තතියගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආහාරපානාදිය බොහෝ සෙයින් පිළියෙල කර ඇති කල්හි අප උදෙසා ද කිසිවක් දෙන්නේ නම් මැනැවැයි ඥාතීන් ගැන බලාපොරොත්තුවෙන් හැසිරෙන ඒ ප්‍රේතයන්ට ඔවුන් විසින් කරන ලද ඉතාමත් කටුක විපාක ගෙන දෙන කර්‍මයාගේ හේතුවෙන් කිසිම ඥාතියෙකුට සිහි කිරීම් මාත්‍රයක්වත් නොමැති බව දක්වමින්,
“පහුතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ
න තෙසං කොචි සරති සත්තානං කම්ම පච්චයා”
“බොහෝ ආහාර පාන ද ඛාද්‍ය භොජ්‍ය ද පිළියෙලව ඇති කල්හි පවා ඒ ප්‍රේත ලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුශල කර්‍ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් ඔවුන් සිහි නොකෙරෙයි”
යනුවෙන් වදාරා නැවත රජු විසින් ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන් උදෙසා දුන් දානය පසසමින් “එවං දදන්ති ඤාතීනං” යන තෙවැනි ගාථාව වදාළහ.
එහි “එවං” යනු උපමාවාචී පදයකි. එහි සම්බන්ධය දෙආකාරයකින් වේ; ඒ සත්ත්වයන්ගේ කර්‍මය හේතුවෙන් සිහි නොකරන කල්හිද යමෙක් අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ ඥාතීන්ට කිසිවක් නමුදු දෙති යයි ද “මහරජ, නුඹ විසින් යම්සේ දෙන ලද්දේ ද යමෙක් (ඥාතීන් කෙරෙහි) අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ පිරිසිදු වූ ප්‍රණීත වූ කැප වූ පාන භෝජන ඔවුන් පැමිණ සිටි කල්හි දෙති” යයි ද වේ. “දදන්ති’’ යනු දෙති, නියම කොට දෙති, පවරා දෙති. “ඤාතීනං” යනු මව්පසින් ද පියපසින් ද සම්බන්ධ වූවනට; “යෙ” යනු යම්කිසි පුත්‍රයෝ හෝ දූවරු හෝ සහෝදරයෝ හෝ; “හොන්ති” යනු වෙති. “අනුකම්පකා” යනු අර්ථය කැමති, හිතවත්තු, “සුචිං” යනු පිරිසිදු වූ දර්ශනීය වූ, මනහර වූ, ධාර්මික වූ, ධර්මානුකූලව ලැබුණු; ‘පණිතං’ යනු උතුම් ශ්‍රේෂ්ඨ; ‘කාලෙන’ යනු ඥාතී ප්‍රේතයන් පැමිණ බිත්තියෙන් පිටත ආදී තන්හි සිටි කල්හි; “කප්පියං” යනු යෝග්‍ය, සුදුසු, ආර්‍ය්‍යයන්ට පරිභෝගයට සුදුසු; “පානභොජනං” යනු පාන ද භෝජන ද; මෙහි “පානභොජන” යන්නෙන් සියලුම දිය යුතු දේ අදහස් කරන ලදී.
චතුත්ථගාථාපුබ්බද්ධවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගධාධිපති රජු විසින් ප්‍රේත වූ ඥාතීන්ට අනුකම්පාවෙන් දෙන ලද පානභෝජන පසසන්නාහු:
“එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං”
“නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද, ඔහු තුමු ඔවුන් පැමිණ සිටි කල්හි පිරිසිදු වූ ප්‍රණීත වූ, කැප වූ පාන භෝජන නෑයන් උදෙසා මෙසේ දෙත්”
යයි දේශනා කොට නැවත යම් ආකාරයකින් දෙන ලද දෙය ඔවුනට අයත් වේ ද එය දක්වන්නාහු “ඉදං වො ඤාතීනං හොතු” යන සතරවෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය වදාළහ. එය තුන්වෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය සමග “එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා ඉදංවො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යයි සම්බන්ධ කළ යුතුය.
එයින් “ඉදං වො ඤාතීනං හොතු” (මේ පින (පරලොව ගිය) ඥාතීන්ට වේවා) යයි මෙසේ දෙති. වෙනත් අයුරකින් නොවේ. මෙහි ආකාරාර්ථය ඇති “එවං” ශබ්දයෙන් දිය යුතු ආකාරය නිදසුන් කළේ වෙයි.
එහි “ඉදං” යනු දිය යුතු දෙය දැක්වීමයි. “වො” යනු “කච්චි පන වො අනුරුද්ධා සම්මග්ගා සම්මොදමානා” යයි ද “යෙහි වො අරියා” යයි ද මේ ආදී තන්හි මෙන් හුදෙක් නිපාතයක් පමණි. ඡට්ඨි විභක්ති පදයක් නොවේ. “ඤාතීනං හොතු” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට වේවා; “සුබිතා හොන්තු ඤාතයො” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීහු මේ පින් පරිභෝග කරන්නාහු සුවපත් වූවෝ වෙත්වා යනුයි.
චතුත්ථගාථාපරද්ධපඤ්චමගාථාපුබ්බද්ධවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට යම් ආකාරයකින් ඒ පින දිය යුතු ද එය “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යනුවෙන් දේශනා කොට නැවත යම් හෙයකින් “ඉදං වො ඤාතීනං හොතු” යයි කී කල්හි ද අනෙකෙකු විසින් කරන ලද කර්‍මය වෙන කෙනෙකුට ඵල දෙන්නේ නොවේද හුදෙක් වනාහී එසේ උදෙසනු ලබන ඒ පින පරලොව ගිය ඥාතීන්ට කුශල කර්මයකට හේතු වේ ද එහෙයින් යම් සේ ඒ ඤාතී ප්‍රේතයන්ට ඒ පින පදනම් කොට ගෙනම එකෙණෙහිම ඵල උපදවන කුශල කර්මයක් වේ ද එය දක්වන්නාහු; “තෙච තත්‍ථ” යන සතරවෙනි ගාථාවේ පසු අඩ ද “පහුතෙ අන්න පානම්හි” යන පස්වෙනි ගාථාවේ පෙර අඩ ද වදාළහ.
ඒ පදයන්ගේ අර්ථය:- “තෙ ඤාතිපෙතා” (ඒ ඤාති ප්‍රේතයෝ) යම් තැනක ඒ දානය දෙනු ලැබේද “තත්‍ථ” (එහි) හාත්පසින් පැමිණ; “සමාගන්ත්‍වා” එක්රැස් වී හෝ එක් තැනකට එකතු වි යයි කියන ලද්දේ වෙයි. සමං ආගතා = සමාගතා; (සමව ආවාහු = සමාගතා වේ) අපේ මේ ඥාතීහු අප සඳහා දානයක් නියම කොට දෙතියි යන මේ කාරණය සඳහා සමව ආවෝ වී යයි කියන ලද්දේ වෙයි. “පහුතෙ අන්නපානම්හි” යනු එහි තමා සඳහා උදෙසනු ලබන බොහෝ ආහාර පාන ඇති කල්හි; “සක්කච්චං අනුමොදරෙ” යනු කර්‍මඵල අදහමින් බුහුමන් කිරීම් අත් නොහරිමින් විසුරුණු සිත් ඇත්තෝ නොවී “මේ දානය අපට හිත සුව පිණිස වේවායි සතුටු වෙති. අනුමෝදන් වෙති. හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙති” යනුයි.