දුතියගාථාවණ්ණනා
මෙසේ නිධානයෙහි ප්‍රයෝජන දක්වන්නාහු අර්‍ථය ළඟාකර ගැනීමේ අභිප්‍රාය දක්වා දැන් අනර්ථය පහකර ගැනීමේ අභිප්‍රාය දැක්වීමට වදාළහ:
“රාජතොවා දුරුත්තස්ස චොරතො පීළිතස්ස වා
ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසුවා”
“නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද සොරුන් විසින් පෙළනු ලැබූවහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද ණයෙන් මිදීම පිණිස ද දුර්භික්ෂ කාලයෙහි හෝ විපතක් පැමිණි කල්හි හෝ (ප්‍රයෝජන පිණිස වන්නේ යයි සළකා ධනය නිදන් කොට තබනු ලැබේ.)
“අත්‍ථාය මෙ භවිස්සති” යයි ද “ඉණස්ස වා පමොක්ඛාය” යයි ද මෙහි කියන ලද “භවිස්සති” “පමොක්ඛාය” යන පද දෙක සමග සුදුසු පරිදි යොදා එහි අර්ථය දත යුතුය.
එහි යෙදීම මෙසේය: හුදෙක් පුරුෂයෙක් “මට අර්‍ථය පිණිස වන්නේ යයි සළකාම නිධාන තැත්පත් නොකෙරේ. තවද, “මොහු සොරෙකි”යි කියා හෝ අනුන්ගේ අඹුවන් කරා යන්නෙකි”යි කියා හෝ අයබදු නොගෙවන්නෙකි”යි කියා හෝ මේ ආදී ක්‍රමයට විරුද්ධකාරයන් විසින් පස මිතුරන් විසින් “දුරුත්තස්ස” නපුරු කොට කියනු ලබන්නාවූ මට “රාජතොවා” රජුගෙන් හෝ මිදීම පිණිස වන්නේය. ගෘහසන්ධි බිදීම් ආදියෙන් ධනය පැහැර ගැනීමෙන් හෝ “මෙපමණ අමුරන් හෝ රන් දෙව”යි පණ පිටින් අල්ලා ගැනීමෙන් හෝ සොරුන් විසින් පෙළනු ලබන කල්හි මට “චොරතොවා පමොක්ඛාය” සොරුන්ගෙන් මිදීම සඳහා වන්නේය. මට ණය හිමියෝ වන්නාහ. ඔවුහු “ණය දෙව”යි මට චෝදනා කරන්නාහ. ඔවුන් විසින් චෝදනා කරනු ලබන මට ”ඉණස්ස වා පමොක්ඛාය” ණයෙන් නිදහස් වීම සඳහා වන්නේය. ශස්‍ය ලබා ගැනීමට අපහසු, දුකසේ ලැබිය යුතු ආහාර ඇති යම් දුර්භික්ෂ කාලයක් වේ ද එම කාලයෙහි ස්වල්ප වූ ධනයෙන් යැපීම පහසු නොවේ. එබඳු “දුබ්භික්ඛෙවා” දුර්භික්ෂ කාලයක දී හෝ මට (යැපීම පිණිස) වන්නේය. යම් ඒ ආපදාවෝ ගින්නෙන් හෝ ජලයෙන් හෝ නොමනාප දායාද කෙරෙන් හෝ උපදිත් ද එබඳු වූ ‘වා’ හෝ “ආපදාසු” ආපදාවන් උපන් කල්හි මට (උපකාර පිණිස) වන්නේ යයි පුරුෂ තෙම නිධානයක් තැන්පත් කෙරේ යනුයි.
මෙසේ අර්‍ථයන් ළඟාකර ගැනීමේ අභිප්‍රාය හා අනර්ථයන් දුරු කිරිමේ අභිප්‍රාය යන නිධානයන්ගේ දෙආකාර වූ ප්‍රයෝජන ගාථා දෙකෙන් දක්වා දැන් - ඒ දෙ ආකාර වූ ප්‍රයෝජනම තහවුරු කරමින් “එතදත්‍ථය ලොකස්මිං නිධි නාම නිධීයති” යයි වදාළහ.
එහි අර්‍ථය : යම් මේ “අත්‍ථාය මෙ භවිස්සති” යයි ද “රාජතොවා දුරුත්තස්ස” යයි ද මේ ආදී වශයෙන් අර්ථාධිගමයක් හා අනර්ථාපගමයක් දක්වන ලද්දේ ද “එත දත්‍ථාය” මෙම ප්‍රයෝජනයක් නිපදවා ගැනීම සඳහා මේ අවකාශ “ලොකෙ” ලෝකයෙහි යම් කිසිවෙක් අමුරන්, රන්, ආදී ප්‍රභේද ගත වූ “නිධි නාම නිධීයති’’ නිධාන නම් වූවක් නිදන් කෙරේ. තබනු ලැබේ. තැත්පත් කරනු ලැබේ යනුයි.
තතියගාථාවණ්ණනා
දැන් මෙසේ තැන්පත් කරන ලද්දේ නමුදු යම් හෙයකින් එම නිධානය පුණ්‍යවන්තයන්ටම බලාපොරොත්තු වූ අර්‍ථයන් සාධනය කරන්නේ වේ ද අන්‍යයන්ට එසේ නොවේද එහෙයින් එම අර්ථය පැහැදිලි කරමින් වදාළහ.
“තාව සුනිහිතො සන්තො ගම්භීරෙ ඔදකන්තිකෙ
න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති”
“ජලයට සමීප තාක් ගැඹුරු තැනෙක්හි එතරම් සුරක්ෂිත කොට තබන ලද්දා වූ ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.
එහි අර්‍ථය : - ඒ නිධානය “තාව සුනිහිතො සන්තො” එතරම් මනාකොට පොළොව සාරා තබන ලද්දේ නමුදු යයි කියන ලද්දේ වෙයි. කෙතරම් සුරක්‍ෂිතවද යත්? “ගම්භීරෙ ඔදකන්තිකෙ” යම් තාක් ජලයට සමීප ගැඹුරු තැනෙක්හි තැන්පත් කරන ලද්දේ යයි ගණන් ගැනේ ද ඒ තාක් සුරක්‍ෂිතව යයි කියන ලද්දේ වෙයි. “න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති” යනු යම් පුරුෂයෙකු විසින් තැන්පත් කරන ලද්දේ ද ඔහුට සියල්ලම සියලු කල්හි සමීපයට නොපැමිණේ. කාර්‍ය්‍ය සිද්ධිය නොකරයි. කියන ලද කාර්‍ය්‍යන් කිරීමට සමත් නොවේ යයි කියන ලද්දේ වෙයි. කිම කිසිවෙක් වනාහී කිසිම දිනක සමීපයට පැමිණෙන්නේද? නැතහොත් කිසිම දිනක නොපැමිණෙන්නේද? එහි “තං” යනු “යථා තං අප්පමත්තස්ස ආතාපිනො” යනාදී තන්හි මෙන් පද පූරණ නිපාතයක් පමණක් බව දත යුතුය. නැතහොත් ලිඞ්ගය වෙනස් කොට “සො” යයි කිවයුතු කල්හි “තං” යයි කියන ලදී. මෙසේ කියනු ලබන කල්හි ඒ අර්‍ථය සුවසේ අවබෝධ වේ.
චතුත්ථපඤ්චමගාථාවණ්ණනා
මෙසේ “ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස ළගට නොපැමිණේ” යයි දේශනා කොට දැන් යම් හේතූන් නිසා නොපැමිණේ ද ඒවා දක්වන්නාහු වදාළහ.
“නිධි වා ඨානා චවති සඤ්ඤා වාස්ස විමුය්හති
නාගවා අපනාමෙන්ති යක්ඛා වාපි හරන්ති නං
අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතො” යනුයි.
“නිධානය හෝ තිබූ තැනින් ඉවත් වෙයි. නිදන් කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තිබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තිබූ තැනින් ඉවත් කෙරෙත්. යක්‍ෂයෝ හෝ එය හැරන්ගෙන යත්. අප්‍රිය වූ උරුමක්කාරයෝ හෝ ඔහු නොදැක්කදී පොළොව හාරා නිධානය ගොඩ ගනිති.”
එහි අර්‍ථය : යම් ස්ථානයක නිධානය මැනවින් තැන්පත් කරන ලද්දේ වේ ද එම “නිධි” නිධානය ඒ “ඨානා චවති” ස්ථානයෙන් චුත වේ. පහ වේ. ඉවත් වේ. අචේතනික වුව ද පින් ගෙවීම හේතුවෙන් වෙනත් තැනකට යයි. සඤ්ඤා වා අස්ස විමුය්හති” යම් ස්ථානයක නිධානය තැන්පත් කරන ලද්දේ වේ ද එම ස්ථානය නොදනී. මොහුගේ පුණ්‍යක්‍ෂය වීමෙන් මෙහෙය වන ලද “නාගාවා” නාගයෝ හෝ එම නිධානය “අපනාමෙන්ති” වෙනත් තැනකට ගෙන යති. “යක්ඛාවාපි හරන්ති” යක්‍ෂයෝ හෝ කැමති තැනකට ගෙන යති. “අපස්සතො” නොදකිද්දී හෝ මොහුගේ “අප්පියා වා දායාදා” අප්‍රිය උරුමක්කාරයෝ පොළොව සාරා එම නිධානය “උද්ධරන්ති” ගොඩ ගනිති. මෙසේ මෙම ස්ථානයෙන් චුතවීම් ආදී කාරණයන් කරණකොට ගෙන මොහුගේ ඒ නිධානය කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.