දුතියගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශාන්ත පදයට එළඹ වාසය කිරීමට කැමති තැනැත්තාට හෝ එය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට කිරීමට සුදුසු සමහරක් දේශනා කොට නැවත තව දුරටත් දේශනා කරනු කැමැත්තේ “සන්තුස්සකො” යනාදී දෙවන ගාථාව වදාළහ.
එහි “සන්තුට්ඨි ච කතඤ්ඤුතා” යනුවෙන් වදාළ ආකාරයට දොළොස් වැදෑරුම් සන්තෝෂයෙන් සතුටු වන්නේනුයි “සන්තුස්සකො” වේ. නැතහොත් සතුටුවේනුයි - තුස්සක වේ. ස්වකීය දෙයින් සතුටු වේනුයි. තමාට අයත් දෙයින් සතුටු වේනුයි, සමව සතුටු වේනුයි “සන්තුස්සක” වේ එහි “සක” නම් “පිණ්ඩියා ලොප භොජනං නිස්සාය” ආදී වශයෙන් උපසම්පදා මණ්ඩපයෙහි උදෙසන ලද තමා විසින් ද පිළිගන්නා ලද සිව්පස පිළිබඳ හටගත් දෙයයි. සුන්දර වූ හෝ අසුන්දර වූ හෝ සකසා දුන් හෝ නොසකසා දුන් දෙයින් එය පිළිගන්නා කල්හි හෝ පරිභෝග කරන කල්හි හෝ වෙනසක් නොදක්වා යැපෙන්නේ “ස්වකීය දෙයින් සතුටු වන්නා” යයි කියනු ලැබේ. “සන්තක” නම් තමාට ලැබුණු, තමා ළඟ ඇති යමක් වේ ද එයයි. තමා සතු එයින්ම සතුටු වන්නේ එයින් වැඩි යමක් නොපතන්නේ අධිකාශා ඇති බව දුරු කරන්නේ “සන්තක දෙයින් සතුටු වන්නා” යයි කියනු ලැබේ. “සම” නම් ඉටු අනිටු දෙයෙහි ඇලීම් ගැටීම් දුරු කිරීමයි. එයින් සමව සියලු අරමුණුවල සතුටු වන්නේ “සමව සතුටු වන්නා” යයි කියනු ලැබේ.
සුවසේ පෝෂණය කෙරේනුයි - “සුභරො” වේ. පෝෂණය කිරීමට පහසු යයි කියන ලද්දේ වේ. යම් භික්ෂුවක් වනාහී ඇල්හාල් මස් සහිත බත් ආදියෙන් පාත්‍රය පුරවා දුන් කල්හි ද දුර්මුඛ භාවයක් නොසතුටු බවක්ම දක්වන්නේ ද ඔවුන්ගේ ඉදිරියේදී ම ඒ පිණ්ඩපාතය “නුඹලා විසින් මේ දුන්නේ මොනවාදැයි අප්‍රසාදය පළ කරන්නේ සාමණේර ගිහි ආදින්ට ඒවා දෙයි ද හෙතෙම දූභරයෙකි. එවැන්නකු දැක මිනිස්සු “මේ භික්ෂුව දුභරයෙකි. පෝෂණය කිරීමට නොහැකිය” කියා දුරදීම දුරු කරති.
යම් භික්ෂුවක් වනාහි යම්කිසි අමිහිරි හෝ මිහිරි හෝ ස්වල්ප හෝ බොහෝ හෝ යමක් ලැබ සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න මුහුණ ඇත්තෙක්ව යන්නේ ද මෙතෙම සුභරයෙකි. එවැන්නකු දැක මිනිස්සු අතිශයින් විශ්වාසවන්ත වෙති. “අපගේ ස්වාමීන් වහන්සේ සුභරය, ස්වල්ප දෙයින් පවා සතුටු වෙති. අපිම උන්වහන්සේ පෝෂණය කරමු” යි ප්‍රතිඥා දී පෝෂණය කරති. එබඳු තැනැත්තා මෙහි සුභර යන්නෙන් අදහස් කරන ලදී.
ස්වල්ප වූ කෘත්‍ය ඇත්තේනුයි - “අප්පකිච්ව” වේ. කම්මාරාමතා (විවිධ කර්මාන්තයන්හි ඇලීම) භස්සාරාමතා (කථාවෙහි ඇලීම) සඞ්ගනිකාරාමතා (රංචු ගැසීමෙහි ඇලීම) ආදී විවිධ කාර්‍ය්‍යයන්හි ව්‍යාවෘත වූයේ වේ ද නැතහොත් සියලු විහාරයෙහි නව කර්ම, සංඝ, භෝග, සාමණේර, ආරාමික, වොසාසන ආදී කටයුතුවලින් තොර වූයේ තමාගේ කෙස්, නිය සිදීම, පා සිවුරු පිළියම් කිරීම් ආදී කොට මහණ කමට අයත් කටයුතුවල නිරත වූයේ යයි කියන ලද්දේ වෙයි.
මොහුට සැහැල්ලු පැවතුම් ඇත්තේනුයි - “සල්ලහුකවුත්ති” වේ. යම් සේ ඇතැම් බහු භාණ්ඩික භික්ෂුවක් දිශාවන්ට පිටත් ව යන කල්හි බොහෝ පා සිවුරු ඇතිරිලි තෙල් ගුලා ආදිය මහජනයා ලවා විසින් හා කරින් ඔසවාගෙන පිටත්ව යයි ද එවැන්නෙකු නොවී යම් භික්ෂුවක් ස්වල්ප පිරිකර ඇත්තේ වේ ද පා සිවුරු ආදී ශ්‍රමණ පරිස්කාර අට පමණක්ම පරිහරණය කරයි ද දිශාවන්ට පිටත්ව යන කල්හි කුරුල්ලෙකු (පියාපත් බර පමණක් රැගෙන යන්නාක්) මෙන් අට පිරිකර පමණක් රැගෙන පිටත්ව යයි ද එබඳු භික්ෂුවක් මෙහි “සල්ලහුකවුත්ති” යයි අදහස් කරන ලදී. මොහුට ශාන්ත ඉඳුරන් ඇත්තේනුයි - “සන්තින්ද්‍රියො” වේ. කැමති අරමුණු වල රාගාදී වශයෙන් නොබැඳුණ ඉඳුරන් ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. “නිපකො” යනු පණ්ඩිත, ඥානවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයාය. ශීලය ආරක්ෂ කිරීම පිළිබඳ නුවණින් ද චීවරාදිය විමසීම පිළිබඳ නුවණින් ද ආවාස ආදී සප්ත සප්පායන් මැනවින් දැන ගැනීමේ නුවණින් ද යුක්ත වුයේ ය යන අදහසයි.
ප්‍රගල්භ (ගරු සරු නැති බව, සාහසික) නොවූයේ “අප්පගබ්භ” වේ. අට තැනෙක්හි කාය ප්‍රගල්භයෙන් ද සතර තැනක් හි වචී ප්‍රගල්භයෙන් ද නොයෙක් තැන්හි මනෝ ප්‍රගල්භයෙන් ද තොර වූයේ යන අර්ථයයි.
අට තැනෙක්හි කාය ප්‍රගල්භ වීම නම් : සංඝ, ගණ, පුද්ගල, භෝජන ශාලා, ජන්තාඝර (ගිනිහල් ගෙය), නාන තොට, පිඬුසිඟා යන මග, ඇතුල් ගෙට පිවිසීම යන ස්ථානයන්හි කයින් නුසුදුසු දේ කිරීමයි. ඒ කෙසේද යත්? මේ ශාසනයෙහි සමහරක් සංඝයා මැද පාදය මත අනෙක් පය තබා දෙ අත් බැඳගෙන හිඳිති. මේ ආදී වශයෙනි. ගණයා මැද ද එසේමය. “ගණමජ්ඣෙ” යනු සිවු පිරිස රැස් වූ තැනයි. වැඩිහිටි පුද්ගලයන් අතර ද එසේය. භෝජන ශාලාවෙහි වනාහී වැඩිහිටියන්ට ආසන නොදෙයි. නවකයන්ගේ ආසන වළක්වයි. ජන්තාඝරයෙහි ද එසේය. වැඩිහිටියන්ගෙන් නොවිමසා ගිනි දැල්වීම් ආදිය කරයි. නාන තොටේදී ද බාලයාය. වැඩිහිටියාය යනුවෙන් ප්‍රමාණ නොකොට පැමිණි පිළිවෙළින් නෑම කළ යුතු යයි කියන ලදී. එයද නොසළකන්නේ පසුව පැමිණ ජලයට බැස වැඩිහිටියන්ට ද බාලයන්ට ද බාධා කරයි. පිඬු සිඟා යන මාර්ගයේ දී වනාහී මුල් අසුන්, මුල් පැන්, මුල් පිඬු බලාපොරොත්තුවෙන් වැඩිහිටියන්ට පෙරටුව පෙරටුව අතින් අත ගටමින් යයි. ඇතුගෙට පිවිසීමේ දී වැඩිහිටියන්ට පෙරටුව පිවිසෙයි ද බාලයන් සමග කයින් කෙළිකවටකම් කරයි ද යන මේ ආදියයි.
සතර තැනෙක්හි වාක් ප්‍රගල්භ වීම නම් : සංඝ, ගණ, පුද්ගල, අන්තරඝර යන තැන්හි නුසුදුසු වචන කථා කිරීමයි. ඒ කෙසේ ද යත්? මේ ශාසනයෙහි සමහරෙක් සංඝයා මැද (වැඩිහිටියන්ගෙන්) නොවිමසා බණ කියති. එසේම පෙර කියන ලද ආකාරයට ගණයා අතර ද වැඩිහිටියන් අතර ද පුද්ගලයන් අතර ද එසේ කරති. එහිදී මිනිසුන් විසින් ප්‍රශ්නයක් විමසන ලද්දේ වැඩිහිටියන් නොවිමසා විසඳති. ඇතුල් ගෙයි දී වනාහී “අසවල් නම් ඇති තැනැත්ත, කුමක් ඇත්තේද? කිම කැඳ තිබේද? නැතිනම් කවර නම් කෑ යුතු දේ තිබේද? කවර නම් බුදිය යුතු දේ තිබේද? කවරක් මට දෙන්නේ ද? මම අද කුමක් කන්නෙම් ද? කුමක් බුදින්නෙම් ද? කුමක් බොන්නෙම් ද? යනුවෙන් මේ ආදිය කියයි.