ජාතස්සූපනිබන්‍ධන දුක්ඛං යනු මෙලොව උපන්නහුට පෙකනිවැල බැඳීම, නෑවීම්, ආලේපන තැවරීම්, කැවීම්, පෙවීම් ආදී වශයෙන් හැදී වැඩීම් පිළිබඳ දුක් ලුහුබැඳ එයි. ජාතස්ස පරාධෙය්‍යතං දුක්ඛං යනු අනුන්ට අයත්ව පැවතීම් වශයෙන් පරාධීනතාව පිළිබඳ දුක ලුහුබැඳ එයි. අනුන්ට යටත්ව පැවතීම් පිළිබඳ සියලු දුක් යැයි කියන ලදී. අත්තපක්කමං දුක්ඛං යනු තමාම තමාට දුන් පමුණුවා ගන්නහුට ද, අවේලක ව්‍රතාදී වශයෙන් තැවීම්, පිරිතැවීම් සහිත අත්තකිලමථානු යෝගයෙහි යෙදෙන්නහුට ද, ක්‍රෝධ වශයෙන් නිරාහාරව සිටින්නහුට හා ගෙල වැළලා ගන්නහුට ද දුක් ඇති වේ. තමාගේ ම උපක්‍රමයෙන් ඇතිවන මෙම දුක් ඔහු කරා එයි. පරූපක්කම දුක්ඛං යනු අනුන්ගේ වධ බන්‍ධනාදියට ලක් වන්නහුට උපදින දුකයි. අනුන්ගේ උපක්‍රම නිසා ඇතිවන මෙම දුක පුද්ගලයා ලුහුබැඳ එයි. දුක්ඛ දුක්ඛං යනු කායික වූ ද චෛතසික වූ ද දුක් වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද ‘දුක්ඛ දුක්ඛ’ යැයි කියන ලදී. මේ දුක්ඛ දුක්ඛය පුද්ගලයා ලුහුබැඳ එයි. සංඛාර දුක්ඛං යනු උපේක්‍ෂා වේදනාව මෙන්ම සෙසු ත්‍රෛභූමික සංස්කාරයෝ ද ඇතිවීම, නැතිවීම හෝ ඉපදීම මරණාදියෙන් දැඩිව පෙළුණු බැවින් සංස්කාර දුක පුද්ගලයා ලුහුබැඳ එයි. විපරිණාම දුක්ඛං යනු සැප වේදනාව විපරිණාමයට පත්වීමේදී දුකට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ. මේ විපරිණාම දුක සත්ත්වයා ලුහුබැඳ එයි.
මාතු මරණං යනු මවගේ මරණයයි. පිතුමරණං යනු පියාගේ මරණයයි. භාතු මරණං යනු ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ (වැඩිමල්, බාල) සොයුරන්ගේ මරණයයි. භගිනි මරණං ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ සහෝදරියන්ගේ මරණයයි. පුත්ත මරණං යනු පුතුන්ගේ මරණයයි. ධීතු මරණං යනු දූන්ගේ මරණයයි. ඤාතිව්‍යසන දුක්ඛං යනු ඤාතීන්ගේ වියෝවයි. සොර බිය, රෝග බිය ආදියෙන් ඤාතීන්ගේ ක්‍ෂය වීමයි. විනාශ වීමයි යන අර්ථයි. එසේ ඤාතීන්ගේ විනාශයෙන් පවරන ලද්දහුට, මැඩුනහුට, පෙළුණහුට ඇතිවන දුක ඤාති ව්‍යසන දුක්ඛයයි. ඒ ඤාති ව්‍යසන දුක පුද්ගලයා ලුහුබැඳ එයි. සෙසු පදයන්හි ද මෙම නයයි. මෙහි ඇති විශේෂ පද නම්, හොගව්‍යසනං යනු භෝගයන්ගේ විනාශයයි. රජ, සොර ආදී වශයෙන් භව භෝග සම්පත් ක්‍ෂයවීමයි. විනාශ වීමයි යන අර්ථයි. ඉහත පැවසූ පරිදිම ඒ භෝග ව්‍යසන දුඃඛය සත්ත්වයා ලුහුබැඳ එයි. රෝගය ම ව්‍යසනය, විපත වූයේනුයි රෝග ව්‍යසන රෝග ව්‍යසනයි. රෝගය වනාහී නිරෝගී බව විනාශ කෙරේනුයි ව්‍යසන වේ. ඉහත පැවසූ පරිදිම ඒ රෝග ව්‍යසන දුඃඛය පුද්ගලයා පසුපස එයි. සීලව්‍යසන දුක්ඛං යනු ශීලය විනාශවීම = සීල ව්‍යසනයි. දුසිල් බවට මේ නමෙකි. කී නයින්ම එම ශීල ව්‍යසන දුඃඛය (සත්ත්වයා) කරා එයි. ඉහත පැවසූ පරිදිම සීලය විනාශවීමෙන් ඇතිවන දුක ද පුද්ගලයා පසුපස එයි. සම්මා දිට්ඨිය විනාශ කරමින් උපදින දෘෂ්ටියම දිට්ඨි ව්‍යසනං දිට්ඨි ව්‍යසන නමි. පෙර පැවසූ පරිදි ම ඒ දිට්ඨි ව්‍යසන දුඃඛය පුද්ගලයා පසුපස එයි. මෙහි ද මුලින් පැවසූ ව්‍යසන දෙක අනිඡපන්නයෝය. පසුව පැවසූ ව්‍යසන තුන නිෂ්පන්නයෝ ය. ත්‍රිලක්‍ෂණය විනාශ කරන්නෝය. මුලින් දැක්වූ ව්‍යසන තුන කුසල හෝ අකුසල නොවේ. සීල, දිට්ඨි ව්‍යසන දෙක අකුසලයි.
යථා යනු උපමාව දැක්වීමේ නිපාතයි. භින්නනාවං යනු ලිහිල්ව බැඳී දිරාගිය හෝ පුවරු ගැලවී ගිය හෝ නැවයි. ඉවොදකං යනු ජලය ඇතුලට එන ජලය ඇතුලට පිවිසෙන්නාක් මෙනි. තතො තතො උදකං අන්‍වෙති යනු ඒ ඒ තැනින් බිඳී ජලය ඇතුලට පිවිසෙයි. පුරතොපිනාවාය යනු නැවේ ඉදිරිපසින් ද පච්ඡතොපි යනු එහි පසුපසින් ද හෙට්ඨතොපි යනු යටි පැත්තෙන් ද පස්සතො පි යනු දෙපසින්ම ද මේ අතරතුර යම් වචනයක අර්ථ නොපවසන ලද ද ඒ වචනයන්හි අර්ථ මේ අනුසාරයෙන් දතයුතුයි.
එහෙයින් සත්ත්ව තෙමේ කායගතා සති ආදී භාවනා විෂයයෙහි සියලු කල්හි සිහි ඇතිව, රූපාදී වස්තු කාමයන් කෙරෙහි පවත්නා සියලුම ආකාරයේ කෙලෙස් කාමය, විෂ්කම්භනය, සමුච්ඡේද වශයෙන් දුරුකරනුයේ කාමයන් දුරු කරන්නේය. මෙසේ ඒ කාමයන් අත්හැර, ඒ කාමයන් ප්‍රහාණය කරන ශෝකාපත්ති ආදී මාර්ගයෙන්ම චතුරෝඝය තරණය කරන්නේය. තරණය කිරිමට හැකිවන්නේය. යම්සේ පුරුෂයෙක් තෙමේ ජලයෙන් බර වූ නැව ඉස දමා (ජලය හිස් කර) සැහැල්ලු වූ නැවින් අල්ප වූ ආයාසයෙකින්ම (සුලු වෙහෙසකින් ම) තරණය කරනුයේ පරතෙරට යන්නේද, එසේම කෙලෙස් ජලයෙන් බර වූ ආත්මභාව නමැති නැව ඉසීමෙන් සැහැල්ලු වූ විට පරතෙරට පත්වන්නේය. ‘සියලු දහම්හි කෙළවරට, නිවනට ගියේ වන්නේය’, අර්හත්වයට පත්වන්නේ ය. ‘අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමෙනැ’යි මෙසේ අර්හත්වයට යොමුකිරීමෙන් දේශනාව නිම කළ සේක.
1 - 6
තස්මා යනු යම්හෙයකින් ජාතිය මුල්කරගත් දුක් ඒ පුද්ගලයා වෙත එයි ද එහෙයිනි. තං කාරණා තං හෙතු යනාදියෙහි ද මෙම නයයි. යම්හෙයකින් කියන ලද ආකාර වූ දුක් මේ සත්ත්වයා ලුහුබැඳ එයි ද ඒ හේතුවෙනි. යම්හෙයකින් ලුහුබැඳ එයි ද, එය ප්‍රත්‍ය කොටගෙන ලුහුබැඳ එයි ද එම නිදානයෙනි. යනුවෙන් පදයෝජනාව කළ යුතුයි. හෙතු යනාදිය කාරණ පර්යාය වචන යි. කාරණය වනාහි ‘එයින් එම ඵලය ඇතිවේ’ නුයි, ‘පවතීනු’යි හේතු නමි. ඒ ඒ ඵලය උදෙසා ‘ඒනුයි, පවතීනු’යි පච්චයො පච්චය නමි. ‘වහා මොහු ගනිවු’ යැයි දක්වන්නාක් මෙන් තමාගේ ඵලය දක්වානුයි නිදානං නිදාන නමි.
තං කාරණා යනු නිෂ්කාරණ බව ප්‍රතිෂේධ කිරීමයි. තං හෙතු යනු අහේතුක බව, මහාභූත හේතු නොවන බව වැලැක්වීමයි. තං පච්චයා යනු හේතු රහිත බව හා සමග පොදු නොවූ ප්‍රත්‍ය සහිත බව වැලැක්වීමයි. තං නිදානා යනු නිදානයක් මුල් හේතුවක් නොමැති බව හා සමග ආගමාධිගමයෙහි නිදානයක් (මුල් හේතුවක් ඇති බව) වැලැක්වීම යැයි, මෙසේ ඇතැමෙක් අර්ථ දක්වති. එතං ආදීනවං සම්පස්සමානො යනු මෙසේ කියන ලද ආකාරයෙන් තමාට ඇතිවන උපද්‍රව විදසුන් නුවණින් මැනවින් බලමින් දකිමින්.
සදා යනු මූල පදයයි. පුන සදා යනු අර්ථ පදයයි. සදා යනු සදහටම ය. සබ්බදා යනු සදාකාලයටම ය. සබ්බකාලං පෙරවරු ආදී සියලු කාලයෙහි ය. නිච්චකාලං දිනපතායි. දවසින් දවස ය. ධුවකාලං යනු අවිච්ඡින්නවයි. සතතං නිරන්තරයෙනි. සමිතං එක දිගටම ය. අබ්බොකිණ්ණං අනිකක් සමග අසම්මිශ්‍රව යි. පොංඛානුපොංඛං පිළිවෙලින් එකින් එක ගෙතීමෙනි. ‘පොංඛානුපොංඛං අවිරාධිතං උපට්ඨාති’ (පිළිවෙල නොසිඳ උපස්ථාන කරයි.) ආදියෙහි මෙනි. උදකොමිකාජාතං යනු දියෙහි හටගත් රළ පෙළක් මෙනි. අවීචි යනු අවිරලවයි. සන්තති යනු නොකඩවා යි. සහිතං යනු එක්කොට ගලපන ලදුවයි. ‘සහිතම්මෙ අසහිතන්තෙති’ (මට ගැලපෙන දෙය ඔබට නොගැලපෙයි.) යනාදියෙහි මෙනි. ඵුස්සිතං යනු නිවහනක් මෙන් ආවරණ සහිතවයි. ඵුස්සිතග්ගලෙ (දොරඟුල් දැමූ) යනාදියෙහි මෙනි. පුරෙ භත්තං පච්ඡා භත්තං යන දෙපදය දිවාකාලයේ කාලය - විකාලය හැඳින්වීම් වශයෙනි. පුරිමයාමං මජ්ඣිමයාමං පචඡීමයාමං යන තුන රාත්‍රී භාග වශයෙනි. කාලෙ ජුණ්හෙ යනු අඩ මස් වශයෙනි. වස්සෙ -පෙ- හෙමන්තෙ - ගිම්හෙ යන තුන ඍතු වශයෙනි. පුරිමෙ වයො ඛන්‍ධෙ -පෙ- පච්ඡිමෙ වයො ඛන්‍ධෙ යන තුන වයස් තුන - බාල, තරුණ, මහලු යනුවෙන් දක්වන ලදැයි දතයුතුයි.