අට්ඨමගාථාවණ්ණනා
මෙසේ සියලු ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - එම මෛත්‍රී භාවනාවගේම වැඩීම දක්වන්නාහු “මෙත්තඤ්ච සබ්බ ලොකස්මිං” යයි වදාළහ.
එහි ස්නේහ උපදවයි, රකිනුයි = මිත්ත වේ. හිතධ්‍යාශය වශයෙන් ස්නේහ කරයි හෝ අහිත දුරු කිරීම් වශයෙන් රකියි යන අර්ථයයි. මිත්තස්සභාවො = මෙත්තං (මිත්‍රයාගේ ස්වභාවය මෛත්‍රියයි). “සබ්බ ලොකස්මිං” යනු නිරවශේෂ සත්ත්ව ලෝකයෙහි; මනසෙහි වුයේනුයි = මානස වේ. ඒ මෛත්‍රිය සිත හා පවතින බැවින් එසේ කියන ලදී. “භාවයෙ” යනු වඩන්නේය. මෙයට ප්‍රමාණයක් නැත්තේනුයි. “අපරිමාණං” වේ. අප්‍රමාණ සත්ත්වයන් අරමුණු වන බැවින් මෙසේ කියන ලදී. “උද්ධං” යනු උඩයි. එයින් අරූප භවය ගනී. “අධො” යනු යටයි. එයින් කාම භවය ගනී. “තිරියං” යනු මැදයි. එයින් රූප භවය ගනී. “අසම්බාධං” යනු අවහිර නැති බවයි. බිඳුණු සීමා ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. සීමා නම් පසමිතුරා යයි කියනු ලැබේ. ඔහු කෙරෙහිද පැවැත්තේ යයි කියන ලද්දේ වෙයි. “අවෙරං” යනු වෛරයෙන් තොර බවයි. අතරතුර වෛර චේතනා පහළවීමෙන් තොර වූ යයි කියන ලද්දේ වෙයි. “අසපත්තං” යනු පහ වූ සතුරන් ඇති බවයි. මෛත්‍රී විහරණයෙන් යුත් තැනැත්තා වනාහී මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙයි. ඔහුට කිසිම පස මිතුරෙක් නොමැත. එබැවින් ඔහුගේ ඒ මෛත්‍රී සහගත මනස පහ වූ සතුරන් ඇති බැවින් “අසපත්තං” යයි කියනු ලැබේ. මේ “පච්චත්තිකො” යන වචනය “සපත්තො” යන්නට පර්යාය වචනයකි. මේ පද පිළිවෙළින් අර්ථ වර්ණනාවයි.
මේ වනාහී මෙහි අදහස් කළ අර්ථ වර්ණනාවයි. මෙසේද සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය යන යමක් කියන ලද්දේ ද ඒ මේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු ලෝකයෙහි දියුණු කරන්නේය, වඩන්නේය, අභිවෘද්ධියට, දියුණුවට විපුල බවට ගෙන යන්නේය, පමුණුවන්නේය. ඒ කෙසේද යත්? උඩ ද යට ද සරස ද වශයෙනි. උඩින් භවාග්‍රය දක්වාත් යටින් අවීචිය දක්වාත් සරසින් සෙසු දිශාවන්හිත්ය. නැතහොත් උඩින් අරූපී බඹලොව දක්වාත් යටින් කාම ලෝක දක්වාත් සරසින් රූපී බඹලොව දක්වාත් නිරවශේෂව පතුරුවන්නේ මෙසේ වඩන්නේ ද ඒ මෛත්‍රී භාවනාව යම් සේ සම්බාධ නොමැති වෛර නොමැති සතුරන් නොමැති මෛත්‍රියක් වේ ද එසේ සම්බාධ වෛර සපත්තයන් දුරු කරමින් වඩන්නේය. නැතහොත් යම් ඒ භාවනා සම්ප්‍රදාවට පත් මෛත්‍රියක් වේ ද එය සියලු තන්හි අවකාශ ලැබීම් වශයෙන් අසම්බාධ වූයේ ද අනුන් කෙරෙහි තමාගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අවේර වූයේ ද තමා කෙරෙහි අනුන්ගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අසපත්ත වූයේ ද ඒ අසබාධ අවේර අසපත්ත වූ අප්‍රමාණ මෛත්‍රී මනස උඩද යට ද සරස ද යන කොටස් තුනකින් යුත් සියලු ලෝකයෙහි දියුණු කරන්නේ ය. වඩන්නේ ය යනුවෙනි.
නවමගාථාවණ්ණනා
මෙසේ මෛත්‍රී භාවනාවේ වැඩීම දක්වා දැන් එම භාවනාවේ යෙදී වසන තැනැත්තාට ඉරියව් පැවැත්වීමේ නියමයක් නොමැති බව දක්වමින් “තිට්ඨං චරං - පෙ - අධිට්ඨෙය්‍ය” යි වදාළහ.
එහි අර්ථය : මෙසේ මේ මෛත්‍රී සිත වඩන්නාවූ ඔහු “කය සෘජුව පිහිටුවා පළඟක් බැඳ හිඳියි” ආදී තන්හි මෙන් ඉරියව් නියමයක් නොකොට සුව පරිදි එක් එක් ඉරියව්වෙහි අපහසුතාවයන් දුරු කරමින් “තිට්ඨං” සිටිමින් හෝ “චරං” ඇවිදිමින් හෝ “නිසින්නොවා සයානොවා යාවතා විගතමිද්ධො අස්ස” හිඳිමින් හෝ නිදමින් හෝ යම්තාක් පහ වූ නිදි ඇත්තේ වේ ද ඒ තාක් “එතං” මේ මෛත්‍රී ධ්‍යාන “සතිං” සිහිය “අධිට්ඨෙය්‍ය” අධිෂ්ඨාන කරන්නේය.
නැතහොත් මෙසේ මෛත්‍රී භාවනාවේ වැඩීම දක්වා දැන් - වශීභාවය දක්වන්නාහු “තිට්ඨං චරං” යයි වදාළහ. වශීතාවයට පැමිණි තැනැත්තා වනාහි “තිට්ඨං” සිටිමින් හෝ “චරං” ඇවිදිමින් හෝ -පෙ යම්තාක් යම් ඉරියව්වකින් මේ මෛත්‍රී ධ්‍යාන සතිය වඩනු කැමැත්තේ වේ ද නැතහොත් “තිට්ඨං වා චරං වා” යනු ඔහුට ස්ථානාදිය අන්තරාය කර නොවේ ද තවද යම්තාක් මෙසේ ඒ මෛත්‍රී ධ්‍යාන සතිය වඩනු කැමැත්තේ වේ ද ඒතාක් පහ වූ නිදි ඇත්තෙක්ව මෛත්‍රී සිත අදිටන් කරයි. ඔහුට සිහි විකළ වූ බවක් නැත. “තිට්ඨං චරං නිසිනොවා සයනොවා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය” යයි එහෙයින් වදාළහ.
එහි අදහස : සිතෙහි වූ මෛත්‍රිය ද සියලු සත්ත්ව ලෝකයෙහි වඩන්නේ යයි යමක් දේශනා කරන ලද්දේ ද එය එසේ වඩන්නේ ය. යම්සේ ස්ථානාදියෙහි එම ස්ථානාදිය ග්‍රහණය නොකොට යම් ඉරියව්වකින් යම්තාක් මේ මෛත්‍රී ධ්‍යාන සතිය අදිටන් කරනු කැමැත්තේ වේ ද ඒ තාක් පහවූ නිදි ඇත්තෙක්ව මේ සතිය අදිටන් කරන්නේය යනුයි.
මෙසේ මෛත්‍රී භාවනාවෙහි වශී භාවය දක්වන්නාහු “එතං සතිං අධිට්ඨෙය්‍ය” යනුවෙන් එම මෛත්‍රී විහාරයෙහි යොදවා දැන් - එම විසීම පසසන්නාහු “බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු” යයි වදාළහ.
එහි අර්ථය : යම් මේ “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යන්නෙහි සිට “එතං සතිං අධිට්ඨෙය්‍ය”දක්වා වර්ණනා කරන ලද මෛත්‍රී විහාරයක් වේ ද “එතං” එය දිව්‍ය, බ්‍රහ්ම, ආර්‍ය්‍ය, ඉරියාපථ යන සිව් විහරණයන්හි නිදොස් බැවින් ද තමාට ද අනුන්ට ද අර්ථය සිදු කරන බැවින් ද “ඉධ” මේ ආර්‍ය්‍ය ධර්ම විනයෙහි “බ්‍රහ්ම විහාරමාහු” ශ්‍රේෂ්ඨ විහාර යයි කීහ යනුයි. යම් හෙයකින් නිරන්තරයෙන් සිටිමින් හෝ ඇවිදිමින් හෝ හිදිමින් හෝ නිදමින් හෝ යම්තාක් පහ වූ නිදි ඇත්තේ වේ ද ඒතාක් අමිශ්‍ර වූ මේ මෛත්‍රී සතිය අදිටන් කරන්නේ ද එහෙයිනි.
දසමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - යම් හෙයකින් මේ මෛත්‍රීය සත්ත්වයන් අරමුණු කරන හෙයින් ආත්ම දෘෂ්ටියට ආසන්න වේ ද එහෙයින් දෘෂ්ටි ග්‍රහණය වැළැක්වීම් වශයෙන් ඒ භික්ෂූන්ට එම මෛත්‍රී ධ්‍යානයම පාදක කොට ආර්‍ය්‍ය භූමියට පැමිණීම දක්වන්නාහු “දිට්ඨිඤ්ච අනුපගම්ම” යන මේ ගාථාවෙන් දේශනාව අවසන් කළහ.