යෙ පුග්ගලාතිගාථාවණ්ණනා
මෙසේ මාර්ග ධර්ම ගුණය කරණ කොට ගෙන ද සත්‍යය වදාරා දැන් සංඝ ගුණය කරණ කොට ගෙන ද දේශනා කිරීමට “යෙ පුග්ගලා” යයි අරඹන ලදී. එහි “යෙ” යනු නියම නොකොට දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨ” යනු ඔවුන්ගේ සඞ්ඛ්‍යාව වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහි (මාර්ගයට) පිළිපන් පුද්ගලයෝ සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි පුද්ගලයෝ සතර දෙනෙක් ද වශයෙන් අටක් වෙති. “සතං පසත්ථා” යනු සත් පුරුෂයන් විසින් ද බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ ශ්‍රාවකයන් විසින් ද අනෙකුත් දෙවි මිනිසුන් විසින් ද ප්‍රශංසා කරන ලද; කුමක් හෙයින්ද? සහජශීලාදි ගුණයන්ගෙන් යුක්ත හෙයිනි. ඔවුන්ට වනාහී සපු, මූනමල් ආදී මල සහජාත වර්ණ ගන්ධ ආදිය මෙන් සහජාත ශීලසමාධි ආදී ගුණයෝ වෙති. එහෙයින් වර්ණයෙන් හා සුවඳින් යුත් මල් මෙන් ඔවුහු දෙවි මිනිසුන් ආදී සත් පුරුෂයන්ට ප්‍රිය වූවෝ ද මනාප වූවෝ ද ප්‍රශංසා ලැබුවෝ ද වෙති. එහෙයින් “යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා” යි කියන ලදී.
නැතහොත් “යෙ” යනු අනියමින් දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨසතං” යනු ඔවුන්ගේ ගණන වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහී ඒකබීජ, කෝලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් ද කාම, රූප, අරූප, භවයන්හි අවබෝධ කරගත් ඵල ඇති සකෘදාගාමීහු තිදෙනෙක් ද වෙති. ඒ සියලු දෙනාම ප්‍රතිපදා හතරට අනුව විසි හතරකි. අන්තරා පරිනිබ්බායී, උපහච පරිනිබ්බායී, සඞ්ඛාර පරිනිබ්බායී, අසඞ්ඛාර පරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වශයෙන් අවිහ බ්‍රහ්ම ලෝකයන්හි අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ද අතප්ප, සුදස්ස, සුදස්සී බ්‍රහ්ම ලෝකයන්හි පස් දෙනෙක් බැගින් ද අකනිටා බ්‍රහ්ම ලෝකයන්හි උද්ධංසෝත හැර අනාගාමීහු සතර දෙනෙක් ද වශයෙන් අනාගාමීහු විසි හතර දෙනෙකි. ශුෂ්ක විදර්ශක, සමථයානික වශයෙන් රහත්හු දෙදෙනෙකි. මාර්ගස්ථයෝ සතර දෙනෙකු වශයෙන් සියල්ල පනස් හතර දෙනෙකි. ඒ සියලු දෙනාම ශ්‍රද්ධාධුර, ප්‍රඥා ධූර වශයෙන් දෙගුණ වී එකසිය අටක් වෙති. ඉතිරිය කියන ලද පරිදිමය.
“චත්තාරි එතානි යුගානි හොන්ති” යනු ඒ අටක් හෝ එකසිය අටක් යයි විස්තර වශයෙන් දක්වන ලද පුද්ගලයෝ සියල්ලෝම කෙටියෙන් “සෝවාන් මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් එක් යුගලයකි.” යන්නෙහි සිට අරහත් මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් එක් යුගලයකි යන්න දක්වා යුගල හතරක් වෙති. “තෙ දක්ඛිණෙය්‍යා” යන මෙහි “තෙ” යනු පෙර අනියමින් දැක්වූ පුද්ගලයන් නියම කොට දැක්වීමයි; යම් පුද්ගලයෝ විස්තර වශයෙන් අටක් හෝ එකසිය අටක් වෙතියි කියා හෝ කෙටියෙන් යුගල හතරක් වෙතියි කියන ලද්දාහු ද ඒ සියල්ලෝම දක්‍ෂිණාවට සුදුසු වෙතියි දක්ඛිණෙය්‍ය වේ. දක්‍ෂිණා නම් කර්මය ද කර්ම විපාකය ද අදහා “මෙතෙමේ මාගේ මේ වෛද්‍ය කර්මය හෝ පණිවිඩ ගෙන යාම කරන්නේ යයි මේ ආදිය බලාපොරොත්තු නොවී දෙනු ලබන දෙය්‍ය ධර්‍මයයි. ඒ “අරහ” නම් වූ ශීලාදි ගුණයෙන් යුත් පුද්ගලයෝය. මොවුහුද එබඳු වෙති. එහෙයින් “දක්ඛිණෙය්‍ය” යයි කියනු ලැබේ.
“සුගතස්ස සාවකා” යන්නෙහි භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමනින් යුක්ත බැවින් ද, ශෝභන වු තැනට ගිය බැවින් ද, මැනවින් ගිය බැවින් ද, මනාවූම තෙපුල් ඇති බැවින් ද, “සුගතො” වේ. ඒ සුගතයන් වහන්සේගේ; ඒ සියල්ලෝම (සුගතයන් වහන්සේගේ) වචනය අසත්නුයි = සාවක වේ. ඒකාන්තයෙන්ම අන්‍යයෝ ද අසති. එහෙත් අසා කළ යුතු කාර්‍ය්‍ය නොකරති. මොවුහු වනාහී අසා කළ යුතු ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය අනුගමනය කොට මාර්‍ග ඵලයන්ට පත් වූවෝය. එහෙයින් “ශ්‍රාවකයෝ” යයි කියනු ලැබෙත්. “එතෙසු දින්නානි මහප්ඵලානි” යනු මේ සුගත ශ්‍රාවකයන් කෙරෙහි දුන්නා වූ ස්වල්ප වූ දානය පවා ප්‍රතිග්‍රාහක වශයෙන් දක්‍ෂිණා විසුද්ධිභාවයට එළඹි හෙයින් මහත්ඵල වේ. එහෙයින් සූත්‍රාන්තරයෙහි ද
“මහණෙනි, සංඝයා හෝ සමූහයා හෝ යම් පමණ වේ ද ඔවුන් අතුරින් යම් මේ පුරුෂ යුගල වශයෙන් හතරක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටක් ද වූ තථාගත ශ්‍රාවක සංඝයා අග්‍ර යයි කියනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා - පෙ - අග්‍ර විපාක ඇත්තේ වේ” යයි වදාරන ලදී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මාර්ගස්ථ, ඵලස්ථ සියල්ලගේ ද වශයෙන් සංඝ රත්නයෙහි ගුණ දේශනා කොට දැන් ඒ ගුණයම ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කියන ලද ක්‍රමයටම දත යුතුය. මේ ගාථාවේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.
යෙ සුප්පයුත්තාතිගාථාවණ්ණනා
මෙසේ මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් සඟ ගුණ කරණ කොටගෙන සත්‍යය වදාරා දැන් එම සංඝයා අතුරින් ඵල සමාපත්ති අනුභව කරන ක්‍ෂීණාශ්‍රව පුද්ගලයන්ගේම ගුණය කරණ කොට ගෙන “යෙ සුප්පයුත්තා” යි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ” යනු අනියමින් දැක්වීම කරන වචනයකි. “සුප්පයුත්තා” යනු මැනවින් යෙදුණු; නොයෙක් ආකාර වූ අනෙසනයන් (අයෝග්‍ය ජීවිකාව) අත් හැර පිරිසිදු ජීවිතය ඇසුරු කොට විදර්ශනාව සඳහා සිත යෙදීමට ආරම්භ කළ යන අර්‍ථයයි. නැතහොත් “සුප්පයුත්තා” යනු සුපිරිසිදු කායවචී ප්‍රයෝගයන්ගෙන් යුක්ත වූවෝ; එයින් ඔවුන්ගේ ශීලස්කන්ධය දක්වයි. “මනසා දළ්හෙන” යනු දැඩි වූ මනසින් ස්ථිර සමාධියෙන් යුත් සිතින් යන අර්‍ථයයි. එයින් ඔවුන්ගේ සමාධි ස්කන්ධය දක්වයි. “නික්කාමිනො” යනු කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂා නැත්තෙක්ව ප්‍රඥාව මූලික වූ වීර්‍ය්‍යයෙන් සියලු ක්ලේශයන්ගෙන් කළ නික්මීම් ඇත්තේ, එයින් ඔවුන්ගේ වීර්‍ය්‍ය සම්පන්න ප්‍රඥා ස්කන්ධය දක්වයි.