7. තිරොකුඩ්ඩ සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී වශයෙන් රතන සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කරන ලද තිරොකුඩ්ඩ සූත්‍රයෙහි වර්ණනා ක්‍රමය පැමිණියේය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා අර්ථ වර්ණනාව කරන්නෙමු.
එහිදී, මේ තිරෝකුඩ්ඩ සූත්‍රය වනාහී මේ පිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේ නමුදු “මෙයින් පෙර යම් මේ නොයෙක් ආකාරයෙන් කුශල කර්ම ප්‍රතිපත්ති දක්වන ලද්දේ ද එම කුශල කර්මයන්හි ප්‍රමාදයට පැමිණෙන තැනැත්තා නරක, තිරිසන් යෝනීන්ට වඩා උසස් තැනක උපදින කල්හි ද යම් හෙයකින් මෙබඳු වූ ප්‍රේතයන් අතර උපදී ද, එහෙයින් මේ කුශලකර්මයෙහි ප්‍රමාදවීම නොකළ යුතු යයි දැක්වීම සඳහාත් නැතහොත් යම් භූත කොට්ඨාසයන් විසින් උවදුරට ලක් කරන ලද විශාලාවේ එම උපද්‍රවය සංසිඳවීම සඳහා රතන සූත්‍රය දේශනා කරන ලද්දේ ද ඒ භූතයන් අතුරෙන් සමහරුන් මෙබඳු යයි දැක්වීම සඳහාත් දේශනා කරන ලද්දේය
යනුවෙන් මෙම සුත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය දත යුතුය.
අනුමොදනාකථා
යම් හෙයකින් මෙහි අර්ථ වර්ණනාව:
“යමෙකු විසින් යම් තැනකදී යම් දිනක යම් හෙයකින් තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කරන ලද්දේ ද ඒ සියල්ල ප්‍රකාශ කොට පිළිවෙලින් අර්ථ වර්ණනාව කරනු ලබන්නේ මැනවින් කරන ලද්දේ වේ. එහෙයින් මම ඒ අර්ථ වර්ණනාව එලෙසින්ම කරන්නෙමි.”
මේ තිරෝකුඩ්ඩ සූත්‍රය කවරෙකු විසින් ප්‍රකාශ කරන ලද්දේ ද? කොහිදී ද? කවදා ද? කුමක් හෙයින්දැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය වනාහී රජගහ නුවරදී දෙවන දවසෙහි මගධ රජුට අනුමෝදනාව පිණිසය. මේ අර්ථය පැහැදිලිවීම සඳහා මෙහිදී මේ විස්තර කථාව කිව යුතුය.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර කාශි නම් නුවරක් විය. එහි ජයසේන නම් රජෙක් විය. ඔහුට සිරිමා නම් දේවියක් වූවාය. ඵුස්ස නම් බෝධි සත්වයෝ ඇයගේ කුසෙහි ඉපිද පිළිවෙලින් සම්මා සම්බෝධිය අවබෝධ කළහ. ජයසේන රජ “මගේ පුතා ගිහි ගෙයින් නික්ම බුදු විය. බුදුන් වහන්සේ මගේමය. ධර්මය මගේමය, සංඝයා මගේම යයි මමත්වය උපදවා සියලු කල්හි තෙමේම උපස්ථාන කරයි. අනෙක් අයට අවස්ථාවක් නොදෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ අන්‍ය මවකගේ දරුවන් වූ සොහොයුරෝ තිදෙනා මෙසේ සිතූහ. “බුදුවරු නම් සියලු ලෝකයාට හිත පිණිස උපදිති. එක් අයෙකු සඳහා නොවේ. අපගේ පියා ද අන්‍යයන්ට ඉඩක් නොදෙයි. අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කෙසේ නම් ලබන්නෙමුද?” යනුවෙනි. ඔවුන්ට මෙසේ අදහස් විය. “එසේ නම් අපි යම්කිසි උපායක් කරමු” යනුවෙනි. ඔවුහු ප්‍රත්‍යන්තය (පිටිසර) කුපිත වූවක් මෙන් කරවූහ. ඉක්බිති රජතුමා ප්‍රත්‍යන්තය කිපියේයයි අසා පුතුන් තිදෙනාම ප්‍රත්‍යන්තය සංසිඳවීම සඳහා යැවීය. ඔවුහු සංසිඳවා ආහ. රජතුමා සතුටු වූයේය. “යමක් කැමැත්තෙහු නම් එය ගනිවු” යයි වරයක් දුනි. ඔවුහු “අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු”යි කීහ. රජතුමා “එය හැර වෙනත් වරයක් ගනිවු” යයි කීය. ඔවුහු “අපි වෙනත් වරයක් ප්‍රයෝජන නැත්තෙමු”යි කීහ. එසේ නම් දින වෙන් කොට ගෙන ගනිවු යයි (රජු කීය). ඔවුහු සත්වසරක් ඉල්ලූහ. රජු නොදුනි. මෙසේ (වසර) හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක් වශයෙන් තුන් මාසය දක්වා ඉල්ලූහ. රජතුමා “ගනිවු” යයි දුනි.
ඔවුහු වරය ලැබ අතිශයින් සතුටු වූවාහු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේට තුන් මසක් උපස්ථාන කිරීමට කැමැත්තෙමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තුන්මස වස් විසීම ඉවසා වදාරණු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීභාවයෙන් ඉවසා වදාළහ. ඉන්පසු ඔවුහු තම ජනපදයෙහි නියෝජිත පුරුෂයාට “මේ තුන් මාසය අප විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ යුතුය. විහාරය මුල්කොට භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට අවශ්‍ය සියලු දේ කරවයි හස්නක් යැවූහ. හෙතෙම ඒ සියල්ල සම්පදනය කොට ආපසු දන්වා යැවීය. ඔවුහු කසාවත් හැඳ ගත්තෝ වී වතාවත් කරන පුරුෂයන් දහසක් සමඟ භාග්‍යවතුන් වහන්සේට මැනවින් උපස්ථාන කරමින් ජනපදයට වැඩමවා විහාරය පවරා දී වාසය කරවූහ.
ඔවුන්ගේ භාණ්ඩගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් සිය බිරිඳ සහිතව සැදැහැති වූයේ තෙරුවන් කෙරෙහි පැහැදුණේ විය. හෙතෙම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්වැට සකසා දුන්නේය. ජනපදයෙහි නියෝජිත පුරුෂයා එම දන්වැට ගෙන ජනපද වාසී එකොළොස් දහසක් පමණ වූ පුරුෂයන් සමග සකසාම දානය පැවැත්වීය. එහි සමහර ජානපදිකයෝ (මෙයට) විරුද්ධ සිත් ඇත්තෝ වූහ. ඔවුහු දානයට අනතුරු කොට දිය යුතු දේ තමාම අනුභව කළහ. බත්හල ද ගින්නෙන් දැවූහ. වස් පවාරණය කළ කල්හි රාජ පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට මහත් සත්කාර කොට භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට පිය රජුගේ සමීපයට ගියහ. එහි ගොස් (කලකට පසු) භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑහ. රජතුමා ද රාජ පුත්‍රයෝ ද ජනපදයෙහි නියෝජිත පුරුෂයා ද භාණ්ඩාගාරික ද පිළිවෙලින් කළුරිය කොට පිරිස සමග ස්වර්‍ගයෙහි උපන්හ. විරුද්ධ සිත් ඇති ජනයෝ නිරයන්හි උපන්හ. මෙසේ ඒ ජන සමූහයන් දෙක ස්වර්‍ගයෙන් ස්වර්‍ගය, නිරයෙන් නිරය උපදින්නාහු කල්ප අනූ දෙකක් ඉක්ම ගියේය.
ඉක්බිති මේ භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඒ නැසුණු සිත් ඇති ජනයෝ ප්‍රේතයන් අතර උපන්හ. මිනිස්සු තමන්ගේ ඥාතීන් වූ ප්‍රේතයන් සඳහා දන් දී (මේ පින්) අපගේ ඥාතීන්ට වේවා”යි අනුමෝදන් කරති. ඔවුහු සම්පත් ලබති. ඉක්බිති මේ ප්‍රේතයෝ ද එය දැක කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කිම අපිද මෙබඳු වූ සම්පත් ලබන්නෙමුදැ”යි විචාළහ. භාග්‍යවතුන් වහන්සේ “දැන් නොලබවු, එසේ ද වුවත් අනාගතයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බිම්බිසාර නම් රජෙක් වන්නේය. හෙතෙම මෙයින් කල්ප අනූ දෙකකට පෙර නුඹලාගේ ඥාතියෙක් විය. හෙතෙම බුදුරජාණන් වහන්සේට දානයක් දී නුඹලාට පිං දෙන්නේය. එකල ලබන්නෙහු යයි වදාළහ. මෙසේ වදාළ කල්හි වනාහී ඒ ප්‍රේතයන්ට එම වචනය “හෙට (සම්පත්) ලබන්නෙහුය’යි කියන ලද්දක් මෙන් විය.