චතුත්ථගාථාපුබ්බද්ධවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගධාධිපති රජු විසින් ප්‍රේත වූ ඥාතීන්ට අනුකම්පාවෙන් දෙන ලද පානභෝජන පසසන්නාහු:
“එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං”
සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං”
“නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද, ඔහු තුමු ඔවුන් පැමිණ සිටි කල්හි පිරිසිදු වූ ප්‍රණීත වූ, කැප වූ පාන භෝජන නෑයන් උදෙසා මෙසේ දෙත්”
යයි දේශනා කොට නැවත යම් ආකාරයකින් දෙන ලද දෙය ඔවුනට අයත් වේ ද එය දක්වන්නාහු “ඉදං වො ඤාතීනං හොතු” යන සතරවෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය වදාළහ. එය තුන්වෙනි ගාථාවේ පූර්‍ව අර්‍ධය සමග “එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා ඉදංවො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යයි සම්බන්ධ කළ යුතුය.
එයින් “ඉදං වො ඤාතීනං හොතු” (මේ පින (පරලොව ගිය) ඥාතීන්ට වේවා) යයි මෙසේ දෙති. වෙනත් අයුරකින් නොවේ. මෙහි ආකාරාර්ථය ඇති “එවං” ශබ්දයෙන් දිය යුතු ආකාරය නිදසුන් කළේ වෙයි.
එහි “ඉදං” යනු දිය යුතු දෙය දැක්වීමයි. “වො” යනු “කච්චි පන වො අනුරුද්ධා සම්මග්ගා සම්මොදමානා” යයි ද “යෙහි වො අරියා” යයි ද මේ ආදී තන්හි මෙන් හුදෙක් නිපාතයක් පමණි. ඡට්ඨි විභක්ති පදයක් නොවේ. “ඤාතීනං හොතු” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට වේවා; “සුබිතා හොන්තු ඤාතයො” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීහු මේ පින් පරිභෝග කරන්නාහු සුවපත් වූවෝ වෙත්වා යනුයි.
චතුත්ථගාථාපරද්ධපඤ්චමගාථාපුබ්බද්ධවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට යම් ආකාරයකින් ඒ පින දිය යුතු ද එය “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යනුවෙන් දේශනා කොට නැවත යම් හෙයකින් “ඉදං වො ඤාතීනං හොතු” යයි කී කල්හි ද අනෙකෙකු විසින් කරන ලද කර්‍මය වෙන කෙනෙකුට ඵල දෙන්නේ නොවේද හුදෙක් වනාහී එසේ උදෙසනු ලබන ඒ පින පරලොව ගිය ඥාතීන්ට කුශල කර්මයකට හේතු වේ ද එහෙයින් යම් සේ ඒ ඤාතී ප්‍රේතයන්ට ඒ පින පදනම් කොට ගෙනම එකෙණෙහිම ඵල උපදවන කුශල කර්මයක් වේ ද එය දක්වන්නාහු; “තෙච තත්‍ථ” යන සතරවෙනි ගාථාවේ පසු අඩ ද “පහුතෙ අන්න පානම්හි” යන පස්වෙනි ගාථාවේ පෙර අඩ ද වදාළහ.
ඒ පදයන්ගේ අර්ථය:- “තෙ ඤාතිපෙතා” (ඒ ඤාති ප්‍රේතයෝ) යම් තැනක ඒ දානය දෙනු ලැබේද “තත්‍ථ” (එහි) හාත්පසින් පැමිණ; “සමාගන්ත්‍වා” එක්රැස් වී හෝ එක් තැනකට එකතු වි යයි කියන ලද්දේ වෙයි. සමං ආගතා = සමාගතා; (සමව ආවාහු = සමාගතා වේ) අපේ මේ ඥාතීහු අප සඳහා දානයක් නියම කොට දෙතියි යන මේ කාරණය සඳහා සමව ආවෝ වී යයි කියන ලද්දේ වෙයි. “පහුතෙ අන්නපානම්හි” යනු එහි තමා සඳහා උදෙසනු ලබන බොහෝ ආහාර පාන ඇති කල්හි; “සක්කච්චං අනුමොදරෙ” යනු කර්‍මඵල අදහමින් බුහුමන් කිරීම් අත් නොහරිමින් විසුරුණු සිත් ඇත්තෝ නොවී “මේ දානය අපට හිත සුව පිණිස වේවායි සතුටු වෙති. අනුමෝදන් වෙති. හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙති” යනුයි.
පඤ්චමගාථාපරද්ධඡට්ඨගාථාපුබ්බද්ධවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේත විෂයෙහි උපන් අයට යම් සේ එකෙණෙහිම ඵල උපදවන කුශල කර්මයක් වේ ද එය දක්වන්නාහු;
“තෙච තත්ථ සමාගන්ත්වා ඤාතිපෙතා සමාගතා
පහුතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ”
පහුතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ”
“ඒ ඥාති ප්‍රේතයෝ ඒ දන් දෙන තැනට නොයෙක් දිශා භාගයෙන් අවුත් එක්රැස් වූවාහු තමන් උදෙසා බොහෝ ආහාර පාන දෙනු ලබන කල්හි සකසා පින් අනුමෝදන් වෙත් හෙවත් එය අනුව සතුටු වෙත්ය”යි
දේශනා කොට නැවත ඥාතීන් නිසා හටගත් කුශල කර්ම ඵලය අනුභව කරන ඔවුන් ඥාතීන් උදෙසා ස්තූති කරන ආකාරය දක්වන්නාහු “චිරං ජීවන්තු” යන පස්වෙනි ගාථාවේ පසු අඩ ද “අම්හාකඤ්ච කතා පූජා” යන සයවෙනි ගාථාවේ පෙර අඩ ද වදාළහ.
ඒ පදයන්ගේ අර්‍ථය “චිරං ජිවන්තු” යනු බොහෝ කල් ජීවත් වන්නෝ වෙත්වා, “නො ඤාති” යනු අපගෙ ඥාතීහු; “යෙසං හෙතු” යනු යමෙක් නිසා, යමකගේ හේතුවෙන්, ‘ලාභාමසෙ’ යනු ලබමු; තමා විසින් එකෙණෙහි ලබන ලද සම්පත් සාක්ෂ්‍ය කොට දක්වමින් කියති; ප්‍රේතයන්ට වනාහී තමාගේ අනුමෝදන් වීමෙන් ද දායකයන්ගේ උදෙසීමෙන් ද දක්‍ෂිණාවට සුදුසු සම්පත්තියෙන් ද යන අඞ්ග තුනෙන් දක්ෂිණාව සමෘද්ධ වේ. එකෙණෙහිම ඵල උපදවන්නේ වේ. එහි දායකයෝ විශේෂ හේතුව වෙති. එහෙයින් “යෙසං හෙතු ලභාමසෙ” යයි කීහ. “අම්හාකඤ්ච කතා පූජා” යනු “ඉදං වො ඤාතීනං හොතු” යයි මෙසේ මේ දානය උදෙසන්නන් විසින් අපට ද පූජා කරන ලදී. “දායකාච අනිප්ඵලා” යනු යමෙකුගේ සිතෙහි පරිත්‍යාගමය කර්‍මයක් කරන ලද්දේ ද ඔහුට එහිදීම ඵලය ලබාදීම මගින් දායකයෝ ද ඵල රහිත වූවෝ නොවෙති; යනුයි.
මෙහි කීය: කිම ප්‍රේත විෂයෙහි උපන්නා වූ ඥාතීහු පමණක්ම (පින්) ලබන්නාහු ද නැතහොත් අනෙකුත් ඥාතීහු ද ලබත්ද? යනුයි. මෙහිදී අප කිවයුතු කුමක් මෙහි ඇත්තේද? ජාණුස්සෝනී බ්‍රාහ්මණයා විසින් විමසන ලද භාග්‍යවතුන් වහන්සේ ම මෙය ප්‍රකාශ කරන ලදී. මෙය වනාහී මෙසේ කියන ලද්දේ වෙයි.
“පින්වත්, ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය සහලේ නෑයන් වෙත පැමිණේවා. මේ දානය පරලොව ගිය සහලේ නෑයෝ පරිභෝග කරත්වා”යි දන්නෙමු. ශ්‍රාද්ධ (මළවුන් පිණිස දෙන දානය) කරමු. කිම, භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය පරලොව ගිය සහලේ ඥාතීන්ට පැමිණේද? කිම, ඒ පරලොව ගිය සහලේ ඥාතීහු ඒ දානය පරිභෝග කරත්ද? බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි. අස්ථානයෙහි නොපැමිණෙයි.
භවත් ගෞතමයන් වහන්ස ස්ථානය කවරේද? අස්ථානය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතමෙක් පරපණ නසන්නාහු වෙති. - පෙ - මිථ්‍යා දෘෂ්ටික වෙති. හෙතෙම කය බිඳීන්ගෙන් මරණින් පසු නිරයෙහි උපදියි. නිරිසතුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් ඔහු එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය නොපැමිණේ නම් මෙයද (එබඳු) අස්ථානයකි.