1 - 6
තස්මා යනු යම්හෙයකින් ජාතිය මුල්කරගත් දුක් ඒ පුද්ගලයා වෙත එයි ද එහෙයිනි. තං කාරණා තං හෙතු යනාදියෙහි ද මෙම නයයි. යම්හෙයකින් කියන ලද ආකාර වූ දුක් මේ සත්ත්වයා ලුහුබැඳ එයි ද ඒ හේතුවෙනි. යම්හෙයකින් ලුහුබැඳ එයි ද, එය ප්රත්ය කොටගෙන ලුහුබැඳ එයි ද එම නිදානයෙනි. යනුවෙන් පදයෝජනාව කළ යුතුයි. හෙතු යනාදිය කාරණ පර්යාය වචන යි. කාරණය වනාහි ‘එයින් එම ඵලය ඇතිවේ’ නුයි, ‘පවතීනු’යි හේතු නමි. ඒ ඒ ඵලය උදෙසා ‘ඒනුයි, පවතීනු’යි පච්චයො පච්චය නමි. ‘වහා මොහු ගනිවු’ යැයි දක්වන්නාක් මෙන් තමාගේ ඵලය දක්වානුයි නිදානං නිදාන නමි.
තං කාරණා යනු නිෂ්කාරණ බව ප්රතිෂේධ කිරීමයි. තං හෙතු යනු අහේතුක බව, මහාභූත හේතු නොවන බව වැලැක්වීමයි. තං පච්චයා යනු හේතු රහිත බව හා සමග පොදු නොවූ ප්රත්ය සහිත බව වැලැක්වීමයි. තං නිදානා යනු නිදානයක් මුල් හේතුවක් නොමැති බව හා සමග ආගමාධිගමයෙහි නිදානයක් (මුල් හේතුවක් ඇති බව) වැලැක්වීම යැයි, මෙසේ ඇතැමෙක් අර්ථ දක්වති. එතං ආදීනවං සම්පස්සමානො යනු මෙසේ කියන ලද ආකාරයෙන් තමාට ඇතිවන උපද්රව විදසුන් නුවණින් මැනවින් බලමින් දකිමින්.
සදා යනු මූල පදයයි. පුන සදා යනු අර්ථ පදයයි. සදා යනු සදහටම ය. සබ්බදා යනු සදාකාලයටම ය. සබ්බකාලං පෙරවරු ආදී සියලු කාලයෙහි ය. නිච්චකාලං දිනපතායි. දවසින් දවස ය. ධුවකාලං යනු අවිච්ඡින්නවයි. සතතං නිරන්තරයෙනි. සමිතං එක දිගටම ය. අබ්බොකිණ්ණං අනිකක් සමග අසම්මිශ්රව යි. පොංඛානුපොංඛං පිළිවෙලින් එකින් එක ගෙතීමෙනි. ‘පොංඛානුපොංඛං අවිරාධිතං උපට්ඨාති’ (පිළිවෙල නොසිඳ උපස්ථාන කරයි.) ආදියෙහි මෙනි. උදකොමිකාජාතං යනු දියෙහි හටගත් රළ පෙළක් මෙනි. අවීචි යනු අවිරලවයි. සන්තති යනු නොකඩවා යි. සහිතං යනු එක්කොට ගලපන ලදුවයි. ‘සහිතම්මෙ අසහිතන්තෙති’ (මට ගැලපෙන දෙය ඔබට නොගැලපෙයි.) යනාදියෙහි මෙනි. ඵුස්සිතං යනු නිවහනක් මෙන් ආවරණ සහිතවයි. ඵුස්සිතග්ගලෙ (දොරඟුල් දැමූ) යනාදියෙහි මෙනි. පුරෙ භත්තං පච්ඡා භත්තං යන දෙපදය දිවාකාලයේ කාලය - විකාලය හැඳින්වීම් වශයෙනි. පුරිමයාමං මජ්ඣිමයාමං පචඡීමයාමං යන තුන රාත්රී භාග වශයෙනි. කාලෙ ජුණ්හෙ යනු අඩ මස් වශයෙනි. වස්සෙ -පෙ- හෙමන්තෙ - ගිම්හෙ යන තුන ඍතු වශයෙනි. පුරිමෙ වයො ඛන්ධෙ -පෙ- පච්ඡිමෙ වයො ඛන්ධෙ යන තුන වයස් තුන - බාල, තරුණ, මහලු යනුවෙන් දක්වන ලදැයි දතයුතුයි.
සතො යනු කයෙහි, කය අනුව බලන, කායානුපස්සනා සතිපට්ඨානය වඩමිනි. ‘මෙසේ සමුච්ඡේද වශයෙන් කාමයන් දුරු කරන්නේය’යි අවසන් කරමින් ‘සතො’ යනාදිය කියන ලද්දේමය. තවද සත්තත්තා සතො යනු ත්රිවිධ වස්තුවෙහි ඇලීම් හේතුවෙන් හෝ ත්රිවිධ ක්ලේශයන් ඉවත් කිරීමට ශක්තිමත් හෙයින් හෝ සත්තත්තා සතො යි කියන ලදී. සන්තත්තා යනු ක්ලේශ උපක්ලේශයන් පලවා හැර සිටීමෙන් ද අරමුණුවලින් සිත මුදවාගෙන සිටීමෙන් ද ශාන්ත සන්සුන් බවට පැමිණියේනුයි, සතො ‘සතො’යි කියන ලදී. සමිතත්තා යනු ඉෂ්ට ඵල දායක වූ පිනෙන් ද, අනිෂ්ට ඵල දායක පවින්දැයි යන පින් පවු දෙකම සන්සිඳවූ හෙයින් සතො සතොයි කියන ලදී. සන්ත ධම්මසමන්නාගතො යනු සත්පුරුෂ දහම් ඇසුරු කිරීමෙන් ද බුද්ධාදී ආර්ය පුද්ගලයන් සේවනය කිරීමෙන් ද ලබාගත් ශාන්ත ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් සතො යි කියන ලදී.
වත්ථුකාමෙ පරිජානිත්වා යනු මෙසේ ඉහත විස්තර කළ පරිදි ත්රෛභූමික වස්තුකාමයන් පිළිබඳව තීරණ පරිඥාවෙන් පිරිසිඳ දැන, පහාය කෙලෙස් කාමයන් ප්රහාණ පරිඥාවෙන් අත්හැර. පජහිත්වා යනු ඉවත්කර, කූඩයකින් කුණුකසල ඉවත් කරන්නාක් මෙන්ද නැත. ඒ කෙලෙස් දුරුකර, අත්හැර, විඳහැර, බැහැර හැර, කෙවිටෙන් ගවයකු එළවන්නාක් මෙන් ද නැත. තව ද එම කෙලෙස් අවසන්කොට, බැහැර බවට පත්කොට, යටත් පිරිසෙයින් ගතිමාත්රයක් හෝ ඉතිරි නොවන සේ කොට, කෙසේ නම් වනාහි ඒ ආකාරයෙන් නසන ලද්දේ වේ ද අනභාවං ගමෙත්වා යනු අනු+අභාවං, නැවත නූපදනා බවට පමුණුවා, සමුච්ඡේද ප්රහාණ වශයෙන් යම්සේ මුලිනුපුටා දමන ලද්දේ ද, එසේ කොටැයි කී නියායි. කාමච්ඡන්ද නීවරණාදියෙහි ද මේ නයයි.
කාමොඝො යනාදියෙහි, පංචකාම ගුණික රාගය අදහස් වේ. ‘එහි ගිලෙති’යි යන අර්ථයෙන් කාමය ඕඝයකැයි කියනු ලැබේ. භවොඝො යනු රූපාරූප භවයන් කෙරෙහි පවත්නා ඡන්ද රාගයයි. ධ්යානයන් කෙරෙහි පවත්නා බලවත් කැමැත්ත ද භවෝඝයයි. දිට්ඨොඝො යනු ශාස්වත දෘෂ්ටි ආදියෙන් යුතු භවය පිළිබඳව පවත්නා ප්රාර්ථනාවමයි. මෙසේ දිට්ඨෝඝය සහ භවෝඝය එක්වීමට පත්වෙයි. අවිජ්ජොඝො අවිජ්ජොඝය වනාහි චතුරාර්ය සත්ය පිළිබඳ නොදැනීමයි. එහි පංචකාම ගුණයන් ආශ්වාදනය කිරීමෙන්, එහි ආශ්වාද කිරීමෙන්, නූපන් කාමෝඝය උපදියි. උපන් කාමෝඝය වර්ධනය වේ. මහද්ගත ධර්මයන් ආශ්වාදනයෙන්, සිහිකිරීමෙන් නූපනා වූ ද භවෝඝය උපදියි. උපන්නා වූ භවෝඝය ද වර්ධනය වේ. ත්රෛභූමික ධර්මයන්හි සතර විපර්යාසයන් පදනම්කොට ඇති බැවින් නූපන්නා වූ ද අවිජ්ජෝඝය උපදියි. උපන්නා වූ ද අවිජ්ජෝඝය වැඩේ යැයි දතයුතුයි. ඉහත පැවසූ ක්රමයට ප්රතිපක්ෂ වශයෙන් යහපත් පක්ෂය විස්තර කළ යුතුයි.
(ප්රණිධි හෙවත් තෘෂ්ණා රහිත) අපණිහිත විමෝක්ෂය වෙතට පිළිපන්නේ කාමෝඝය ද, අනිමිත්ත (නිමිති රහිත) විමෝක්ෂයට පිළිපන්නන් භවෝඝය ද සුඤ්ඤත (ශුන්යතා හෙවත් නිර්වාණ) විමෝක්ෂයට පිළිපන්නේ අවිජ්ජෝඝය ද තරෙය්ය තරණය කරන්නේ ය. පළමු ආර්ය මාර්ග වශයෙන් තරෙය්ය තරණය කරන්නේය. දෙවැනි ආර්ය මාර්ග වශයෙන් උත්තරෙය්ය එතෙර වන්නේ ය. තෙවැනි ආර්ය මාර්ග වශයෙන් පතරෙය්ය ප්රතරණය (පූර්ණ වශයෙන් තරණය) කරන්නේය. සිවුවන ආර්ය මාර්ග වශයෙන් සමතික්කමෙය්ය අතික්රමණය කරන්නේය. ඵල වශයෙන් වීතික්කමෙය්ය ඉක්මවන්නේය. නැතහොත් කාමෝඝ වශයෙන් තරෙය්ය තරණය කරන්නේය. භවෝඝ වශයෙන් උත්තරෙය්ය එතෙර වන්නේ ය. දිට්ඨොඝ වශයෙන් පතරෙය්ය පූර්ණ වශයෙන් තරණය කරන්නේ ය. අවිජ්ජෝඝය වශයෙන් සමතික්කමෙය්ය අතික්රමණය කරන්ය. සිවු ඕඝ වශයෙන් ම වීතිවත්තෙය්ය ඉක්මවන්නේය යනුවෙන් ද ඇතැමෙක් අර්ථ දක්වති.