තතියගාථාවණ්ණනා
දැන් මෙසේ තැන්පත් කරන ලද්දේ නමුදු යම් හෙයකින් එම නිධානය පුණ්‍යවන්තයන්ටම බලාපොරොත්තු වූ අර්‍ථයන් සාධනය කරන්නේ වේ ද අන්‍යයන්ට එසේ නොවේද එහෙයින් එම අර්ථය පැහැදිලි කරමින් වදාළහ.
“තාව සුනිහිතො සන්තො ගම්භීරෙ ඔදකන්තිකෙ
න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති”
“ජලයට සමීප තාක් ගැඹුරු තැනෙක්හි එතරම් සුරක්ෂිත කොට තබන ලද්දා වූ ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.
එහි අර්‍ථය : - ඒ නිධානය “තාව සුනිහිතො සන්තො” එතරම් මනාකොට පොළොව සාරා තබන ලද්දේ නමුදු යයි කියන ලද්දේ වෙයි. කෙතරම් සුරක්‍ෂිතවද යත්? “ගම්භීරෙ ඔදකන්තිකෙ” යම් තාක් ජලයට සමීප ගැඹුරු තැනෙක්හි තැන්පත් කරන ලද්දේ යයි ගණන් ගැනේ ද ඒ තාක් සුරක්‍ෂිතව යයි කියන ලද්දේ වෙයි. “න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති” යනු යම් පුරුෂයෙකු විසින් තැන්පත් කරන ලද්දේ ද ඔහුට සියල්ලම සියලු කල්හි සමීපයට නොපැමිණේ. කාර්‍ය්‍ය සිද්ධිය නොකරයි. කියන ලද කාර්‍ය්‍යන් කිරීමට සමත් නොවේ යයි කියන ලද්දේ වෙයි. කිම කිසිවෙක් වනාහී කිසිම දිනක සමීපයට පැමිණෙන්නේද? නැතහොත් කිසිම දිනක නොපැමිණෙන්නේද? එහි “තං” යනු “යථා තං අප්පමත්තස්ස ආතාපිනො” යනාදී තන්හි මෙන් පද පූරණ නිපාතයක් පමණක් බව දත යුතුය. නැතහොත් ලිඞ්ගය වෙනස් කොට “සො” යයි කිවයුතු කල්හි “තං” යයි කියන ලදී. මෙසේ කියනු ලබන කල්හි ඒ අර්‍ථය සුවසේ අවබෝධ වේ.
චතුත්ථපඤ්චමගාථාවණ්ණනා
මෙසේ “ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස ළගට නොපැමිණේ” යයි දේශනා කොට දැන් යම් හේතූන් නිසා නොපැමිණේ ද ඒවා දක්වන්නාහු වදාළහ.
“නිධි වා ඨානා චවති සඤ්ඤා වාස්ස විමුය්හති
නාගවා අපනාමෙන්ති යක්ඛා වාපි හරන්ති නං
අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතො” යනුයි.
“නිධානය හෝ තිබූ තැනින් ඉවත් වෙයි. නිදන් කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තිබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තිබූ තැනින් ඉවත් කෙරෙත්. යක්‍ෂයෝ හෝ එය හැරන්ගෙන යත්. අප්‍රිය වූ උරුමක්කාරයෝ හෝ ඔහු නොදැක්කදී පොළොව හාරා නිධානය ගොඩ ගනිති.”
එහි අර්‍ථය : යම් ස්ථානයක නිධානය මැනවින් තැන්පත් කරන ලද්දේ වේ ද එම “නිධි” නිධානය ඒ “ඨානා චවති” ස්ථානයෙන් චුත වේ. පහ වේ. ඉවත් වේ. අචේතනික වුව ද පින් ගෙවීම හේතුවෙන් වෙනත් තැනකට යයි. සඤ්ඤා වා අස්ස විමුය්හති” යම් ස්ථානයක නිධානය තැන්පත් කරන ලද්දේ වේ ද එම ස්ථානය නොදනී. මොහුගේ පුණ්‍යක්‍ෂය වීමෙන් මෙහෙය වන ලද “නාගාවා” නාගයෝ හෝ එම නිධානය “අපනාමෙන්ති” වෙනත් තැනකට ගෙන යති. “යක්ඛාවාපි හරන්ති” යක්‍ෂයෝ හෝ කැමති තැනකට ගෙන යති. “අපස්සතො” නොදකිද්දී හෝ මොහුගේ “අප්පියා වා දායාදා” අප්‍රිය උරුමක්කාරයෝ පොළොව සාරා එම නිධානය “උද්ධරන්ති” ගොඩ ගනිති. මෙසේ මෙම ස්ථානයෙන් චුතවීම් ආදී කාරණයන් කරණකොට ගෙන මොහුගේ ඒ නිධානය කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.
මෙසේ ස්ථානයෙන් ඉවත්වීම් ආදී තම කාර්‍ය්‍ය සිද්ධිය ඉටු නොවන ලෝක සම්මත කාරණයන් දේශනා කොට දැන් : මේ කාරණයන්ට මූල හේතුව වූ යම් ඒ පුණ්‍යක්‍ෂය සඞ්ඛ්‍යාත එකම කාරණයක් වේ ද එය දක්වන්නාහු :
“යදා පුඤ්ඤක්ඛයො හොති සබ්බමෙතං විනස්සති” යයි වදාළහ.
එහි අර්ථය : යම් කලෙක්හි භෝග සම්පත් නිපදවන්නාගේ “පුඤ්ඤස්ස ඛයො හොති” පින ක්‍ෂය වූයේ වේ ද භෝග පරිහානියට හේතුවන පාපයක් අවසර ලැබ සිටියේ වේ ද ඉක්බිති නිධානයක් තැන්පත් කරන්නා විසින් තැන්පත් කරන ලද යම් හිරණ්‍ය සුවර්ණාදී ධනයක් වේ ද “සබ්බමෙතං විනස්සති” ඒ සියල්ල විනාශ වේ යනුයි.
ඡට්ඨගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ බලාපොරොත්තුවෙන් තැත්පත් කරන ලද්දේ නමුදු තම බලාපොරොත්තු ඉටු නොකරන, නොයෙක් ආකාරයෙන් වෙනස් වීම ස්වභාව කොට ඇති ලෝක සම්මත නිධානය දේශනා කොට දැන් යම් පුණ්‍ය සම්පත්තියක් පරමාර්ථ වශයෙන් නිධාන යයි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා වශයෙන් මේ නිධිකණ්ඩය ආරම්භ කළහ. එය දක්වන්නාහු වදාළහ :
“යස්ස දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච
නිධී සුනිහිතො හොති ඉත්‍ථියා පුරිසස්සවා”
“යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ දානයෙන් ශීලයෙන් ද චිත්ත සංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් ද මනාසේ නිධානයක් තැන්පත් කරන ලද්දේ වේ ද?
එහි “දානෙන” යනු “දානඤ්ච ධම්ම චරියාච” යන මෙහි කී අයුරින් ගත යුතුය. “සීලං” යනු කායික වාචසික වශයෙන් නොඉක්ම වීමයි. නැතහොත් පඤ්චඞ්ග, අට්ඨඞ්ග, පාතිමොක්ඛ සංවර ආදී සියලු ශීලය මෙහි “සීල” යයි අදහස් කරන ලදී. “සඤ්ඤමො” යනු සංවරයයි. සිතින් විවිධ අරමුණු කරා යාම වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය සමාධියට නමකි. යම් සංයමයකින් යුත් තැනැත්තා “අතින් සංයත වූයේ පයින් සංයත වූයේ වචනයෙන් සංයත වූයේ හැම අතින්ම සංයත වුයේ (ධම්ම පද - 362) යනුවෙන් මෙහි හැම අතින්ම සංයුත වූයේ යයි දේශනා කරන ලද්දේ ද එම තැනැත්තාය. සමහරු “හික්මීම සංයමයයි. වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය ඉන්ද්‍රිය සංවරයට නමකි”යි කීහ. “දමො” යනු දමනයයි. කෙලෙස් සංසිඳවීම යයි කියන ලද්දේ වෙයි. මෙය ප්‍රඥාවට නමකි. ප්‍රඥාව වනාහි කිසියම් තැනෙක්හි “පඤ්ඤා” යන්නෙන්ම කියනු ලැබේ. “සූස්සූසා ලභතෙ පඤ්ඤං” (අසනු කැමැත්ත හේතු කොට ගෙන ප්‍රඥාව ලබයි) යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “ධර්‍මය” කියනු ලැබේ. “සච්චං ධම්මො ධිතී චාගො” යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “දම” යයි කියනු ලැබේ. “යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්‍යො න විජ්ඡති” (සත්‍යයට, ඉන්ද්‍රිය දමනයට, පරිත්‍යාගයට, ඉවසීමට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන අන් කිසිවක් නැත) ආදී තන්හිය.
මෙසේ දානාදිය දැන දැන් මේ ගාථාවෙහි අර්‍ථය මෙසේ පිඬුකොට දත යුතුය. “යස්ස ඉත්‍ථියා වා පුරිසස්ස වා දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච” යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ දානයෙන් ශීලයෙන් සංයමයෙන් දමනයෙන් යන මේ සතර ධර්‍මයන්ගෙන් - යම් සේ අමු රනින් හෝ රනින් හෝ මුතුවලින් හෝ මැණිකෙන් හෝ ධනමය නිධානයක් වේ ද ඒ රන් ආදිය එක් තැනක තැන්පත් කිරීමෙන් නිදන් කෙරේද, ඒ ආකාරයට පුණ්‍යමය “නිධි” නිධානයක් ඔවුන්ගේ දානාදිය එක් චිත්ත සන්තානයක හෝ චෛත්‍ය ආදී වස්තුවක් කෙරෙහි හෝ මැනවින් කිරීම් වශයෙන් “සුනිහිතො හොති” මනා ලෙස තැන්පත් කරන ලද්දේ වෙයි යනුයි.