නිදානසොධනං
දැන් යම් ඒ
“යෙන වුත්තං යදා යත්‍ථ යස්මා චෙතෙස දීපනා
නිදානං සොධයිත්‍වාස්ස කරිස්සාමත්‍ථවණ්ණනං”
යයි මාර්‍තෘකා තබන ලද්දේ ද (එය දක්වනු ලැබේ.) එහි මේ මෙත්ත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ශ්‍රාවකාදීන් විසින් නොවේ. එයද වනාහී යම් කලෙක්හි හිමාලය ප්‍රාන්තයෙහි දෙවියන් විසින් කරදරයට පත් කරන ලද භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියාහු ද එකල්හි සැවැත් නුවරදී ඒ භික්ෂූන්ට ආරක්ෂාව සඳහාත් කමටහන් සඳහාත් දේශනා කරන ලද්දේය යනුවෙන් පළමු කොට මෙසේ කෙටියෙන් මේ පදයන්ගේ පැහැදිලි කිරීම වූ නිදාන ශෝධනය දත යුතුය.
විස්තර වශයෙන් වනාහී මෙසේ දත යුතුය - එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වස් එළඹීමට ආසන්න කාලයෙහි සැවැත්නුවර වැඩ වෙසෙති. එකල්හි වනාහී නොයෙක් රාජ්‍යයන්ට අයත් බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගෙන ඒ ඒ ස්ථානයන්හි වස් එළඹෙනු කැමැතිව භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණෙති. එහිදී භාග්‍යවතුන් වහන්සේ රාග චරිත ඇත්තවුන්ට සවිඥානක අවිඥානක වශයෙන් එකොළොස් වැදෑරුම් අශුභ කර්ම ස්ථානයත් ද්වේෂ චරිත ඇත්තවුන්ට සතර වැදෑරුම් මෛත්‍රී ආදී කර්මස්ථානත් මෝහ චරිත ඇත්තවුන්ට මරණසති කර්ම ස්ථාන ආදියත් විතර්‍ක චරිත ඇත්තවුන්ට ආනාපානසති පඨවි කසිණ ආදී කර්‍මස්ථානත් ශ්‍රද්ධා චරිත ඇත්තවුන්ට බුද්ධානුස්සති කර්මස්ථාන ආදියත් බුද්ධි චරිත ඇත්තවුන්ට චතුධාතුවවත්‍ථානාදී කර්‍මස්ථාන ආදියත් යනාදී මේ ක්‍රමයට අසූහාර දහසක් ප්‍රභේදගත වූ චරිතයන්ට අනුකූල වූ කර්‍මස්ථාන දේශනා කරති.
ඉක්බිති පන්සියයක් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කර්‍මස්ථාන ඉගෙන ගැළපෙන සෙනසුනක් හා ගොදුරු ගමක් ද සොයමින් පිළිවෙළින් ගොස් පිටිසර හිමාලය හා ඒකාබද්ධ වූ නිල් පළිගු වැනි ගල් තලා ඇති සිසිල් ගුණ සෙවන ඇති නිල් වන ලැහැබින් හොබනා වූ මුතු දැල් රිදී පට වැනි වැල්ලෙන් ගැවසී ගත් භූමිභාග ඇති පිරිසිදු සිසිල් ජලාශයෙන් පිරිවැරූ පර්වතයක් දුටහ. ඉක්බිති ඒ භික්ෂුහු එහි එක් රැයක් වැස රාත්‍රිය පහවු පසු ශරීරය පිළිදැගුම් කොට ඒ වන ලැහැබට නුදුරු එක් ගමකට පිඬු පිණිස වැඩියහ. ගම වනාහී රාශී භූතව වසන පවුල් දහසකින් යුක්තය. මෙහි මිනිස්සු ද සැදැහැයෙන් පැහැදුණෝ වෙති. ඔවුහු පිටිසර පැවිද්දන්ගේ දැකීම දුර්ලභ බැවින් භික්ෂූන් දැකීමෙන් ම හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තේ වී එම භික්ෂූන් වළඳවා “ස්වාමිනි, මෙහිම වසනු මැනවැයි ආරාධනා කොට භාවනා කුටි පන්සීයක් කරවා එහි ඇඳන් පුටු හා පානීය පරිභෝජනීය ජලය සහිත කළ ද සියලු උපකරණ ද පිළියෙල කර දුන්හ.
භික්ෂූහු දෙවන දවස්හි වෙනත් ගමකට පිඬු පිණිස පිවිසියහ. එහි මිනිස්සු ද එසේම උපස්ථාන කොට වස් විසීම සඳහා ආරාධනා කළහ. භික්ෂූහු “අනතුරක් නැතැ”යි ආරාධනාව පිළිගෙන එම වන ලැහැබට පිවිස සියලු රෑ දවල් පටන් ගත් වීර්යය ඇතිව වේලාව දක්වන ගෙඩියක් කොටවා නුවණින් සිහි කිරීම බහුල කොට වසන්නාහු ගස් මුල්වලට එළඹ හිඳිති. සිල්වත් භික්ෂූන්ගේ තේජසින් පහ වූ තේජස් ඇති වෘක්‍ෂ දේවතාවෝ තම තමන්ගේ විමානයන්ගෙන් බැස දරුවන් රැගෙන එහෙ මෙහෙ හැසිරෙති. යම් සේ ගමක වාසය කිරීමට ගිය රජුන් විසින් හෝ රාජමහාමාත්‍යයන් විසින් හෝ ගම් වැසියන්ගේ ගෙවල්වල නවාතැන් ගත් කල්හි ගෘහවාසීහු ගෙවලින් නික්ම වෙනත් තැනක වසමින් “කවදා නම් යන්නාහුදැයි දුර සිට බලත් ද ඒ ආකාරයට දෙවියෝ තම තමන්ගේ විමානයන් අත්හැර එහෙ මෙහේ හැසිරෙන්නාහු “ස්වාමීන් වහන්සේලා කවදා නම් වඩින්නාහුදැ”යි දුර සිට බලති. පසුව ඔවුහු මෙසේ එක්ව සිතූහ. “පෙර වස් එළඹි භික්ෂූහු ඒකාන්තයෙන් තෙමසක් වසන්නාහ. අපි වනාහී ඒ තාක් බොහෝ කාලයක් දරුවන් රැගෙන විමානයෙන් ඉවත්ව විසීමට නොහැක්කෙමු අපි භික්ෂූන්ට භයජනක අරමුණු දක්වන්නෙමු නම් යෙහෙකි”යි යනුවෙනි. ඔවුහු රාත්‍රියෙහි භික්ෂූන් මහණදම් කරන වේලාවෙහි භය ජනක යක්‍ෂ රූප මවාගෙන ඉදිරියෙන් ඉදිරියෙන් සිටිති. භයජනක ශබ්ද කරති. එම රූප දැක එම ශබ්ද අසා භික්ෂූන්ගේ හදවත කම්පා විය. සුදුමැලි වී දුර්වර්ණ වූහ. එහෙයින් ඒ භික්ෂූහු සිත එකඟ කර ගැනීමට නොහැකි වුහ. එකඟ නොවූ සිත් ඇති එසේම බිය නිසා නැවත නැවත සංවේගයට පත් ඒ භික්ෂූන්ගේ සිහිය මුළා විය. ඉන්පසු මුළා වූ සිහි ඇති ඒ භික්ෂූන්ට දුඟද අරමුණු යොමු කළහ. ඒ දුගඳින් ඒ භික්ෂූන්ගේ හිස් මොළය පෙළනු ලබන්නාක් මෙන් විය. දැඩි හිසේ වේදනා ඇති විය. එහෙත් ඒ බව ඔවුනොවුන්ට නොදැන්වූහ.