9. මෙත්ත සූත්රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් නිධිකණ්ඩ සූත්රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති මෙත්ත සූත්රයෙහි වර්ණනා ක්රමය පැමිණියේ ය. එම සූත්රය මෙහි ඇතුළත් කිරීමේ ප්රයෝජනය කියා ඉන් අනතුරුව
“යමෙකු විසින් යම් දිනෙක යම් තැනකදී යම් හෙයකින් දේශනා කරන ලද්දේ ද යන මේ කරුණු විස්තර කෙරෙන නිදානය පැහැදිලි කොට මේ සූත්රයට අර්ථ වර්ණනාව කරන්නෙමි” යි
එහි යම් හෙයකින් නිධි කණ්ඩ සූත්රයෙන් දාන ශීල ආදී පුණ්ය සම්පත් කියන ලද්දේ ද එය ද සත්ත්වයන් කෙරෙහි මෛත්රියෙන් කළ හෙයින් බුද්ධ භූමියට පැමිණවීමට සමත් වීම තෙක් මහත්ඵල වේ. එබැවින් එම පුණ්ය සම්ප්රදාවට උපකාර දැක්වීම් වශයෙන් ද නැතහොත් යම් හෙයකින් සරණයන්ගෙන් ශාසනයට බැස ශික්ෂාපදයන්ගෙන් ශීලයෙහි පිහිටි අයට ද්වත්තිංසාකාරයෙන් රාගය ප්රහීණ කිරීමට සමත් වූ ද, කුමාර පඤ්හයෙන් මෝහය ප්රහීණ කිරීමට සමත් වු ද කමටහන් දක්වා මංගල සූත්රයෙන් ඔහුගේ පැවැත්මට හේතුවන මංගල කරුණු හා ආත්මාරක්ෂව ද රතන සූත්රයෙන් එයට අනුරූප වූ පරාරක්ෂාව ද තිරොකුඩ්ඩ සූත්රයෙන් රතන සූත්රයෙහි කියන ලද අමනුෂ්යයන් අතුරෙන් එක්තරා අමනුෂ්ය වර්ගයක් දැක්වීම හා කියන ලද ආකාරයේ පුණ්ය සම්පත්තියෙහි පමාවීමේ විපත්තිය ද නිධිකණ්ඩ සූත්රයෙන් තිරෝකුඩ්ඩ සූත්රයෙහි කියන ලද විපත්තීන්ට විරුද්ධ වූ සම්පත්තිය ද දක්වන ලද්දේ ද එසේ වුවත් ද්වේෂය ප්රහාණය කිරීමට සමත් කමටහනක් නොදක්වන ලද්දේය. එබැවින් ඒ ද්වේෂය ප්රහාණය කිරීමට සමත් කමටහනක් දැක්වීම් වශයෙන් ද මේ මෙත්ත සූත්රය මෙහි ඇතුළත් කරන ලදී. මෙසේ වීමෙන් වනාහී ඛුද්දක පාඨය සර්ව සම්පූර්ණ වෙයි යන මේ කාරණය මෙම සූත්රය මෙහි ඇතුළත් කිරීමේ ප්රයෝජනයයි.
නිදානසොධනං
දැන් යම් ඒ
“යෙන වුත්තං යදා යත්ථ යස්මා චෙතෙස දීපනා
නිදානං සොධයිත්වාස්ස කරිස්සාමත්ථවණ්ණනං”
නිදානං සොධයිත්වාස්ස කරිස්සාමත්ථවණ්ණනං”
යයි මාර්තෘකා තබන ලද්දේ ද (එය දක්වනු ලැබේ.) එහි මේ මෙත්ත සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ශ්රාවකාදීන් විසින් නොවේ. එයද වනාහී යම් කලෙක්හි හිමාලය ප්රාන්තයෙහි දෙවියන් විසින් කරදරයට පත් කරන ලද භික්ෂූහු භාග්යවතුන් වහන්සේ සමීපයට පැමිණියාහු ද එකල්හි සැවැත් නුවරදී ඒ භික්ෂූන්ට ආරක්ෂාව සඳහාත් කමටහන් සඳහාත් දේශනා කරන ලද්දේය යනුවෙන් පළමු කොට මෙසේ කෙටියෙන් මේ පදයන්ගේ පැහැදිලි කිරීම වූ නිදාන ශෝධනය දත යුතුය.
විස්තර වශයෙන් වනාහී මෙසේ දත යුතුය - එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වස් එළඹීමට ආසන්න කාලයෙහි සැවැත්නුවර වැඩ වෙසෙති. එකල්හි වනාහී නොයෙක් රාජ්යයන්ට අයත් බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගෙන ඒ ඒ ස්ථානයන්හි වස් එළඹෙනු කැමැතිව භාග්යවතුන් වහන්සේ සමීපයට පැමිණෙති. එහිදී භාග්යවතුන් වහන්සේ රාග චරිත ඇත්තවුන්ට සවිඥානක අවිඥානක වශයෙන් එකොළොස් වැදෑරුම් අශුභ කර්ම ස්ථානයත් ද්වේෂ චරිත ඇත්තවුන්ට සතර වැදෑරුම් මෛත්රී ආදී කර්මස්ථානත් මෝහ චරිත ඇත්තවුන්ට මරණසති කර්ම ස්ථාන ආදියත් විතර්ක චරිත ඇත්තවුන්ට ආනාපානසති පඨවි කසිණ ආදී කර්මස්ථානත් ශ්රද්ධා චරිත ඇත්තවුන්ට බුද්ධානුස්සති කර්මස්ථාන ආදියත් බුද්ධි චරිත ඇත්තවුන්ට චතුධාතුවවත්ථානාදී කර්මස්ථාන ආදියත් යනාදී මේ ක්රමයට අසූහාර දහසක් ප්රභේදගත වූ චරිතයන්ට අනුකූල වූ කර්මස්ථාන දේශනා කරති.