පඨමගාථාවණ්ණනා
දැන් “අස්ස කරිස්සාමි අත්‍ථවණ්ණනං” යයි කී හෙයින් මෙසේ කළ නිදාන ශෝධනය ඇති මේ සූත්‍රයෙහි අර්‍ථ වර්ණනාව ආරම්භ කරනු ලැබේ.
එහි “කරණීය මත්‍ථකුසලෙන” යන මේ ප්‍රථම ගාථාවේ පළමුකොට මේ පද වර්ණනාවයි: “කරණීයං” යනු කළ යුතුය, කිරීමට සුදුසුය යන අර්‍ථයයි. “අත්‍ථ” යනු ප්‍රතිපදාවයි. යම් කිසිවක් තමාට හිතවේද ඒ සියල්ල අරණීය හෙයින් අත්‍ථ යයි කියනු ලැබේ. “අරණීය හෙයින්” යනු සමීපයට යා යුතු යන අර්ථයයි. අත්‍ථෙ කුසලෙන - අත්‍ථකුසලෙන වේ. අර්‍ථයෙහි දක්‍ෂයා විසින් යයි කියන ලද්දේ වේ. “යං” යනු අනියමාර්ථයෙහි ප්‍රථම විභක්ති පදයි. “තං” යනු නියමාර්ථයෙහි දුතියා විභක්ති පදයි. නැතහොත් “යන්තං” යන පද දෙකම ගත් විට ප්‍රථමා විභක්ති පදයි. “සන්තං පදං” යනු දුතියා විභක්ති පදයි. එහි ලක්‍ෂණ වශයෙන් ශාන්ත ද පැමිණිය යුතු හෙයින් පද ද වේ. මෙය නිවනට පර්‍ය්‍යාය පදයකි. “අභිසමෙච්ච” යනු අවබෝධ කොට; හැක්කේනුයි. = “සක්කො” වේ. සමර්ථය, ප්‍රතිබලය යි කියන ලද්දේ වෙයි. “උජු” යනු සෘජු භාවයෙන් යුත් මැනවින් සෘජු වූයේ “සූජු” වේ. සුව වචන මොහු කෙරෙහි ඇත්තේනුයි “සුවචො” වේ. “අස්ස” යනු වන්නේය; “මුදු” යනු මෘදු භාවයෙන් යුත්; අතිමානී නොවේනුයි = අනතිමානී වේ.
මේ මෙහි අර්ථ වණනාවයි. “කරණීයං අත්‍ථකුසලෙන යන්තං සන්තං පදං අභිසමෙච්ච” යන මෙහි පළමු කොට කළ යුතු දේ ඇත. නොකළ යුතු දේ ඇත. එහි කෙටියෙන් ශික්ෂාත්‍රය කළ යුතු දේ වේ. ශීල විපත්ති, දිට්ඨි විපත්ති, ආචාර විපත්ති, ආජීව විපත්ති යන මේ ආදිය නොකළ යුතු දේය. එසේම “අත්‍ථ කුසලයෙක් මෙන්ම අනත්‍ථ කුසලයෙක් ද ඇත. එහි යමෙක් මේ ශාසනයෙහි පැවිදි වී තමා එම පැවිදෙහි මැනවින් නොයෙදෙන්නේ ද කඩ වූ සිල් ඇත්තේ වේ ද එක්විසි වැදෑරුම් අනේසනයන් නිසා ජීවිතය පවත්වයිද, ඒ කවරේද යත්? උණ ගස් දීම නිසා, කොළ දීම, මල් දීම, ගෙඩි දීම, දැහැටි දීම, මුවදෝනා දිය දීම, නෑමට දීම, හුණු දීම, මැටි දීම, ඉච්චා බස් කීමේ කැමැත්ත, සත්‍ය අසත්‍යය මිශ්‍ර කථාව, දරුවන් සුරතල් කිරීම, ලිපි හුවමාරු කිරීම, වෙදකම් කිරීම, දූත කාර්‍ය්‍යයේ යෙදීම, පණිවිඩ ගෙන යාම, ගිහියන් සමඟ පිඬු හුවමාරුව, දානයට අනුව දීම, වාස්තු විද්‍යාව, නක්‍ෂත්‍ර විද්‍යාව, අංග විද්‍යාව යනුයි. සය වැදෑරුම් අගෝචර ස්ථානවල හැසිරේද කවරේද යත්? වෙසඟනන් සිටින තැන, කණවැන්දුම් ස්ත්‍රීන් සිටින තැන, වැඩිවිය පත් යුවතීන් සිටින තැන, නපුංසකයන් සිටින තැන, භික්ෂූණීන් සිටින තැන, සුරා සැල් තිබෙන තැන යනුයි. රජුන් සමග හෝ රාජමහාමාත්‍යයන් සමග හෝ තීර්ථකයන් සමග හෝ තීර්ථක ශ්‍රාවකයන් සමග හෝ තමාට නොගැළපෙන ගිහියන් සමඟ හෝ සම්බන්ධව වසයි ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පිළිබඳ ශ්‍රද්ධාව නැති, පැහැදීම නැති, පොකුණක් මෙන් නොවන හැම දෙනාගේ කැමැත්ත ඉටු නොකරන ආක්‍රෝස, අපහාස කරන, අනර්ථය කැමති අහිත අපහසුව හා කාමාදී බන්ධනයන්ගෙන් බැඳීම කැමති වන යම් ඒ කුලයෝ වෙත් නම් එබඳු වූ කුලයන් සේවනය කරයි ද භජනය කරයි ද ඇසුරු කරයි ද මේ අනර්ථකුශලයා ය.
යමෙක් වනාහී මේ ශාසනයෙහි පැවිදිව එහි තමා මැනවින් යොදවයි ද අනේසනයන් දුරු කොට සිව් පිරිසිදු ශීලයෙහි පිහිටනු කැමතිව ශ්‍රද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයත් සති ශීර්ෂයෙන් ඉන්ද්‍රිය සංවරයත් වීර්‍ය්‍ය ශීර්ෂයෙන් ආජීව පාරිශුද්ධියත් ප්‍රඥා ශීර්ෂයෙන් ප්‍රත්‍ය ප්‍රතිසේවනයත් පුරයි ද මේ අර්‍ථ කුශලයාය.
නැතහොත් යමෙක් සප්ත ආපත්ති ස්කන්ධ පිරිසිදු කිරීම් වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයත් දොරටු සයෙහි ගැටෙන අරමුණුවල අභිධ්‍යා ආදිය නුපදවීම් වශයෙන් ඉන්ද්‍රිය සංවරයත් අනේසයන් දුරු කිරිම් වශයෙන් නුවණැත්තන් විසින් පසස්නා ලද බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද ආකාරයට සිව්පස පරිභෝග කිරීමෙන් ආජීව පාරිශුද්ධියත් කියන ලද අයුරින් ප්‍රත්‍යවේක්ෂා කිරීම් වශයෙන් ප්‍රත්‍යය සේවනයත් සිවු ඉරියව් පැවැත්වීමේ දී සාත්‍ථකාදීන් (සාත්‍ථක, සප්පාය, ගොචර, අසම්මොහ) ප්‍රත්‍යවේක්ෂා කිරීම් වශයෙන් සම්පජඤ්ඤය ද පිරිසිදු කරයි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
නැතහොත් යමෙක් යම්සේ කරමැටි සහිත ජලය හේතු කොට ගෙන කිළිටි වස්ත්‍රයක් සෝදයි ද අළු හේතු කොට ගෙන කණ්ණාඩියක් ගිනි උදුන හේතු කොට ගෙන රත්තරන් ද පිරිසිදු කරයි ද එසේම ඥානය හේතු කොට ගෙන ශීලය පිරිසිදු වේ යයි දැන ඥානය නැමති ජලයෙන් සෝදන්නේ ශීලය පිරිසිදු කරයි ද කිරල් දෙන බිත්තරය ද, සෙමර මුවා වලිගය ද එක් පුතෙකු ඇති ස්ත්‍රිය ප්‍රිය වූ එකම පුතා ද එක් ඇසක් ඇති පුරුෂයා ඒ එකම ඇස ද රකින්නේ යම් සේ ද එසේ අතිශයින් අප්‍රමාදීව තමාගේ ශීලස්කන්ධය රකී ද සවස හා උදෑසන සිහිපත් කරන්නේ ඉතා කුඩා වූ ද වරදක් නොදකියි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
යමෙක් වනාහී, විපිළිසරට පත් නොවන ශීලයක පිහිටා කෙළෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිව ගනී ද එය දැඩිව ගෙන කසිණ පරිකර්ම කරයි ද කසිණ පරිකර්ම කොට සමාපත්ති උපදවයි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
යමෙක් වනාහී සමාපත්තියෙන් නැගිට සංස්කාරයන් සිහි කොට රහත් ඵලයට පත් වේ ද මෙතෙම අර්ථ කුශලයන් අතර අග්‍ර වේ. එහි මේ විපිළිසරයට පත් නොකරන ශීලයක පිහිටි තැනැත්තා දක්වා හෝ කෙලෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිව ගත් මාර්ග ඵලයෙන් වර්ණනා කළ යම් අර්ථ කුශලයෙක් වේ ද ඔවුහු මෙම අර්ථයෙහි “අත්‍ථ කුසලා” යයි අදහස් කරන ලදී. ඒ භික්ෂූහු එබඳු වුවෝ වෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අරමුණු කොට ඒක පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් “කරණීයමත්‍ථ කුසලෙන” යයි වදාළහ.
ඉක්බිති කුමක් කළ යුතුදැයි නොදැන සිටි ඒ භික්ෂූන්ට “යන්තං සන්තං පදං අභිසමෙච්ච” යි වදාළහ. මේ මෙහි අදහසයි. බුද්ධානුබුද්ධයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ඒ ශාන්ත නිර්මාණ පදය අවබෝධ කිරීම් වශයෙන් එළඹ වාසය කරනු කැමැත්තා විසින් “යං කරණීයං” (යමක් කළ යුතු ද) යනුයි. මෙහිද “යං” යනු මේ ගාථා පදයෙහි ආරම්භයේ දී කියන ලද්දේමය. “කරණීයං” යනු ඒ ශාන්ත පදයට එළඹ (කරණීයං) යයි අධිකාර වශයෙන් අනුව පවතී. මෙය වනාහී යම් හෙයකින් ඉතිරියක් සහිත පාඨයක් වූයේ ද එහෙයින් එහි අර්‍ථය “එසේ වාසය කරනු කැමැත්තහු විසින්” යයි කියන ලද බව දත යුතුය.