සත්තමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ “යස්ස දානෙන” යන මේ ගාථාවෙන් පුණ්ය සම්පත්තියෙහි පරමාර්ථ වශයෙන් නිධානයක් බව දේශනා කොට දැන් යම් තැනක තැන්පත් කළ ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වන්නේ ද ඒ වස්තුව දක්වන්නාහු
“චෙතියම්හිච සංඝෙ වා පුග්ගලෙ අතිථිසු වා
මාතරි පිතරි වාපි අථො ජෙට්ඨම්හි භාතරී”
මාතරි පිතරි වාපි අථො ජෙට්ඨම්හි භාතරී”
“චෛත්යය කෙරෙහි ද සංඝයා කෙරෙහි ද යම් පුද්ගලයෙකු කෙරෙහි ද ආගන්තුකයෙකු කෙරෙහි ද මව කෙරෙහි ද පියා කෙරෙහි ද නැවත වැඩිමහළු සහෝදරයා හෝ (සහෝදරිය) කෙරෙහිද”
එහි පිදිය යුතු හෙයින් = චෙතිය වේ. පූජා කළ යුතු යයි කියන ලද්දේ වෙයි. නැතහොත් රැස් කළ හෙයින් = චෙතිය වේ. එය වනාහී පාරිභෝගික චෛත්යය, උද්දිස්සක චෛත්යය, ධාතු චෛත්යය වශයෙන් ත්රිවිධ වේ. එහි බෝධි වෘක්ෂය පාරිභෝගික චෛත්යයි. බුද්ධ ප්රතිමාව උද්දිස්සක චෛත්යයයි. සධාතුක ධාතු ගර්භ ස්තූප ධාතුක චෛත්යයයි. “සංඝො” යනු බුද්ධ ප්රමුඛාදීන් අතුරෙන් යම් කිසිවෙක්, “පුග්ගලො” යනු ගිහි හා පැවිද්දන් අතුරෙන් යම් කිසිවෙක්; මොහුට වේලාවක් නැත්තේනුයි දවසේ යම් ඒ වේලාවක්හි පැමිණෙනුයි = “අතිථි” වේ. එකෙණෙහිම පැමිණි ආගන්තුකයාට මෙය නමකි. ඉතිරි පද කියන ලද අයුරින්මය.
මෙසේ චෛත්යය ආදිය දැන; දැන් මෙසේ මේ ගාථාවෙහි අර්ථය පිඬුකොට දත යුතුය. යමෙක් වනාහී ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වේ යයි කියන ලද්දේ ද හෙතෙම මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළේ වෙයි. කුමක් හෙයින්ද යත්? බොහෝ කලක් ඉෂ්ට ඵල ලබා දීමෙහි සමත් බැවිනි. ඒ එසේමය. චෛත්යයක් විෂයෙහි ස්වල්පයක් නමුත් දී බොහෝ කලක් ඉෂ්ට ඵල ලබන්නෝ වෙති. යම් සේ කියන ලද්දේ ද ?
“එක් මලක් පූජා කොට කල්ප අසූ කෝටියක් දුගතියක නූපන්නෙමි. මේ පුෂ්පදානයෙහි ඵලයයි” යනු ද
“ස්වල්ප මාත්ර වූ සැප පරිත්යාගයෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ” යනු ද වේ.
මෙසේ දක්ෂිණා විසුද්ධිය - වෙලාම සූත්රාදීන්හි දේශනා කළ අයුරින්ම සංඝාදි වස්තූන්හි ද දානයෙහි ආනිසංස විභාගය දත යුතුය. යම් සේ චෛත්යය ආදියෙහි දානයාගේ පැවැත්මෙහි ඵල සම්පත්තිය දක්වන ලද්දේ ද ඒ ආකාරයට සුදුසු පරිදි සියලු තන්හි ඒ ඒ දෙය අරමුණු කොට චාරිත්ර වාරිත්ර වශයෙන් ශීලයෙහි ද බුද්ධානුස්සති වශයෙන් සංයමයෙහි ද ඒ ඒ වස්තූන් පිළිබඳ විදර්ශනා මනසිකාර ප්රත්යවේක්ෂා වශයෙන් දමනයෙහි ද පැවැත්ම ද එහි ඵල සම්පත් ද දත යුතුය.
අට්ඨමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ දානාදියෙන් නිදන් කරනු ලබන පුණ්යමය නිධානයෙහි චෛත්ය ආදී ප්රභේද ගත වස්තූන් දක්වා දැන් මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළ ඒ පුණ්ය නිධානයෙහි ගැඹුරු වූ ද ජලය අවසන් කොට ඇත්තා වූ ද තැන්හි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂත්වය දක්වන්නාහු වදාළහ :
“එසො නිධි සුනිහිතො අජෙය්යො අනුගාමිකො
පහාය ගමනීයෙසු එත මාදාය ගච්ඡති”
පහාය ගමනීයෙසු එත මාදාය ගච්ඡති”
“මනා සේ තැන්පත් කළ මේ පුණ්ය නිධානය අන්යයන් විසින් දිනා ගන්නට නොහැකිය. පරලොව යන විට තමා අනුව යන්නේ වෙයි. මැරෙන අවස්ථාවෙහි හැර දමා යා යුතු වස්තු ඇති කල්හි මේ පුණ්ය නිධානය රැගෙන (පරලොව) යයි යනුයි.
එහි පූර්ව පදයෙන් දානාදියෙන් මැනවින් තැන්පත් කළ ඒ පුණ්ය නිධානය “එසො නිධි සුනිහිතො” යනුවෙන් දක්වයි. “අජෙය්යො” යනු අනුන් විසින් පරාජය කොට ගත නොහැකි බැවින් “අජෙය්යො” වේ. “අජ්ජෙය්යො” යයි ද පාඨයකි. එහි රැස් කළ යුතු, රැස් කර ගැනීමට සුදුසු, හිතසුව කැමැත්තා විසින් සමීපයට ගත යුතු යන අර්ථය වේ. නැතහොත් එම පාඨයෙහි “මේ නිධානය රැස් කර ගත යුතු යයි සම්බන්ධ කොට නැවත කුමක් නිසා දැයි ප්රශ්න කිරීම දක්වා යම් හෙයකින් මනාව තැන්පත් කරන ලද දෙය තමා අනුව යන්නේ ද ඒ නිසා යයි සම්බන්ධ කළ යුතුය. අනෙක් අතට වනාහි මැනවින් තැන්පත් කළ නිධානයාගේ රැස් කර ගත් බවද කියන ලද්දේ වන්නේය. මැනවින් තැන්පත් කළ නිධානය රැස් කර ගත යුතු දෙයක් නොවේ. එය වනාහි රැස් කර ගත් දෙයක්මය. අනුව යන්නේනුයි “අනුගාමිකො” වේ. ඒ ඒ භවයන්හි ඵල ප්රදානය කිරීම කරණ කොට ගෙන පරලොව යන තැනැත්තා ද අත් නොහරී යන අර්ථයයි.
“පහාය ගමනීයෙසු එතමාදාය ගච්ඡති” යනු මැරෙන කාලය එළඹි කල්හි, සියලු භෝගයන් අත්හැර යන කල්හි, මේ පුණ්ය නිධානය රැගෙන පරලොව යන්නේය යන මෙය වනාහි එහි අර්ථයයි. එම අර්ථය වනාහි නොගැළපෙන්නේ නොවේද? කුමක් හෙයින් ද යත්? භෝගයන් (පරලොව) නොයන හෙයිනි. ඒ ඒ භෝගයෝ දුරු කළ යුත්තෝමය. ඒ ඒ ගති විශේෂයෝ යා යුතු ස්ථාන වන්නෝය. යම් හෙයකින් - ඉදින් මේ අර්ථය වන්නේ නම් “භෝගයන් අත්හැර සුගති විශේෂයකට යා යුතු කල්හි” යයි කියන්නේය. එහෙයින් මෙසේ මෙහි අර්ථය දත යුතුය. “නිධානය තිබූ ස්ථානයෙන් ඉවත්වීම හෝ වේ” යන මේ ආදී ක්රමයෙන් මිනිසා භෝගයන් අත්හැර යන කල්හි මේ (පුණ්ය නිධානය) රැගෙන යයි. මේ නිධානය වනාහි අනුගාමික බැවින් ඔහු අත් නොහරී” යනුයි.
“ගමනීයෙසු” යන මෙහි “යා යුතු කල්හි” යන අර්ථයයි. “යන කල්හි” යන අර්ථය නොවේ යයි අදහසක් වේ නම් එය ඒකාන්ත වශයෙන් නොගත යුතුය. “අරියා නිය්යාණිකා” (ආර්ය්යයෝ නිවනට පමුණුවන්නෝය) යන මෙහි “ගෙන යන්නෝ” යන අර්ථය මිස “ගෙන යා යුත්තෝ” යන අර්ථය නොවන්නේ යම්සේ ද එසේම මෙහි ද “යන කල්හි” යන අර්ථය මිස “යා යුතු කල්හි” යන අර්ථය නොවේ.
නැතහොත් මෙතෙම මැරෙන කාලයෙහි කිසිවෙකුට (යමක්) දෙනු කැමැත්තේ භෝගයන් ස්පර්ශ කිරීමටවත් නොලබයි. එහෙයින් ඔහු විසින් ඒ භෝගයෝ මුලින් කයින් දුරු කළ යුතුය. පසුව පහ වූ ආශා ඇති සිතින් (දුරු කොට) යන කල්හි යයි මෙසේ මෙහි අර්ථය දත යුතුය. භෝගයන් අත්හැර යන කල්හි මෙසේ පුණ්ය නිධි විභාගය එයින් බැහැර කොට රැගෙන යයි යනුවෙන් මුලින් කී අර්ථයේ දී නිර්ධාරණාර්ථයේ සත්තමී විභක්තියි. භෝගයන්ගේ ගමනීය භාවයෙන් මේ නිධානය රැගෙන යන බව කියවෙන හෙයින් පසු අර්ථයෙහි භාවාර්ථය කරණ කොට ගෙන භාව ලක්ෂණයෙහි සන්තමී විභක්තියි.
නවමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ පුණ්ය නිධානයෙහි ගැඹුරු ජලය අන්තකොට ඇති භූමියෙහි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂයෙන් දක්වා නැවත තමාගේ භාණ්ඩයන්හි ගුණ වර්ණනා කිරීමෙන් මිළදී ගන්නා ජනයා තුළ උනන්දුව ඇති කරන උසස් භාණ්ඩ වෙළෙන්දෙකු මෙන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද පුණ්ය නිධානයෙහි ගුණ වර්ණා කිරීමෙන් එම පුණ්ය නිධානයෙහි දෙවි මිනිසුන්ගේ උත්සාහය ඇති කරමින් වදාළහ.
“අසාධාරණ මඤ්ඤෙසං අචොරහරණො නිධි
කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො”
කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො”
“පුණ්ය නිධානය අන්යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නොහැකිය. පරලොව යන කල්හි ද තමා අනුව යන්නා වූ යම් පුණ්ය නිධානයක් වේ ද නුවණැත්තේ ඒ පින්කම් කරන්නේය.”
එහි “අසාධාරණ මඤ්ඤෙසං” යනු අන්යයන්ට සාධාරණ නොවූ; මකාරය “අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා” ආදී තැන්හි මෙන් පද සන්ධිකර අක්ෂරයකි. සොරුන් නොගන්නේ = “අචොරහරණො”යි සොරුන් විසින් ගත යුත්තක් නොවේ යන අර්ථයයි. නිදන් කළ යුතු බැවින් “නිධි” වේ. මෙසේ පද දෙකෙන් පුණ්ය නිධානයෙහි ගුණ වර්ණනා කොට ඉන් අනතුරු පද දෙකෙන් “කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො” යනුවෙන් එම පුණ්ය නිධානයෙහි උත්සාහය උපදවයි. එහි අර්ථය : යම් හෙයකින් පින නම් අන්යයන්ට අසාධාරණ වූ ද සොරුන් විසින් ගත නොහැකි වූ ද නිධානයක් වේ ද, හුදෙක් අසාධාරණ හා සොරුන් විසින් ගත නොහැකි පමණක් ම නොවේ. තවද “එසො නිධි සුනිහිතො අජෙය්යො අනුගාමිකො” යයි මෙහි කියන ලද්දේ ද “යො නිධි අනුගාමිකො” යම් නිධානයක් අනුගාමික වේ ද එය ද යම් හෙයකින් පිනම වේ ද එහෙයින් “ධීරො” බුද්ධියෙන් යුත් ධෛර්ය්යයෙන් යුත් පුද්ගලයා “පුඤ්ඤානි” පින් “කයිරාථ” කරන්නේය යනුයි.