1 - 3
තෙවන ගාථාවේ සංක්‍ෂිප්ත විස්තරය මෙසේ ය. ‘යමෙක් මේ වස්තුකාම, ක්ලේශකාමයන්හි ඡන්‍දරාගය, විෂ්කම්භන වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ තමාගේ පාදයෙන් සර්ප හිසක් ඉවතලන්නාක් මෙන් ඉවත් කරයි ද ඒ භික්‍ෂු තෙමේ, මුළු ලොවම පතුරුවාගෙන සිටි බැවින්, ලෝකයේ විසත්තික නම් වූ තණ්හාව අත්හැර සිහියෙන් යුතුව වෙසෙයි.’
සො යනු බෙදා දැක්විය යුතු පදයයි. යො යාදිසො යනාදිය එහි විභජන පදයි. මෙහිද යම්හෙයකින් යො යන අර්ථ සහිත පදයක් වේද, එය ද අනියම් වශයෙන් පුද්ගලයකු දක්වයි. එහෙයින් එහි අර්ථ දක්වමින් අනියමින් පුද්ගලයකු දැක්වෙන යො ශබ්දය ම කීහ. එනිසා මෙහි මෙසේ අර්ථ දතයුතුයි. යො යනු යම්කිසිවෙක් යැයි කියන ලදී. යම්හෙයකින් හේ යො කොචි නම් වේ ද එහෙයින් ඔහුගේ ලිංග යුක්ති යම්සේ සිටී ද, යම් ප්‍රකාර වූයේ ද, යම් න්‍යායකින් යුතු වේ ද, සද්ධර්මයෙන් යුක්තවීම් වශයෙන්, මේ ආකාරයෙන් පැහැදිලි වේ. එහෙයින් ඔහු මෙහි දී දැන්වීම දැක්වීමට (අදහස් කිරීමට) ඒ ප්‍රභේද ප්‍රකාශ කරමින් යාදිසො යනාදිය කීහ. එහි යාදිසො යනු ලිංග වශයෙන්, යම්සේ හෝ එසේ වේවා, (කෙසේ හෝ වේවා) උස් හෝ මිටි හෝ වේවා, කලු හෝ සුදු හෝ මඟුරු සම් පැහැ ඇති හෝ වේවා, කෘශ හෝ ස්ථුල වූ හෝ වේවා යන අර්ථයි.
යථායුත්තො යනු යෙදීම් වශයෙන් යම්කිසි කාර්යයක යෙදුණේ හෝ වේවා. නව කර්මාන්තයක යෙදුණේ හෝ වේවා, ප්‍රාතිමෝක්‍ෂ උද්දේසයෙහි යෙදුණේ හෝ වේවා. වාසධුරයෙහි යෙදුණේ හෝ වේවා යන අර්ථයි. යථා විහිතො යනු යම්සේ යොදවන ලද්දේ ද එසේ නව කර්මාන්ත පාලනය කිරීම් ආදී වශයෙනි. යථාපකාරො පිරිස් නායක ආදී වශයෙන් යම් ආකාරයකින් පිහිටුවන ලදුයේ යි. යං ඨානං පත්තො සේනාපති, සිටු ආදී යම් ඨානාන්තරයකට පත්වූයේ යි. යං ධම්ම සමන්නාගතො ධුතංගාදී යම් දහමකින් යුක්ත වූයේ යි.
වික්ඛම්භනතො වා උපචාර, අර්පණා, සමාධි මගින් කෙලෙසුන් දුරු කිරීමෙන් හෝ කළයේ පහරින් දියසෙවෙල් ඉවත් කරන්නාක් මෙන් තාවකාලික වශයෙන් හෝ සමුච්ඡෙදතො වා නැවත නොපවතින සේ කොට, අත්‍යන්ත වශයෙන් (සෝතාපත්ති ආදී) මාර්ගයෙන් කෙළෙසුන් මුලිනුපුටා දමා, සමුච්ඡේද වශයෙන් මුළුමනින් ම ප්‍රහීණ කිරීමෙනි. අට්ඨිකංකලූපමා කාමා ආදි එකොළොස් පදය විදර්ශනා භාවනා වශයෙන් කියන ලදී.
බුද්ධානුස්සතිං භාවෙන්තො ආදී වශයෙන් ද මරණානුස්සතිං භාවෙන්තාපි උපසමානුස්සතිං භාවෙන්තො පි යනාදී වශයෙන් ද උපචාර ධ්‍යාන වශයෙන් ද කියන ලදී. ආනාපාන සතිං භාවෙන්තොපි කායගතාසතිං භාවෙන්තොපි පඨමජ්ඣානං භාවෙන්තොපි ආදී වශයෙන් ඇරඹී නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිං භාවෙන්තො පි යන්නෙන් අවසන් වන භාවනා අර්පණා ධ්‍යාන වශයෙන් කියන ලදී. එහි අට්ඨිකංකලූපමා කාමා යනු මනාව ඉවත් කිරීමෙන් මස් රහිත වූ ලෙයින් වැකුණු සත්ත්ව ඇටයකි. ‘මේ කාමයන්ට උපමා වෙති’යි අට්ඨිකංකලූපමා කාමා (කාමයෝ ඇටසැකිල්ලක් බඳු වෙති.) අප්පසාදට්ඨෙන යනු අප වූ සුලු වූ ආශ්වාද ඇතැයි යන අරුතින්, ආදීනවො එත්‍ථ භිය්‍යො යනු මෙහි බොහෝ ආදීනව ඇතැයි යන දර්ශන අර්ථයෙන්, පස්සන්තො එසේ පවතිනතාක් ඒ බල්ලා ක්ලාන්තයට පීඩාවට බඳුන් වන්නේ යැ’යි නුවණැසින් බලමිනි. පරිවජ්ජෙති යනු ඉතා දුරු කරයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදමැයි;
‘ගහපතිය, බඩසයින් දුබල වී පෙළෙන බල්ලෙක් ගවඝාතක ස්ථානයකට පැමිණියේ වේ. දක්‍ෂ වූ ගෝ ඝාතකයා හෝ ගව ඝාතක අතවැසියා හෝ මනාව මස් නහර ඉවත් කළ, මස් නැති හෙයින් වැකුණු ඇටසැකිල්ලක් ඌට දෙන්නේ ය. ගහපතිය, ඔබට කුමක් සිතේ ද? ඒ බල්ලා මේ මනාව මස් ඉවත් කළ ලේ වැකුණු ඇට කැබැල්ල ලොවින්නේ නමුත් උගේ සාගිනි දුබල බව දුරුවන්නේ ද?’ (ගහපතියා) ‘ස්වාමීනි! නැත’යි (පිළිතුරු දුන්නේ ය.) ඊට හේතු කුමක් ද?’යි (භාග්‍යවතුන් වහන්සේ විචාළ විට ඒ ගහපති තෙමේ) ‘ස්වාමීනි, මේ ඇටකැබැල්ල මනාව මස් ඉවත් කළ ලේ වැකුණු එකක් වන හෙයිනි. එය එසේ තිබෙනතාක් ඒ බල්ලා වෙහෙසට, ක්ලාන්තයට, පීඩාවට භාජන වන්නේ ය’යි පිළිතුරු දුන්නේ ය. බුදුහු එවිට මෙසේ වදාළහ.) ‘ගහපතිය, එලෙසින්ම මේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සිතන්නේය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය ඇටසැකිල්ලක් වැනියැයි, බොහෝ දුක් ඇතැයි, බොහෝ උපායාස ඇතැයි දෙසන ලදී. මෙහි ආදීනව බොහෝ යයි, තත්වාකාරයෙන් ම මනා නුවණින් දැක, යම් උපේක්‍ෂාවක් නානාප්‍රකාර වේද, නානාශ්‍රිත වේද එය ඉවත දමා, යම් උපේක්‍ෂාවක් ඒකවිධ වේද, ඒකාශ්‍රිත වේද, යම් උපේක්‍ෂාවකදී ලෞකික උපාදානයෝ සර්වප්‍රකාරයෙන් නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙත් ද ඒ උපේක්‍ෂාවම වඩන්නේය.
‘මාංසපේශී උපමාව මොවුනට (මේ කාමයන්ට) ගිජුලිහිණි ආදීන් හා සමග සාධාරණ (පොදු) වෙති’යි මංසංපසූපමා වේ. ‘බොහෝදෙනාට සාධාරණ (පොදු) වෙති’යි යන අරුතින් බහුසාධාරණා නමි. ඇවිලගත් තණසුල මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’යි තිණුක්කූපමා නම් වේ. අනුදහනත්‍ථෙන යනු ‘අත් ආදිය දවති’ යන අර්ථයෙනි. ‘පුරුෂයකුගේ උස ප්‍රමාණයට අධික වූ, ගිනිසිළු හා දුම් පහ වී ගිය, අඟුරුවලින් පිරුණු අඟුරුවළක් මේ කාමයන්ට උපමා වෙති’යි අංගාරකාසූපමා වේ. මහාපරිලාහත්‍ථෙන යනු ‘මහත් පරිදාහ දනවති’යි යන අර්ථයෙනි. ‘ආරාම (උයන්) ආදියෙහි රමණිය බව පිළිබඳ සිහිනය මේ කාමයනට උපමා වෙතියි සුපිනකූපමා වේ. ඉත්තර පච්චුපට්ඨානත්‍ථෙන යනු (වෙතට) නොපැමිණ, මඳක් සමීපව සිටැ’යි යන අර්ථයෙනි. යැදීමෙන් ලද යානා ආදී භාණ්ඩ මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’ යි යාචිතකූපමා නම් වේ. තාවකාලිකත්‍ථෙන යනු (අඛණ්ඩව) බැඳී නොසිටිතැයි යන අර්ථයෙනි. ‘එල සම්පන්න වූ ඵල භරිත ගස මොවුනට උපමා වෙති’යි රුක්ඛඵලූපමා නම් වේ. සම්භජ්ජන පරිභජ්ජනත්‍ථෙන යනු ශාඛා බිඳීම් අර්ථයෙන් හා හාත්පසින් අතු කපා ගස කපා බිම හෙළීම් අර්ථයෙනි. කඩුව හා මස්වැදැල්ල ද මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’යි අසිසුණුකූපමා නම් වේ. අධිකුට්ටනත්‍ථෙන යනු සිඳීම් අර්ථයෙනි. සැත්හුලක් මොවුනට (කාමයන්ට) උපමා වූයේනුයි සත්තිසුලූපමා නම් වේ. විනිවිජ්ඣනත්‍ථෙන ‘ඇට ඉවත් කරමින් ගමන් කරන විනිවිද යන බැවින් බිය දනවති’ යි යන අර්ථයෙනි. සර්ප හිසක් මේ කාමයන්ට උපමා වේනුයි සප්පසිරූපමා නම් වේ. සප්පටි භයත්‍ථෙන යනු අභිමුඛ වූ භය සමග යැයි යන අර්ථයෙනි. දුක් ජනනය කරන ගිනි කඳක් මේ කාමයන්ට උපමා වේනුයි අග්ගික්ඛන්‍ධූපමා නම් වේ. මහාභිතාපත්‍ථෙන යනු මහ ගින්නෙන් තැවීම්, පීඩා ඇති කරතියි යන අර්ථයෙනි. මෙසේ කාමය දුරු කෙරෙති’යි මෙසේ වදාරණ ලදී.