තතියගාථාවණ්ණනා
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ශාන්ත පදයට එළඹ වසනු කැමැත්තා හට නැතහොත් ඒ ශාන්ත පදය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාහට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට එයට වඩාත් කළ යුතු දේ දේශනා කොට දැන් නොකළ යුතු දේ ද දේශනා කරනු කැමතිව “නච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං” යන මේ ගාථා අර්ධය වඳාළහ.
එහි අර්ථය මෙසේය. මෙසේ මේ කළ යුතු දේ කරන තැනැත්තා යම් කාය වචී මනෝ දුශ්චරිතයක් කුඩා යයි ලාමක යයි කියනු ලැබේ ද එය “නච ඛුද්දං සමාචරෙ” නොහැසිරෙන්නේ; හුදෙක් ලාමක වූ දෙය පමණක් නොවේ. “කිඤ්චි” කිසිවක නොහැසිරෙන්නේය. අල්පමාත්‍ර වූ ද අණුමාත්‍ර වූ ද කිසිවක නොහැසිරෙන්නේ යයි කියන ලද්දේ වෙයි.
ඉන්පසු එසේ හැසිරීමෙහි සාන්දෘෂ්ටිකවූම (තමා විසින්ම දැකිය යුතු) ආදීනව “යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං” යනුවෙන් දක්වයි. මෙහිදී අන්‍ය වූ නුවණ නැත්තෝ ප්‍රමාණ නොවෙති. ඔවුහු වනාහී නිවැරද්ද වැරැද්ද කරති. අල්ප වූ වරද මහ වරදක් කරති. එබැවින් නුවණැත්තාම මෙහිදී ප්‍රමාණ වේ. ඔවුහු වනාහී සම්පුර්ණයෙන් අවබෝධ කොට ගෙන දෝෂාරෝපණය කළ යුතු අයට දොස් ද ප්‍රශංසා කළ යුතු අයට ප්‍රශංසා ද කියති. එබැවින් “විඤ්ඤු පරෙ” යයි කියන ලද්දේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගාථා දෙක හමාරකින් ශාන්ත පදයට එළඹ වසනු කැමැත්තා හට නැතහොත් ඒ ශාන්ත පදය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාහට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට ආරණ්‍යක ශීර්ෂයෙන් ද කමටහන් ගෙන වසනු කැමති සියල්ලන්ට ද කළ යුතු නොකළ යුතු දේ ඇතුළත් කම්මට්ඨාන උපචාර දේශනා කොට දැන් ඒ භික්ෂූන්ට ඒ දෙවියන්ගෙන් වූ භය දුරු කිරිම සඳහා පිරිතක් වශයෙන් ද විදර්ශනාවට පාදක වූ ධ්‍යාන වශයෙන් කමටහනක් ලෙස ද “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යනාදී ක්‍රමයට මෛත්‍රී කථාව දේශනා කිරීමට පටන් ගත්හ.
එහි “සුඛිනො” යනු සැපයෙන් යුත් තැනැත්තාය. “ඛෙමිනො” යනු ක්ෂේමවන්තයාය. භය රහිත උපද්‍රව රහිත තැනැත්තා යයි කියන ලද්දේ වෙයි. “සබ්බෙ’’ යනු ඉතිරියක් නොවූවෝ, “සත්තා” යනු ප්‍රාණීහු, “සුඛිතත්තා” යනු සුවපත් වූ සිත් ඇත්තෝ; මෙහිද කායික සුවයෙන් “සුඛිනො” වේ. මානසික සුවයෙන් “සුඛිතත්තා” වේ. ඒ දෙකෙන් ද සියලු භය උපද්‍රව දුරුවීමෙන් හෝ “ඛෙමිනො” වේ යයි දත යුතුය. කුමක් හෙයින් මෙසේ කියන ලද්දේ ද? මෛත්‍රී භාවනාවේ ස්වභාවය දැක්වීම සඳහාය. මෛත්‍රිය මෙසේ වැඩිය යුතුය; “සබ්බේ සත්තා සුඛිනො හොන්තු” (සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා) නැතහොත් “සුඛිතත්තා හොන්තු” (සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා) යි
චතුත්ථගාථාවණ්ණනා
මෙසේ උපචාරයේ සිට අර්පණා කෙළවර දක්වා කෙටියෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් විස්තර වශයෙන් ද එය දැක්වීමට “යෙ කෙචි” යනාදී ගාථා දෙක වදාළහ. නැතහොත් යම් හෙයකින් මහත් අරමුණුවල පුරුදු කළ සිත ආරම්භයේදීම එක් අරමුණක නොපිහිටයිද විවිධ අරමුණු අනුව ගොස් ක්‍රමයෙන් එක් අරමුණක පිහිටයිද එහෙයින් ඒ සිතට තස ථාවර ආදී දුක (දෙකේ කොටස) හා තික (තුන් කොටස) වශයෙන් ප්‍රභේද ගත අරමුණු අනුව ගොස් එක් අරමුණක පිහිටනු සඳහා ද “යෙ කෙචි” යන ගාථා දෙක වදාළහ. නැතහොත් යම් හෙයකින් යමෙකුට යම් අරමුණක් ප්‍රකට වේ ද ඔහුගේ සිත එහි පහසුවෙන් පිහිටයි ද එහෙයින් ඒ භික්ෂූන් අතුරෙන් යමෙකුට යමක් ප්‍රකට අරමුණක් වේ ද ඔහුගේ සිත එහි පිහිටුවනු කැමැත්තේ තස ථාවර ආදී දුක තික වශයෙන් ප්‍රභේද ගත වූ අරමුණු දැක්වීමට “යෙ කෙචි” යන මේ ගාථා දෙක වදාළහ.
මෙහි වනාහී තසථාවර දුකය, දිට්ඨ අදිට්ඨ දුකය, දූර සන්තික දුකය, භූත සම්භවෙයි දුකය වශයෙන් දුක (දෙකේ කොටස්) හතරක් ද දීඝාදි පද හයෙන් මජ්ඣිම පදය තික තුනක ද අණුක පදය තික දෙකක ද අර්ථවත් වන බැවින් දිඝ රස්ස මජ්ඣිම තිකය, මහන්ත අණුක මජ්ඣිම තිකය, ථූල අණුක මජ්ඣිම තිකය යයි තික (තුන් කොටස්) තුනක් ද විස්තර කෙරේ. එහි “යෙ කෙචි” යනු නිරවශේෂ වචනයකි; පාණා එව භූතා = පාණභූතා; (ප්‍රාණයෝම භූත වූයේනුයි - ප්‍රාණභූත වේ). නැතහොත් ආශ්වාස කෙරේනුයි - පාණ වේ. මෙයින් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රතිබද්ධ ස්කන්ධ පහෙන් යුත් සත්ත්වයන් ගනී. වෙත්නුයි - භූතා වේ. මෙයින් ස්කන්ධ එකකින් හා ස්කන්ධ හතරකින් යුත් සත්ත්වයන් ගනී. “අත්‍ථි” යනු වෙති. විද්‍යාමාන වෙති;
මෙසේ “යෙ කෙචි පාණ භූතත්‍ථි” යන මේ වචනයෙන් දුක තිකයන්ගෙන් සංග්‍රහ කළ යුතු සියලු සත්ත්වයන් එක්කොට දක්වා දැන් ඒ සියල්ලෝම “තසාවාථාවරාවා අනවසෙසා” යන මේ දෙකේ කොටසින් සංග්‍රහ කොට දක්වයි.
එහි බියට පත්වේනුයි. “තසා” වේ. තණ්හාව සහිත, භය සහිත සත්ත්වයන්ට මෙය නාමයකි. සිටිත්නුයි - “ථාවර” වේ. ප්‍රහීණ කළ මහා භය ඇති රහතන් වහන්සේට මෙය නාමයකි. ඔවුන්ගේ ඉතිරියක් නැත්තේනුයි - අනවසෙසා වේ. සියල්ලෝම යයි කියන ලද්දේ වේ. දෙවන ගාථාවේ අග යමක් කියන ලද්දේ ද එය සියලු දුක තිකයන්ට සම්බන්ධ කළ යුතුයි. “යෙකෙචි පාණභූතත්‍ථි තසාවා ථාවරා අනවසෙසා ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” ආදී වශයෙනි. මෙසේ “භූතා වා සම්භවෙසී වා ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” දක්වා සම්බන්ධ වේ.
දැන් දීඝ රස්ස මජ්ඣිම ආදී තික තුන පැහැදිලි කිරීමේදී “දීඝා වා” යනාදී පද හය අතුරෙන් “දීඝ” යනු දීර්‍ඝ ශරීර ඇති නාග, මත්ස්‍ය, තලගොයි ආදීහුය. මහා සමුද්‍රයෙහි නාගයගේ ශරීරයන් නොයෙක් බඹ සිය ගණන් පමණ වේ. මත්ස්‍ය, තලගොයි ආදීන්ගේ ශරීරයන් නොයෙක් යොදුන් පමණ වේ. “මහන්තා” යනු මහත් ශරීර ඇති ආත්ම භාවයෝය. ජලයෙහි මත්ස්‍යදීහුය. ගොඩබිම ඇත්තු ආදීහුය. අමනුෂ්‍යයන් අතර දානවාදීහුය. “ශරීර ඇත්තන් අතර රාහු අග්‍රය” යි කියන ලද්දේමය. ඔහුගේ ශරීරය වනාහී උසින් යොදුන් හාර දහස් අටසීයකි. අත් යොදුන් එක් දහස් දෙසීයක් පමණ වේ. දෙබැම අතර යොදුන් පණහකි. ඇඟිලි අතර ද එපමණ වේ. අත් තල යොදුන් දෙසීයකි. “මජ්ඣිමා” යනු අශ්ව, ගව, මී හරක්, ඌරු ආදින්ගේ ආත්ම භාවයෝය. “රස්සක” යනු ඒ ඒ ජාතීන්හි දීඝ, මජ්ඣිම සත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වාමන ආදී සත්ත්වයෝය. “අණුක” යනු මසැසට ගොදුරු නොවන දිවැසට ගොදුරුවන ජලය ආදියෙහි හටගත් සියුම් ආත්මභාව ඇති සත්ත්වයෝය. නැතහොත් උකුණන් ආදී සත්ත්වයෝය. තවද ඒ ඒ ජාතීන්හි මහන්ත මධ්‍යම සත්ත්වයන්ට හා ථූල මධ්‍යම සත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් එම සත්ත්වයෝ “අණුක” යයි දත යුතුය. “ථූලා” යනු රවුම් ආත්මභාව ඇති සත්ත්වයෝය. මාළු, ඉදිබු, සිප්පි, බෙල්ලෝ ආදී සත්ත්වයෝ ය.