1 - 4
සතරවන ගාථාවේ සංක්ෂිප්තාර්ථය මෙසේ ය. ‘යමෙක් මේ හැල් කෙත් ආදී කෙත් හෝ, ගෙවතු ආදී වතු හෝ, කහවණු නම් වූ අමුරන් හෝ, ගව අශ්වාදී ප්‍රභේද ඇති ගව, අශ්වයන් හෝ අන්තෝජාත (ඇතුළත උපන්) දාසාදීන් හෝ භටකාදී කුලීකරුවන් හෝ ස්ත්‍රී සංඥා ඇති ස්ත්‍රීහු හෝ ඤාතිබන්ධු ආදී ඤාතීන් හෝ, අනික් ප්‍රියමනාප රූපාදී බොහෝ කාමයන් හෝ ප්‍රාර්ථනා කරයි. සාලික්ඛෙත්තං යනු යම් කෙතක හැල් වැඩෙයි ද, ඒ කෙත් ය, වීහික්ඛෙත්තා දියෙහි ද එම නයයි. වීහි යනු සෙසු වී ආදී ධාන්‍ය වර්ගයි. ‘මෝදයට පත් කරති’යි මුග්ගො මුග්ග නම් වේ. ඝරවත්ථුං ගෙවල් සෑදීමට සකස් කළ භූමිභාගයයි. කොට්ඨකවත්ථු ආදියෙහි ද මෙම නයයි. කොට්ඨකො යනු දොර, කොටු ආදියයි. පුරෙ යනු ගෙයට ඉදිරියෙන් පච්ඡා යනු ගෙයට පසුපසිනි. ‘මෙහි සිත අලවති’යි, ‘සිත සතුටු කරති’යි යන අරුතින් ආරාමො ආරාම නම් වේ. මලිත්, ඵලින්, සෙවණින් හා දස්නෙන් ද සිත් අලවති යි යන අර්ථයි.
පසුකාදයො යනු එළු ආදීහුය. අන්තො ජාතො යනු ගෙතුළ වසන දාසියකගේ කුසින් උපන්, ධනක්කී තො මිලදී ගෙන තමා සතු කරගත්, සාමංවා යනු තෙමේ ම (සිය කැමැත්තෙන්) හෝ දාස බවට පත් වූයේ, දාස වියං යනු දාස බව, දාසව්ය නමි. එයම දාස විය යි. උපෙති එළඹේ. අකාමතො වා නොකැමැත්තෙන් හෝ යුද්ධයකදී ජීවග්රහයෙන් අල්ලා ගෙනෙන ලදැයි යන සතර ආකාර දාසයන් නැවත දක්වනු සඳහා ආමාය දාසාපි භවන්ති හෙකෙ (ඇතැමෙක් ගෙහි තුළ උපන් දාසයෝ වෙති.) යනාදිය කීහ. ආමාය දාසා යනු ගෙයි ඇතුළත උපන් දාසයෝ හා අනුන්ගෙන් මිළදී ගත් ගෘහස්ථ දාසයෝ යි. ‘ඨිතො ඵුල්ලානි ගජ්ජතී’ යන මෙහි ද මොවුන් (දාසයන්) පිළිබඳව කියන ලදී. ධනයෙන් මිලදී ගත් ධන දාසා ධනදාසයෝ යි. සාමඤ්ච එකෙ, ඇතැමෙක් (සිය කැමැත්තෙන්) තුමූ ම දාසබවට පත්වූවාහුය. භයාපනුන්නා යනු බිය නිසා නො කැමැත්තෙන් දාස වූවාහුය. භයාපනුන්නා බියෙන් දාස බවට වැටුණාහුය.
භතකා යනු කුළියෙන් (වැටුපෙන්) ජීවත් වන්නාහුය. ‘කෘෂිකර්මාන්තාදී කටයුතු කරති’ යි කම්මකරා කම්මකාර නම් වෙති. සම්මන්ත්රණාදියෙන් සමීපයට පැමිණ ගිවිසුම්කොට, ඇසුරෙහි ජීවත් වන්නාහු උපජීවිතො ‘උපජීවී’ නම් වෙති.
ඉත්ථි යනු ස්ත්‍රීහුය. ‘මැය කෙරෙහි ගැබ පිහිටානු’යි ඉත්ථි නම් වේ. පරිග්ගහො යනු සැමියා සහිත ස්ත්‍රීහුය. මාපිය නෑයෝ ද ඤාතිබන්ධු නම් වෙති. සිය ගෝත්‍රයේ වූවෝ ගොත්තබන්ධු නම් වෙති. එකම ආචාර්ය කුලයක හෝ එක් ජාති මන්ත්‍රයක් හෝ උගත් මන්ත්‍රාදිය ඇත්තේ මන්තබන්ධු නම් වේ. දුනු ශිල්පාදිය සමග එක්ව උගත්තේ සිප්පබන්ධු නම් වේ. තවද මිත්තබන්ධවාපී බන්ධූ යන පාඨයද කිසියම් පොතෙක දක්නා ලැබේ.
ගිජ්ඣති යනු කෙලෙස් කාමයෙන් ප්‍රාර්ථනා කරයි. අනුගිජ්ඣති යනු තව තවත් ගිජු වේ. පුන පුනා ප්‍රාර්ථනය කරයි. පළිගිජ්ඣතී යනු හාත්පසින්ම ප්‍රාර්ථනා කරයි. පළිබජ්ඣති යනු සෙසු දෙයක් නොපතයි. උදාරත්වයෙන් නිමිති ගැනීම් වශයෙන් ගිජ්ඣති ගිජු වෙයි. අනුගිජ්ඣති අනුබ්‍යඤ්ජන (සුලු ලකුණු) ගැනීම් වශයෙන් පළිගිජ්ඣති හාත්පසින් ගිජු වේ. හාත්පසින්ම බැඳේ. (පළිබජ්ඣතී) යැයි ඇතැමෙක් විස්තර කෙරෙති.
1 - 5
පස්වන ගාථාවේ සංක්ෂිප්ත අර්ථය මෙසේ ය. ‘ඒ පුද්ගලයා දුර්වල බැවින් ක්ලේශයෝ ඔහු බලය යොදා යටපත් කරගනිති. දමනය කරති. මර්දනය කරති. ‘ශ්‍රද්ධා බල ආදියෙන් තොර වූ බැවින් හෝ දුර්වල වූ ඒ පුරුෂයා දුබල බැවින් බලාත්කාරයෙන් යටත් කරගනිති’යි යන අර්ථයි. ඉක්බිති ඒ කාමයට ගිජු වූ, කාමයෙහි ඇලුණු, කාමය සොයන්නහු සිංහාදී වූ ප්‍රකට අන්තරායයෝ ද කාය දුශ්චරිතාදී අප්‍රකට අන්තරායයෝ ද මර්දනය කරති. ඉක්බිති අප්‍රකට අන්තරායයන් විසින් මඬනා ලද ඒ පුද්ගලයා පසුපස ජාති ආදී දුක් එයි. බිඳී ගිය නැවක් තුළට ජලය වදනා සේය.
අබලා යනු ‘මොවුනට බලයක් නැත්නු’යි අබල නම් වෙති. බලයෙන් තොර වූවාහුයි. දුබ්බලා යනු මද වූ ප්‍රයෝග (ප්‍රායෝගිකත්වයක්, කාර්යක්ෂම භාවයක්) ඇත්තාහුයි, බලයෙන් කළයුතු කටයුතු විරහිත වූවාහුයි. අප්පබලා අල්ප වූ, සුලු වූ බලයක් මොවුනට ඇත්නු’යි අප්පබල නම් වෙති. යෙදීමට (නියුතුවීමට අසමත් වූවාහු යි. ‘අප්පථාමා’ යනු අල්ප වූ සුලු වූ වීර්යයක්, වෑයමක්, උත්සාහයක් මොවුනට ඇත්නුයි අප්පථාප නමි. වීර්යයෙන් හීන වූවාහුයි, ප්‍රයෝග හීන වූ බැවින් ඔමකා ‘ඕමක’ (ප්‍රායෝගිකත්වයෙන් අවම) නම් වෙති. වීර්යය දුර්වල වූ හෙයින් ඡත්තක නම් වෙති. (එනම් හතු මෙන් පහසුවෙන් මඩිනු ලැබිය හැකි වෙති.) අදහස් හීන වූ බැවින් පරිත්තා යනු පරිත්ත (ලඝු) නම් වෙති. ශක්තියෙන් හීන වූ හෙයින් (කාය දුශ්චරිතාදී වූ අප්‍රකට අන්තරායයෝ) යටත් කරගනිති. මැඩගනිති. ගැටීම් උපදවති. පරිසහන්ති යනු සර්වප්රකාරයෙන් ම මැඩ ගනිති. අභිභවන්ති යනු ඒ ඒ භවයෙහි උත්පත්ති වශයෙන් අජ්ඣොත්ථරන්ති යනු නැවත නැවත උත්පත්ති වශයෙන් මැඩගනිති. පරියාදියන්තී යනු වියලවා (ක්ෂය කරවා) සිටීමෙන්, මද්දන්ති යනු කුසල් ඉපදීම වැළැක්වීමෙන් මඩිති.
සද්ධාබලං යනු ‘මෙය කරණකොට ගෙන අදහතියි, ‘තමාම (තනිවම) යමක් කරණ කොටගෙන) අදහති’යි, මෙය හුදු ඇදහීම් මාත්‍රයකි’ යි හෝ ‘සද්ධා’ නමි. එය ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේය. විශ්වාස කිරීම හෝ ලක්ෂණ කොට ඇත්තේ ය. මනාකොට පැහැදවීම (රස) කෘත්‍යකොට ඇත්තේය. ජලය පහදවන මැණිකක් මෙනි. ශීඝ්‍ර චලනය (සැණෙකින් ක්‍රියාත්මක වීම) හෝ කෘත්‍යකොට ඇත්තේ ය. ඕඝයක් තරණය කිරීමේ දී නැවක් මෙනි. විචිකිච්ඡා ආදියෙන් නොකිළිටි බව පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේ ය. නැඹුරු බව වැටහීම් කරණ කොට ඇත්තේය. ඇදහිය යුතු බව පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. සෝතාපත්ති අංගය (විචිකිච්ඡා රහිත බව) හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. ‘මැනවින් මඬනා ලද (නිසැකයෙන් ඵලදාව ඇතිකරන) බිජුවට මෙනැ’යි දතයුතුය. ‘අවිශ්වාසයෙන් (සැකයෙන්) කම්පා නොවෙති’යි සද්ධාබලං සද්ධා බල නමි. විරිය බලං, විරිය බල යනු වීරයාගේ ස්වභාවය ‘විරිය’ (වීර්ය) නමි. වීරයන්ගේ කාර්යය හෝ විධිමත් නයින් (උපායයෙන්) කියවිය යුතු වූයේ, පැවැත්විය යුතු වූයේ හෝ විරිය (වීර්ය) නමි. ඒ මේ (වීර්යය) උපස්ථම්භනය (රුකුල්දීම) ලක්‍ෂණකොට ඇත්තේ ය. උත්සාහය ලක්‍ෂණකොට ඇත්තේ ද වේ. සහජාත (එක්ව උපන්) ධර්මයනට රුකුල්දීම කෘත්‍යකොට ඇත්තේය. ‘සංවිග්ගො යොනිසො පදහති’ (සංවේගයට පත්වූයේ නුවණින් වීර්ය කරයි.) යනු කී හෙයින් සංවේගය (කලකිරීම) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. වීර්යාරම්භයට වස්තු (ආශ්‍රය) වූ දෙය හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. මැනවින් අරඹන ලද්දේ සියලු සම්පතට මුල්වෙතැයි දතයුතුය. කුසීතකමින් කම්පා නොවෙති’යි විරිය බලං විරිය බල නම් වේ.
සිහියෙහි ලක්ෂණාදිය (ඉහතින්) පවසන ලද්දේ ය. මුළා වූ සිහියෙන් කම්පා නොවේනුයි සති බලං, සති බල නම් වේ. ‘සහජාත (එක්ව උපන්) ධර්මයන් මනාව ආධාරකොට ගනිති’යි, ‘පිහිටුවා ගනිති’යි සමාධි නම් වේ. එය (සමාධිය) ප්‍රමුඛත්වය ලක්‍ෂණකොට ඇත්තේ ය. අවික්‍ෂේපය (ඒකාග්‍රතාව) හෝ අවිසාර (නො විසුරුණු බව) හෝ ලක්‍ෂණකොට ඇත්තේ ය. සහජාත (එක්ව උපන්) ධර්මයන් පිළිබඳ අරමුණෙහි දී සම්පිණ්ඩනය (පිඬුකොට ගැනීම) කෘත්‍යකොට ඇත්තේ ය. (සඳුන්, කොකුම් ආදී) නහන සුවඳ කුඩුවලට (සුවඳ සුණු) ජලය මෙනි. උපසමය (සන්සිඳීම) වැටහීම් කාරණ කොට ඇත්තේ ය. ඥානය හෝ වැටහීම් කොට ඇත්තේ ය. ‘සමාහිතො යථාභූතං පජානාති පස්සති’ (සමාධියෙන් යුක්ත වූයේ තත් වූ පරිදි දනියි. දකියි.) යනුවෙන් කියන ලදී. විශේෂයෙන් සුඛය (සුවපහසු බව) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. සුළඟින් ආවරණය වූ තැනෙක පහන් සිළුවේ නිසල පැවැත්ම මෙන් සිතෙහි නිසල බව දතයුතුයි. ‘උද්ධච්චයෙන් කම්පා නොවෙති’යි සමාධිබලං සමාධි බල නමි. ‘විශේෂයෙන් දැනගන්නේ නු’යි පඤ්ඤා නම් වේ. කුමක් දැනගනී ද? ‘මේ දුකය.....’ යනාදී නයින් ආර්ය සත්‍යයන් දැනගනියි. එය යථා ස්වභාව (තත් වූ පරිදි අවබෝධ කිරීම) ප්‍රතිවේධය ලක්‍ෂණකොට ඇත්තේ ය. අක්ඛලිත පටිවේධය (නොපැකිලෙන) හෝ ලක්‍ෂණකොට ඇත්තේ වේ. දක්ෂ දුනුවායකුගේ දුන්නෙන් නිකුත් වූ ඊතලයක් (නිවැරදිව ඉලක්කය කරා යන්නා වැනිය.) මෙන් ප්රස්තුත විෂය කරාම යන්නේය. ප්රස්තුත විෂයය පහනක් මෙන් හෙළිපෙහෙළි කිරීම කෘත්‍යකොට ඇත්තේය. අසම්මෝහය (නොමුළා බව), නොමුලාව කැලෑ මං නිවැරදිව පෙන්වන්නෙකු මෙන් පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේය. අවිද්‍යාවෙන් කම්පා නොවේනුයි පඤ්ඤා බලං පඤ්ඤා බල නමි. අහිරික බවින් (ලැජ්ජා නැති බැවින්) කම්පා නොවේනුයි හිරිබලං හිරිබල නමි. අනොත්තප්පයෙන් (පව් කිරීමට නොබිය වන බැවින්) කම්පා (නොවේනුයි ඔත්තප්පබලං ඔත්තප්ප බල නම් වේ. මේ එම දෙපදයේ අර්ථ වර්ණනාවයි. කාය දුශ්චරිතාදියෙහි ලැජ්ජා වනුයේ ‘හිරි’ හිරි නමි. ලජ්ජාවට මේ අධිවචනයෙකි. ඒ කාය දුශ්චරිතාදිය සිදුකිරීමට බිය වේනුයි ඔත්තප්පං ඔත්තප්ප නමි. පාපයට බියවීමට තැති ගැනීමට මේ අධිවචනයෙකි.