එකාදසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ ප්රේතයන්ට දක්ෂිණා පිරිනැමීමෙහි හේතු වූ සිහි කළ යුතු වස්තු දක්වන්නාහු;
“අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ
පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං”
පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං”
“මට මෙබඳු ධනයක් හෝ ධාන්යයක් හෝ දුන්නේ යයි ද මේ කටයුත්ත කළේ යයි ද මොහු මගේ නෑයා යයි ද මිත්රයෝ යයි ද (වැලි කෙළියේ පටන්) මගේ යහළුවා යයි ද මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේය”යි.
වදාරා නැවත - යමෙක් ඥාති මරණයෙන් හැඩීම් ශෝක කිරීම් ආදියෙහි නිතර වූවෝ ව වී සිටිත් ද ඒ ඥාතීන් උදෙසා කිසිවක් නොදත් ද ඔවුන්ගේ ඒ හැඩීම් ශෝක කිරීම් ආදිය හුදෙක් තමා තැවීමක් පමණක් ම වේ ද ප්රේතයන්ට කිසිදු අර්ථයක් සිදු නොකෙරේය යි දක්මින් “නහි රුණ්ණංව” යන මේ ගාථාව වදාළහ.
එහි “රුණ්ණං” යනු හැඬීම, හැඬූ බව, කඳුළු හෙළීමයි; මෙයින් කායික පරිශ්රමය දැක්වේ. ‘සොකො’ යනු ශෝක කිරිමයි. ශෝක කළ බවයි. මෙයින් චිත්ත පරිශ්රමය දක්වයි. “පරිදෙවනා” යනු ඥාති ව්යසනයෙන් ස්පර්ශ වූවහුගේ දෙඩවීමයි. “ප්රිය මනාප වූ එකම දරුව, නුඹ කොහේද?” මේ ආදී වශයෙන් ගුණ වැණීමයි. මෙයින් වචී පරිශ්රමය දක්වයි.
ද්වාදසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ - හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ “යා චඤ්ඤා” යම් වෙනත් වැළපීමක් වේ ද ඒ සියල්ලම “තං පෙතානං අත්ථාය න” ප්රේතයන්ට ප්රයෝජනය සඳහා නොවේ. හුදෙක් වනාහී තමාගේ තැවීම පමණක්මය. “එවං තිට්ඨන්ති ඤාතයො” ඥාතීහු සිටි අයුරින්ම සිටිත් යයි හැඬීම් ආදියෙහි නිරර්ථකභාවය දක්වා නැවත මගධ රජු විසින් යම් දක්ෂිණාවක් දෙන ලද්දේ ද එහි සාර්ථකභාවය දක්වන සේක් “අයඤ්ච ඛො දක්ඛිණා” යන මේ ගාථාව වදාළහ.
එහි අර්ථය : “මහරජ, නුඹ විසින් අද තමාගේ ඥාතී සමූහයා උදෙසා “අයඤ්ච ඛො දක්ඛිණා” මේ දක්ෂිණාවක් “දින්නා” දෙන ලද්දේ ද එය - යම් හෙයකින් සංඝයා ලෝකයාට අනුත්තර පුණ්ය ක්ෂේත්රයක් වේ ද එහෙයින් “සංඝම්හි සුප්පතිට්ඨිතා අස්ස” සංඝයා කෙරෙහි මැනවින් පිහිටියා වන්නීය. ප්රේත ජනයාට “දීඝ රතනං හිතාය උපකප්පති” බොහෝ කාලයක් හිත පිණිස එළඹේ. (ඔවුන්ගේ බලාපොරොත්තු) සමෘද්ධ වේ. ඵල දරයි යනුවෙන් වදාරන ලද්දේ වෙයි. එළඹෙන්නේ ද “ඨානසො” ස්ථාන වශයෙන් එළඹේ. එකෙණහිම එළඹේ. බොහෝ කලකින් නොවේ. යම් සේ එකෙණහිම වැටහෙන්නේ “ඨානසො චෙතං තථාගතං පටිභාති” යයි කියනු ලැබේ ද ඒ අයුරින්ම මෙහිද එකෙණෙහිම එළඹීම “ඨානසො උපකප්පති” යයි කියන ලදී. නැතහොත් “බ්රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය එළඹේ ද මේ ඒ ස්ථානය යයි යමක් වදාරන ලද්දේ ද එහි ඛුප්පිපාසික, වන්තාස, පරදත්තූපජීවි, නිජ්ඣාමතණ්හිකා ආදී ප්රභේද ගත ස්ථානයන්හි එළඹේ යයි කියන ලද්දේ වෙයි. යම්සේ කහවණුවක් දෙන්නේ “කහපණසො දදාති” යයි ලෝකයෙහි කියනු ලැබේ ද එලෙසිනි. මේ විකල්පාර්ථයෙහි ද “උපකප්පති” යන්නෙන් පහළ වේ. උපදී යයි කියන ලද්දේ වෙයි.
තෙරසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ රජතුමා විසින් දෙන ලද දක්ෂිණාවෙහි සාර්ථකභාවය දක්වන්නාහු :
“අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා
දීඝරත්තං හිතාය’ස්ස ඨානසො උපකප්පති”
දීඝරත්තං හිතාය’ස්ස ඨානසො උපකප්පති”
“මේ දක්ෂිණාව සංඝයා කෙරෙහි මැනවින් පිහිටියේ වන්නේය. එහෙයින් එය ප්රේත සමූහයාට දීර්ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. එකෙණෙහිම පහළවීම් වශයෙන් විපාක දෙයි”
යයි වදාරා නැවත - යම් හෙයකින් මේ දක්ෂිණාව දෙන තැනැත්තා විසින් ඥාතීන්ට ඥාතීන් විසින් කළ යුතු කාර්යය කිරීම් වශයෙන් ඥාති ධර්මය නිදර්ශනය කළේ ද බොහෝ ජනයාට ප්රකට කළේ ද නැතහොත් “නුඹලා විසින් ඥාතින්ට මේ ආකාරයට ඥාතීන් විසින් කළ යුතු කාර්ය්ය කිරීම් වශයෙන් ඥාති ධර්මය සම්පූර්ණ කළ යුතුය, නිරර්ථක හැඬීම් ආදියෙන් තමා තැවීමට පත් නොකළ යුතු යයි පෙන්වා දීමක් කරන ලද්දේ ද, ඒ ප්රේතයන්ට දිව්ය සම්පත් ලබා දෙන්නා විසින් ප්රේතයන්ට උදාර පූජාවක් කරන ලද්දේ ද බුද්ධ ප්රමුඛ සංඝයාට ආහාර පාන ආදියෙන් සන්තර්පනය කරන්නා විසින් භික්ෂූන්ට බලයක් දෙන ලද්දේ ද අනුකම්පා ආදී ගුණයන්ගෙන් පිරිවරන ලද පරිත්යාග චේතනාව උපදවා ගත් තැනැත්තා විසින් අනල්ප වූ පිනක් උපදවා ගන්නා ලද්දේ ද එහෙයින් භාග්යවතුන් වහන්සේ මේ සත්ය වූ ගුණයන් කරණ කොට ගෙන රජතුමාට ප්රශංසා කරන්නාහු
“සො ඤාති ධම්මොච අයං නිදස්සිතො” යන මේ ගාථා පදයෙන් රජුට; දැහැමි කථාවෙන් මැනවින් (කරුණු) දක්වති. ඥාතිධර්ම නිදර්ශනයම මෙහි සංදර්ශනයයි. “පෙතනං පූජා ච කතා උළාරා” යන මෙයින් සමාදන් කරවති. “උළාරා” යයි ප්රශංසා කිරිමට මෙහි නැවත නැවත පූජා කිරීමෙහි යෙදවීමයි. “බලඤ්ච භික්ඛුනමනුප්පදින්නං” යන මෙයින් උත්සාහවත් කරයි. බලය දීමම වන මෙහි වනාහී මෙසේ ප්රකාශ කිරීම බලය දීමෙහි උත්සාහය වර්ධනය කිරීමෙන් උත්තේජනයට පත් කිරීමයි. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං” යන මෙයින් සතුටු කරවයි. පින්රැස් කිරීම පසසන්නා වූ ම මෙහි වනාහි ඔහුගේ පවතින ගුණ සංවර්ණනා කිරීම් වශයෙන් සතුට ඇති කිරීමෙන් සතුටට පත් කිරීම යයි දත යුතුය.
දේශනාව කෙළවර ප්රේත විෂයෙහි ඉපදීමේ ආදීනව වර්ණනා කිරිමෙන් සංවේගයට පත් නුවණින් ස්ථිරව පිහිටි අසූහාර දහසක් ප්රාණින්ට ධර්මාවබෝධය විය. දෙවන දවසේ ද භාග්යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට මේ තිරොකුඩ්ඩ සූත්රයම දේශනා කළහ. මෙසේ සත්වෙනි දින දක්වා එබඳුම ධර්මාවබෝධයක් විය.
තිරොකුඩ්ඩ සූත්ර වර්ණනාව නිමියේය.
8. නිධිකණ්ඩ සූත්රය වර්ණනාව
නික්ඛෙපකාරණං
දැන් ඉදින් මේ තිරොකුඩ්ඩ සූත්රයෙන් අනතුරුව “නිධිං නිධෙති පුරිසො” (පුරුෂතෙම නිධානයක් තැන්පත් කෙරේ) යි ආදී වශයෙන් නිධිකණ්ඩ සූත්රය ඇතුළත් කරන ලද්දේ ද එහි :
“නිධිකණ්ඩ සූත්රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා දේශනා කිරීමට හේතුව හෙවත් නිදානය පැහැදිලි කොට අර්ථ වර්ණනාව කරන්නෙමි”