දසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ “ඉතො දින්නෙන යාපෙන්ති පෙතාකාලකතා තහිං” යයි මේ අර්ථය උපමාවන්ගෙන් දේශනා කොට නැවත - යම් හෙයකින් ඒ ප්රේතයෝ “මෙතනින් කිසිවක් ලබන්නෙමු” යි ආශාවන්ගෙන් මැඩුණාහු ඥාති ගෙවලට පැමිණ ද “මෙනම් දෙය අපට දෙවු” යයි ඉල්ලීමට අසමත් වෙත් ද එහෙයින් ඔවුන්ගේ මේ සිහි කටයුතු වස්තූන් සිහි කරමින් කුල පුත්ර තෙම දක්ෂිණාව දෙන්නේ යයි දක්වමින් “අදාසි මෙ” යන මේ ගාථාව වදාළහ.
එහි අර්ථය “මේ” මට මෙ නම් වූ ධනයක් හෝ ධාන්යක් හෝ “අදාසි” දුන්නේ යයි ද “මේ” මට මෙබඳු කාර්ය්යයක් තමා උයෝගයට පැමිණෙමින් “අකාසි” කළේ යයි ද අසවලා මගේ මව්පසින් හෝ පියපසින් සම්බන්ධ බැවින් “ඤාති” නැදැයෙක් යයි ද සෙනෙහෙ වශයෙන් ආරක්ෂා කිරීමට සමත් බැවින් “මිත්තා” මිත්රයෝ යයි ද අසවලා “මේ” මාගේ වැලි සෙල්ලම් කළ “සඛා” යහළුවා යයි ද මෙසේ සියල්ල සිහි කරන්නේ “පෙතානං දක්ඛිණං දජජා” ප්රේතයන්ට දානය පවරා දෙන්නේය යනුවෙනි. “පෙතානං දක්ඛිණා දජ්ජා” යයි අන්ය පාඨයක් ද ඇත. එහි අර්ථය: දිය යුතු බැවින් = දජ්ජා වේ ඒ කවරී ද යත්? ප්රේතයන්ගේ දක්ෂිණාවයි. එයින් “අදාසි මෙ” යනාදී ක්රමයෙන් “පුබ්බෙ කතමනුස්සරං” (ඒ ඥාති ප්රේතයන්) පෙර කළ උපකාර සිහි කරන්නා විසින් යයි කියන ලද්දේ වෙයි. කරණ විභක්තිය වෙනුවට ප්රථමා විභක්තිය (යෙදුණු බව) දත යුතුය.
එකාදසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ ප්රේතයන්ට දක්ෂිණා පිරිනැමීමෙහි හේතු වූ සිහි කළ යුතු වස්තු දක්වන්නාහු;
“අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ
පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං”
පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං”
“මට මෙබඳු ධනයක් හෝ ධාන්යයක් හෝ දුන්නේ යයි ද මේ කටයුත්ත කළේ යයි ද මොහු මගේ නෑයා යයි ද මිත්රයෝ යයි ද (වැලි කෙළියේ පටන්) මගේ යහළුවා යයි ද මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේය”යි.
වදාරා නැවත - යමෙක් ඥාති මරණයෙන් හැඩීම් ශෝක කිරීම් ආදියෙහි නිතර වූවෝ ව වී සිටිත් ද ඒ ඥාතීන් උදෙසා කිසිවක් නොදත් ද ඔවුන්ගේ ඒ හැඩීම් ශෝක කිරීම් ආදිය හුදෙක් තමා තැවීමක් පමණක් ම වේ ද ප්රේතයන්ට කිසිදු අර්ථයක් සිදු නොකෙරේය යි දක්මින් “නහි රුණ්ණංව” යන මේ ගාථාව වදාළහ.
එහි “රුණ්ණං” යනු හැඬීම, හැඬූ බව, කඳුළු හෙළීමයි; මෙයින් කායික පරිශ්රමය දැක්වේ. ‘සොකො’ යනු ශෝක කිරිමයි. ශෝක කළ බවයි. මෙයින් චිත්ත පරිශ්රමය දක්වයි. “පරිදෙවනා” යනු ඥාති ව්යසනයෙන් ස්පර්ශ වූවහුගේ දෙඩවීමයි. “ප්රිය මනාප වූ එකම දරුව, නුඹ කොහේද?” මේ ආදී වශයෙන් ගුණ වැණීමයි. මෙයින් වචී පරිශ්රමය දක්වයි.
ද්වාදසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ - හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ “යා චඤ්ඤා” යම් වෙනත් වැළපීමක් වේ ද ඒ සියල්ලම “තං පෙතානං අත්ථාය න” ප්රේතයන්ට ප්රයෝජනය සඳහා නොවේ. හුදෙක් වනාහී තමාගේ තැවීම පමණක්මය. “එවං තිට්ඨන්ති ඤාතයො” ඥාතීහු සිටි අයුරින්ම සිටිත් යයි හැඬීම් ආදියෙහි නිරර්ථකභාවය දක්වා නැවත මගධ රජු විසින් යම් දක්ෂිණාවක් දෙන ලද්දේ ද එහි සාර්ථකභාවය දක්වන සේක් “අයඤ්ච ඛො දක්ඛිණා” යන මේ ගාථාව වදාළහ.
එහි අර්ථය : “මහරජ, නුඹ විසින් අද තමාගේ ඥාතී සමූහයා උදෙසා “අයඤ්ච ඛො දක්ඛිණා” මේ දක්ෂිණාවක් “දින්නා” දෙන ලද්දේ ද එය - යම් හෙයකින් සංඝයා ලෝකයාට අනුත්තර පුණ්ය ක්ෂේත්රයක් වේ ද එහෙයින් “සංඝම්හි සුප්පතිට්ඨිතා අස්ස” සංඝයා කෙරෙහි මැනවින් පිහිටියා වන්නීය. ප්රේත ජනයාට “දීඝ රතනං හිතාය උපකප්පති” බොහෝ කාලයක් හිත පිණිස එළඹේ. (ඔවුන්ගේ බලාපොරොත්තු) සමෘද්ධ වේ. ඵල දරයි යනුවෙන් වදාරන ලද්දේ වෙයි. එළඹෙන්නේ ද “ඨානසො” ස්ථාන වශයෙන් එළඹේ. එකෙණහිම එළඹේ. බොහෝ කලකින් නොවේ. යම් සේ එකෙණහිම වැටහෙන්නේ “ඨානසො චෙතං තථාගතං පටිභාති” යයි කියනු ලැබේ ද ඒ අයුරින්ම මෙහිද එකෙණෙහිම එළඹීම “ඨානසො උපකප්පති” යයි කියන ලදී. නැතහොත් “බ්රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය එළඹේ ද මේ ඒ ස්ථානය යයි යමක් වදාරන ලද්දේ ද එහි ඛුප්පිපාසික, වන්තාස, පරදත්තූපජීවි, නිජ්ඣාමතණ්හිකා ආදී ප්රභේද ගත ස්ථානයන්හි එළඹේ යයි කියන ලද්දේ වෙයි. යම්සේ කහවණුවක් දෙන්නේ “කහපණසො දදාති” යයි ලෝකයෙහි කියනු ලැබේ ද එලෙසිනි. මේ විකල්පාර්ථයෙහි ද “උපකප්පති” යන්නෙන් පහළ වේ. උපදී යයි කියන ලද්දේ වෙයි.
තෙරසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ රජතුමා විසින් දෙන ලද දක්ෂිණාවෙහි සාර්ථකභාවය දක්වන්නාහු :