ඡට්ඨගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ බලාපොරොත්තුවෙන් තැත්පත් කරන ලද්දේ නමුදු තම බලාපොරොත්තු ඉටු නොකරන, නොයෙක් ආකාරයෙන් වෙනස් වීම ස්වභාව කොට ඇති ලෝක සම්මත නිධානය දේශනා කොට දැන් යම් පුණ්‍ය සම්පත්තියක් පරමාර්ථ වශයෙන් නිධාන යයි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා වශයෙන් මේ නිධිකණ්ඩය ආරම්භ කළහ. එය දක්වන්නාහු වදාළහ :
“යස්ස දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච
නිධී සුනිහිතො හොති ඉත්‍ථියා පුරිසස්සවා”
“යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ දානයෙන් ශීලයෙන් ද චිත්ත සංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් ද මනාසේ නිධානයක් තැන්පත් කරන ලද්දේ වේ ද?
එහි “දානෙන” යනු “දානඤ්ච ධම්ම චරියාච” යන මෙහි කී අයුරින් ගත යුතුය. “සීලං” යනු කායික වාචසික වශයෙන් නොඉක්ම වීමයි. නැතහොත් පඤ්චඞ්ග, අට්ඨඞ්ග, පාතිමොක්ඛ සංවර ආදී සියලු ශීලය මෙහි “සීල” යයි අදහස් කරන ලදී. “සඤ්ඤමො” යනු සංවරයයි. සිතින් විවිධ අරමුණු කරා යාම වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය සමාධියට නමකි. යම් සංයමයකින් යුත් තැනැත්තා “අතින් සංයත වූයේ පයින් සංයත වූයේ වචනයෙන් සංයත වූයේ හැම අතින්ම සංයත වුයේ (ධම්ම පද - 362) යනුවෙන් මෙහි හැම අතින්ම සංයුත වූයේ යයි දේශනා කරන ලද්දේ ද එම තැනැත්තාය. සමහරු “හික්මීම සංයමයයි. වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය ඉන්ද්‍රිය සංවරයට නමකි”යි කීහ. “දමො” යනු දමනයයි. කෙලෙස් සංසිඳවීම යයි කියන ලද්දේ වෙයි. මෙය ප්‍රඥාවට නමකි. ප්‍රඥාව වනාහි කිසියම් තැනෙක්හි “පඤ්ඤා” යන්නෙන්ම කියනු ලැබේ. “සූස්සූසා ලභතෙ පඤ්ඤං” (අසනු කැමැත්ත හේතු කොට ගෙන ප්‍රඥාව ලබයි) යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “ධර්‍මය” කියනු ලැබේ. “සච්චං ධම්මො ධිතී චාගො” යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “දම” යයි කියනු ලැබේ. “යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්‍යො න විජ්ඡති” (සත්‍යයට, ඉන්ද්‍රිය දමනයට, පරිත්‍යාගයට, ඉවසීමට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන අන් කිසිවක් නැත) ආදී තන්හිය.
මෙසේ දානාදිය දැන දැන් මේ ගාථාවෙහි අර්‍ථය මෙසේ පිඬුකොට දත යුතුය. “යස්ස ඉත්‍ථියා වා පුරිසස්ස වා දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච” යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ දානයෙන් ශීලයෙන් සංයමයෙන් දමනයෙන් යන මේ සතර ධර්‍මයන්ගෙන් - යම් සේ අමු රනින් හෝ රනින් හෝ මුතුවලින් හෝ මැණිකෙන් හෝ ධනමය නිධානයක් වේ ද ඒ රන් ආදිය එක් තැනක තැන්පත් කිරීමෙන් නිදන් කෙරේද, ඒ ආකාරයට පුණ්‍යමය “නිධි” නිධානයක් ඔවුන්ගේ දානාදිය එක් චිත්ත සන්තානයක හෝ චෛත්‍ය ආදී වස්තුවක් කෙරෙහි හෝ මැනවින් කිරීම් වශයෙන් “සුනිහිතො හොති” මනා ලෙස තැන්පත් කරන ලද්දේ වෙයි යනුයි.
සත්තමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “යස්ස දානෙන” යන මේ ගාථාවෙන් පුණ්‍ය සම්පත්තියෙහි පරමාර්ථ වශයෙන් නිධානයක් බව දේශනා කොට දැන් යම් තැනක තැන්පත් කළ ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වන්නේ ද ඒ වස්තුව දක්වන්නාහු
“චෙතියම්හිච සංඝෙ වා පුග්ගලෙ අතිථිසු වා
මාතරි පිතරි වාපි අථො ජෙට්ඨම්හි භාතරී”
“චෛත්‍යය කෙරෙහි ද සංඝයා කෙරෙහි ද යම් පුද්ගලයෙකු කෙරෙහි ද ආගන්තුකයෙකු කෙරෙහි ද මව කෙරෙහි ද පියා කෙරෙහි ද නැවත වැඩිමහළු සහෝදරයා හෝ (සහෝදරිය) කෙරෙහිද”
එහි පිදිය යුතු හෙයින් = චෙතිය වේ. පූජා කළ යුතු යයි කියන ලද්දේ වෙයි. නැතහොත් රැස් කළ හෙයින් = චෙතිය වේ. එය වනාහී පාරිභෝගික චෛත්‍යය, උද්දිස්සක චෛත්‍යය, ධාතු චෛත්‍යය වශයෙන් ත්‍රිවිධ වේ. එහි බෝධි වෘක්‍ෂය පාරිභෝගික චෛත්‍යයි. බුද්ධ ප්‍රතිමාව උද්දිස්සක චෛත්‍යයයි. සධාතුක ධාතු ගර්භ ස්තූප ධාතුක චෛත්‍යයයි. “සංඝො” යනු බුද්ධ ප්‍රමුඛාදීන් අතුරෙන් යම් කිසිවෙක්, “පුග්ගලො” යනු ගිහි හා පැවිද්දන් අතුරෙන් යම් කිසිවෙක්; මොහුට වේලාවක් නැත්තේනුයි දවසේ යම් ඒ වේලාවක්හි පැමිණෙනුයි = “අතිථි” වේ. එකෙණෙහිම පැමිණි ආගන්තුකයාට මෙය නමකි. ඉතිරි පද කියන ලද අයුරින්මය.
මෙසේ චෛත්‍යය ආදිය දැන; දැන් මෙසේ මේ ගාථාවෙහි අර්‍ථය පිඬුකොට දත යුතුය. යමෙක් වනාහී ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වේ යයි කියන ලද්දේ ද හෙතෙම මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළේ වෙයි. කුමක් හෙයින්ද යත්? බොහෝ කලක් ඉෂ්ට ඵල ලබා දීමෙහි සමත් බැවිනි. ඒ එසේමය. චෛත්‍යයක් විෂයෙහි ස්වල්පයක් නමුත් දී බොහෝ කලක් ඉෂ්ට ඵල ලබන්නෝ වෙති. යම් සේ කියන ලද්දේ ද ?
“එක් මලක් පූජා කොට කල්ප අසූ කෝටියක් දුගතියක නූපන්නෙමි. මේ පුෂ්පදානයෙහි ඵලයයි” යනු ද
“ස්වල්ප මාත්‍ර වූ සැප පරිත්‍යාගයෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ” යනු ද වේ.
මෙසේ දක්‍ෂිණා විසුද්ධිය - වෙලාම සූත්‍රාදීන්හි දේශනා කළ අයුරින්ම සංඝාදි වස්තූන්හි ද දානයෙහි ආනිසංස විභාගය දත යුතුය. යම් සේ චෛත්‍යය ආදියෙහි දානයාගේ පැවැත්මෙහි ඵල සම්පත්තිය දක්වන ලද්දේ ද ඒ ආකාරයට සුදුසු පරිදි සියලු තන්හි ඒ ඒ දෙය අරමුණු කොට චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් ශීලයෙහි ද බුද්ධානුස්සති වශයෙන් සංයමයෙහි ද ඒ ඒ වස්තූන් පිළිබඳ විදර්ශනා මනසිකාර ප්‍රත්‍යවේක්ෂා වශයෙන් දමනයෙහි ද පැවැත්ම ද එහි ඵල සම්පත් ද දත යුතුය.
අට්ඨමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දානාදියෙන් නිදන් කරනු ලබන පුණ්‍යමය නිධානයෙහි චෛත්‍ය ආදී ප්‍රභේද ගත වස්තූන් දක්වා දැන් මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළ ඒ පුණ්‍ය නිධානයෙහි ගැඹුරු වූ ද ජලය අවසන් කොට ඇත්තා වූ ද තැන්හි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂත්වය දක්වන්නාහු වදාළහ :
“එසො නිධි සුනිහිතො අජෙය්‍යො අනුගාමිකො
පහාය ගමනීයෙසු එත මාදාය ගච්ඡති”
“මනා සේ තැන්පත් කළ මේ පුණ්‍ය නිධානය අන්‍යයන් විසින් දිනා ගන්නට නොහැකිය. පරලොව යන විට තමා අනුව යන්නේ වෙයි. මැරෙන අවස්ථාවෙහි හැර දමා යා යුතු වස්තු ඇති කල්හි මේ පුණ්‍ය නිධානය රැගෙන (පරලොව) යයි යනුයි.
එහි පූර්‍ව පදයෙන් දානාදියෙන් මැනවින් තැන්පත් කළ ඒ පුණ්‍ය නිධානය “එසො නිධි සුනිහිතො” යනුවෙන් දක්වයි. “අජෙය්‍යො” යනු අනුන් විසින් පරාජය කොට ගත නොහැකි බැවින් “අජෙය්‍යො” වේ. “අජ්ජෙය්‍යො” යයි ද පාඨයකි. එහි රැස් කළ යුතු, රැස් කර ගැනීමට සුදුසු, හිතසුව කැමැත්තා විසින් සමීපයට ගත යුතු යන අර්‍ථය වේ. නැතහොත් එම පාඨයෙහි “මේ නිධානය රැස් කර ගත යුතු යයි සම්බන්ධ කොට නැවත කුමක් නිසා දැයි ප්‍රශ්න කිරීම දක්වා යම් හෙයකින් මනාව තැන්පත් කරන ලද දෙය තමා අනුව යන්නේ ද ඒ නිසා යයි සම්බන්ධ කළ යුතුය. අනෙක් අතට වනාහි මැනවින් තැන්පත් කළ නිධානයාගේ රැස් කර ගත් බවද කියන ලද්දේ වන්නේය. මැනවින් තැන්පත් කළ නිධානය රැස් කර ගත යුතු දෙයක් නොවේ. එය වනාහි රැස් කර ගත් දෙයක්මය. අනුව යන්නේනුයි “අනුගාමිකො” වේ. ඒ ඒ භවයන්හි ඵල ප්‍රදානය කිරීම කරණ කොට ගෙන පරලොව යන තැනැත්තා ද අත් නොහරී යන අර්‍ථයයි.