8. නිධිකණ්ඩ සූත්‍රය වර්ණනාව
නික්ඛෙපකාරණං
දැන් ඉදින් මේ තිරොකුඩ්ඩ සූත්‍රයෙන් අනතුරුව “නිධිං නිධෙති පුරිසො” (පුරුෂතෙම නිධානයක් තැන්පත් කෙරේ) යි ආදී වශයෙන් නිධිකණ්ඩ සූත්‍රය ඇතුළත් කරන ලද්දේ ද එහි :
“නිධිකණ්ඩ සූත්‍රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා දේශනා කිරීමට හේතුව හෙවත් නිදානය පැහැදිලි කොට අර්‍ථ වර්ණනාව කරන්නෙමි”
එහි පළමුකොට මේ ඛුද්දක පාඨයෙහි ඇතුළත් කිරීමට හේතුව මෙසේ දත යුතුය. මේ නිධිකණ්ඩ සූත්‍රය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පිළිවෙලට දේශනා නොකරන ලද්දේ නමුදු යම්හෙයකින් අනුමෝදනා වශයෙන් දේශනා කළ තිරොකුඩ්ඩ සූත්‍රයෙහි (මේ පුණ්‍ය නිධානය) නියම කරන ලද්දේ ද එහෙයින් මෙහි ඇතුළත් කරන ලදී. නැතහොත් තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පිනෙන් තොර වූවන්ගේ විපත්තිය දක්වා මේ නිධිකණ්ඩ සූත්‍රයෙන් කළ පින් ඇත්තන්ගේ සම්පත්තිය දැක්වීම සඳහා ද මේ සූත්‍රය මෙහි ඇතුළත් කරන ලද්දේ යයි දත යුතුය. මේ මෙය මෙහි ඇතුළත් කිරීමේ හේතුවයි.
සුත්තට්ඨුප්පත්ති
මේ සූත්‍රය දේශනා කිරීමේ හේතුව වනාහී :- සැවැත් නුවර වනාහි එක් කෙළෙඹියෙක් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භෝග ඇත්තේය. හෙතෙම සැදැහැති ද තෙරුවන් කෙරෙහි පැහැදුණේ ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව ගිහියෙහි වසයි. හෙතෙම එක් දිනක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් දෙයි. එකල්හි රජතුමාට ධනය අවශ්‍ය වූයේ වෙයි. රජු “බොල”, යව අසවල් නම් ඇති කෙළෙඹියා ගෙනෙව”යි කියා ඔහු සමීපයට පුරුෂයෙකු යැවීය. හෙතෙම ගොස් ඒ කෙළෙඹියාට “ගෘහපතිය, රජ නුඹ කැඳවයි” යයි කීවේය. කෙළෙඹියා ශ්‍රද්ධා ආදී ගුණයෙන් යුත් සිතින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වළඳවන්නේ “එම්බා පුරුෂය, යව පසුව එන්නෙමි. දැන් මම නිධානයක් තැන්පත් කරමින් සිටියේ වෙමි” කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් කළාහු ඒ පුණ්‍ය සම්පත්තියම පරමාර්ථ වශයෙන් “නිධානයකැ”යි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා පිණිස “නිධිං නිධෙති පුරිසො” යන මේ ගාථා වදාළහ. මේ මෙහි අර්ථොත්පත්ති කථාවයි.
මෙසේ
මේ නිධිකණ්ඩ සූත්‍රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා අර්ථොත්පත්තිය හෙවත් නිදානය පැහැදිලි කොට දැන් අර්‍ථ වර්ණනාව කරන්නෙමි.
පඨමගාථාවණ්ණනා
“නිධිං නිධෙති පුරිසො ගම්භීරෙ ඔදකන්තිකෙ
අත්‍ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්‍ථාය මෙ භවිස්සති”
“අභිවෘද්ධි දායක යම්කිසි කටයුත්තක් ඇති වූ කල්හි මාගේ ප්‍රයෝජනය පිණිස වන්නේ යයි සළකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනක නිධානයක් තැන්පත් කෙරෙයි.”
එහි “නිධිං නිධෙති පුරිසො” යන්නෙහි නිදන් කරනු ලැබේනුයි = නිධි වේ. තබනු ලැබේ. රකිනු ලැබේ. ආරක්ෂා කරනු ලැබේ යන අර්‍ථයයි. ඒ නිධානය සතරාකාර වේ. ථාවර, ජඞ්ගම, අඞ්ගසම, අනුගාමික වශයෙනි. එහි ථාවර නිධානය නම්: භූමිගත හෝ ආකාශගත හෝ අමුරන් හෝ රන් හෝ කුඹුරු හෝ ඉඩම් හෝ වෙනත් යම් මෙබඳු වූ ඉරියව් පැවැත්මෙන් තොර යමක් වේ ද මේ ථාවර නිධානයයි. ජඞ්ගම නිධානය නම් : දැසිදස්, ඇත්ගව, අස් වෙළඹ, එළු කුකුල්, ඌරන් හෝ වෙනත් යම් මෙබඳු ඉරියව් පැවැත්මෙන් යුත් යමෙක් වේ ද මේ ජඞ්ගම නිධානයයි. අඞ්ගසම නිධානය නම් : කර්‍මාන්ත දැනුමක් හෝ ශිල්ප දැනුමක් හෝ විද්‍යා දැනුමක් හෝ බහුශ්‍රැත බවක් හෝ තම අඟ පසඟ මෙන් ආත්මභාවය හා බැඳුණු මෙබඳු ඉගෙන ගෙන ලබාගත් වෙනත් යමක් වේ ද මේ අඞ්ගසම නිධානයයි. අනුගාමික නිධානය නම් : දානමය, ශීලමය, භාවනාමය, ධර්‍මශ්‍රවණමය, ධර්‍ම දේශනාමය පිනක් හෝ යම් මෙබඳු වූ ඒ ඒ තන්හි තමා අනුව ගොස් ඉෂ්ට ඵල ලබාදෙන වෙනත් පිනක් වේ ද මෙය අනුගාමික නිධානයයි. මෙතැනදී වනාහී ථාවර නිධානය අදහස් කරන ලදී.