දසමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - යම් හෙයකින් මේ මෛත්‍රීය සත්ත්වයන් අරමුණු කරන හෙයින් ආත්ම දෘෂ්ටියට ආසන්න වේ ද එහෙයින් දෘෂ්ටි ග්‍රහණය වැළැක්වීම් වශයෙන් ඒ භික්ෂූන්ට එම මෛත්‍රී ධ්‍යානයම පාදක කොට ආර්‍ය්‍ය භූමියට පැමිණීම දක්වන්නාහු “දිට්ඨිඤ්ච අනුපගම්ම” යන මේ ගාථාවෙන් දේශනාව අවසන් කළහ.
එහි අර්ථය : යම් මේ “බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු” යයි වර්ණනා කළ මෛත්‍රී ධ්‍යාන විහාරයක් වේ ද එයින් නැගිට එහි යම් විතර්ක විචාර ආදී ධර්මයෝ වෙත් ද ඒවා ඔවුන්ගේ ද නියම කිරීම් අනුසාරයෙන් රූප ධර්මයන් විමසා බලා මේ නාම රූප බෙදා වෙන් කිරීම මගින් “මේ ශුද්ධ සංස්කාර ගොඩක් පමණි. මෙහි සත්ත්වයෙක් නොලැබේ” යයි මෙසේ “දිට්ඨිඤ්ච අනුපගම්ම” දෘෂ්ටියට නොඑළඹ පිළිවෙලින් ලෝකොත්තර ශීලයෙන් “සීලවා” සිල්වතෙක් වී ලෝකොත්තර ශීලයෙන් යුක්ත වීමෙන්ම සොතාපත්ති මග්ග සම්මා දිට්ඨි සඞ්ඛ්‍යාත “දස්සනෙන සම්පන්නො” දර්ශනයෙන් යුක්ත වූයේ ඉන් අනතුරුව යම් මේ වස්තු කාමයෙහි තෘෂ්ණාවක් වේ ද යම් ක්ලේශ කාමයක් ප්‍රහීණ නොවූයේ වේ ද එය ද සකදාගාමී, අනාගාමී මාර්ගයන්ට පැමිණීම් වශයෙන් නිරවශේෂ ප්‍රහාණයෙන් ද “කාමෙසු ගෙධං විනෙය්‍ය” කාමයන්හි තෘෂ්ණාව දුරු කරන්නේය. දුරුකොට සන්සිඳුවා “නහි ජාතු ගබ්භය්‍යෙං පුනරෙති” ඒකාන්ත වශයෙන්ම නැවත ගැබක සැතපීමට නොඑයි. සුද්ධාවාස බ්‍රහ්මලෝකයන්හි ඉපිද එහිම රහත් ඵලයට පත්ව පිරිනිවන් පායි යනුයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමාකොට ඒ භික්‍ෂූන්ට වදාළහ. “මහණෙනි, යවු, එම වන ලැහැබෙහිම වසවු. මේ සූත්‍රය ද මාසයෙහි බණ අසන දින අටෙහි ගෙඩිය ගසා ශබ්ද නගා කියවු. ධර්ම කථා කරවු. සාකච්ඡා කරවු. අනුමෝදන් වවු. මේ කමටහන සේවනය කරවු. වඩවු. බහුල වශයෙන් කරවු. ඒ අමනුෂ්‍යයෝ ද තොපට ඒ භය ජනක අරමුණු නොදක්වන්නාහ. අනෙක් අතට අර්ථය කැමැත්තෝ හිත කැමැත්තෝ වන්නාහ යනුවෙනි. ඔවුහු යහපතැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආසනවලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ප්‍රදක්ෂිණා කොට එහි ගොස් එසේ කළහ. දේවතාවෝ ස්වාමීන් වහන්සේලා අපගේ අර්ථය කැමැත්තෝය. හිත කැමැතෝ යයි හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වී තමාම සෙනසුන් අමදිති. උණුදිය පිළියෙල කොට දෙති. පිට පිරිමැදීම, පා පිරිමැදීම කරති. ආරක්ෂාව සංවිධානය කරති. ඒ භික්ෂුහු ද එසේම මෛත්‍රිය වඩා එයම පාදක කොට විදර්ශනාව ආරම්භ කොට සියල්ලෝම ඒ වස් තුන් මස ඇතුළතදීම අග්‍ර ඵලය වූ රහත් ඵලයට පත්ව මහා පවාරණයෙන් විසුද්ධි පවාරණය පැවරූහ යනුයි.
මෙසේ ධර්මයට අධිපති අර්ථයෙහි දක්ෂ තථාගතයන් වහන්සේ විසින් දේශිත කළ යුතු අර්ථයන් අනුගමනය කොට හදවතෙහි පරම ශාන්තිය වින්දනය කොට පුරන ලද ප්‍රඥා ඇත්තේ ශාන්ත පදය අවබෝධ කරති.
එබැවින් ඒ අමෘත වූ අද්භූත වූ ආර්‍ය්‍යකාන්ත වූ ශාන්ත පදයට එළඹ වසනු කැමති නිර්මල ශීල සමාධි ප්‍රඥාවෙන් යුත් නුවණැති ජනයා කළ යුතු අර්ථයන් විශේෂයෙන් ක්‍රියාත්මක කරන්නේය.
මෙත්ත සුත්ත වර්ණනාව නිමියේය.