි. මතු මත්තෙහිද සේදීමෙන් පිරිසිදු කිරීමේ අර්ථයෙන් ‘වොදාන’ යන වචනය මෙනි. විස්තර කරන බැවින් හෝ ‘කාමා’ යන පදය වෙන්කොට දැක්විය යුතුය. ද්වෙ යනු, සංඛ්යාව දෙක යයි පිරිසිඳ දැක්වීමයි. එකක් හෝ තුනක් නොවෙති’යි යනුවෙනි. වත්ථුකාමාච යනු ප්රියමනාප රූපාදී වූ වස්තු කාමයෝ ද, තැවීම් අරුතින් හා බාධා කිරීම් අරුතින් ද ක්ලේශ කාමයෝද ගැනෙති. ඔවුන් (වස්තුකාම ක්ලේශකාමයන්) අතරෙන් වස්තු කාමය පිරිසිඳ දතයුතුය. ක්ලේශකාමය පහකළ යුතුය. එහි වස්තුකාමය ක්ලේශකාමය මගින් පැතිය යුත්තේ නුයි, පතනු ලබන්නේ නුයි ‘කාම’ නම් වේ. ක්ලේශකාමය වස්තුකාමයන් පිළිබඳ අපේක්ෂාවනට හේතුවන බැවින්, මෙය (ක්ලේශ කාමය) හේතු කොටගෙන පතනු ලැබේනුයි ‘කාම’ නම් වේ. එහි රූපාදී වූ ස්කන්ධය තුළ සංගෘහීත වූයේ වස්තු කාමයයි. සංඛාර ස්කන්ධය තුළ සංගෘහීත වූයේ ක්ලේශකාමයයි. (චක්ඛු විඤ්ඤාණ ආදී) ෂඩ් විඥානයන් මගින් දතයුත්තේ වස්තු කාමයයි. හුදෙක් මනෝ විඤ්ඤාණයෙන් දතයුත්තේ ක්ලේශ කාමයයි. කෙලෙසුනට පිහිට ආධාර වෙතැ’යි හේතු වෙතැ’යි යන අරුතින්ද වස්තුකාම නම් වේ.
න තෙ කාමා යානි චිත්රානි ලොකෙ සංකප්පරාගො පුරිසස්ස කාමො,
තිට්ඨන්ති චිත්රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’ති
තිට්ඨන්ති චිත්රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’ති
ලොව යම් විසිතුරු කාමයෝ වෙත්ද, ඔව්හු කාමයෝ නොවෙති. පුරුෂයාගේ සංකල්ප රාගයම කාමය වේ. ලොව විසිතුරු වස්තූහු එසේම පවතිත්. මෙහි (ඒ බව දත්) නුවණැත්තෝ වස්තූන් කෙරෙහි ඇතිවන ආශාව හික්මවා ගනිති.
නන්ද මානවක සෝරෙය්ය සිටු පුත් ආදීන්ගේ කථා වස්තු මෙහිලා නිදර්ශන වේ. ක්ලේශ කාමයෝ තැවීම් අරුතින් ද, බාධා කිරීමේ අරුතින්ද, තුමූම කැමැති වෙත්නුයි ‘කාම’ නම් වේ. කියන ලදමැයි. ‘බ්රාහ්මණය, රාගයට හසු වූයේ, රාගයෙන් මඩනා ලද්දේ තමාට දුක් පිණිස සිතයි. -පෙ- දෙපිරිසේම දුක් පිණිස සිතයි’ යනු ද, බ්රාහ්මණය, රාගයට ගොදුරු වූයේ පර පණද නසයි. නුදුන් දෙයද ගනියි. පරඹුවන් කරාද යෙයි. බොරුද කියයි’ යනුද නිදර්ශන වේ. එයම පටිනිද්දේස වශයෙන් විස්තර කොට කියනු කැමැතිව කතමෙ වත්ථුකාමා යන ආදිය කීහු. එහි ‘කතමෙ’ යනු, (තමාම) කියනු කැමැතිව ප්රශ්න කිරීම (කථෙතු කම්යතා පුච්ඡා) යි. පුච්ඡාව (ප්රශ්න කිරීම) පස්වැදෑරුම් වේ. ඒ පිළිබඳ විභාගය පෙළෙහිම මතු විස්තර වශයෙන් දැක්වේ. ඒ (පස්වැදෑරුම්) පුච්ඡාවන් අතුරෙන් මෙය කථෙතුකම්යතා පුච්ඡා’යි.
එහි මනාපිකා යනු, මන පිනවති’යි, මන වඩති’යි යන අරුතින් ‘මනාප’ නමි. මනාප වූයේම (තදර්ථ තද්ධිත) ‘මනාපික’ වේ. රූපා යනු කම්ම, චිත්ත, උතු, ආහාර යන මොවුන්ගෙන් හටගැනීම් වශයෙන් ඇතිවන චතු සමුට්ඨානික රූපාරම්මණයෝයි. රූපයන්තී’ති, රූපා-රූපණය වෙති’යි ‘රූප’ නමි. වර්ණ විකාරයට පත්වෙමින් හදවත කරා ළඟා වන බව පවසති’යි යන අර්ථයි. එහි, කවර අරුතෙකින් ‘රූප’ නම් වේද, විනාශ වෙතැ’යි යන අරුතෙනි.