යෙ සුප්පයුත්තාතිගාථාවණ්ණනා
මෙසේ මාර්ගස්ථ ඵලස්ථ වශයෙන් සඟ ගුණ කරණ කොටගෙන සත්යය වදාරා දැන් එම සංඝයා අතුරින් ඵල සමාපත්ති අනුභව කරන ක්ෂීණාශ්රව පුද්ගලයන්ගේම ගුණය කරණ කොට ගෙන “යෙ සුප්පයුත්තා” යි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ” යනු අනියමින් දැක්වීම කරන වචනයකි. “සුප්පයුත්තා” යනු මැනවින් යෙදුණු; නොයෙක් ආකාර වූ අනෙසනයන් (අයෝග්ය ජීවිකාව) අත් හැර පිරිසිදු ජීවිතය ඇසුරු කොට විදර්ශනාව සඳහා සිත යෙදීමට ආරම්භ කළ යන අර්ථයයි. නැතහොත් “සුප්පයුත්තා” යනු සුපිරිසිදු කායවචී ප්රයෝගයන්ගෙන් යුක්ත වූවෝ; එයින් ඔවුන්ගේ ශීලස්කන්ධය දක්වයි. “මනසා දළ්හෙන” යනු දැඩි වූ මනසින් ස්ථිර සමාධියෙන් යුත් සිතින් යන අර්ථයයි. එයින් ඔවුන්ගේ සමාධි ස්කන්ධය දක්වයි. “නික්කාමිනො” යනු කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂා නැත්තෙක්ව ප්රඥාව මූලික වූ වීර්ය්යයෙන් සියලු ක්ලේශයන්ගෙන් කළ නික්මීම් ඇත්තේ, එයින් ඔවුන්ගේ වීර්ය්ය සම්පන්න ප්රඥා ස්කන්ධය දක්වයි.
“ගොතම සාසනම්හි” යනු ගෝත්ර වශයෙන් ගෝතම වූ තථාගතයන් වහන්සේගේම ශාසනයෙහි; එයින් මේ ගෞතම ශාසනයෙන් බාහිර නොයෙක් ආකාර වූ අමර තපස් කරන්නවුන්ගේ සුප්රයෝග ආදී ගුණ නොමැති බැවින් කෙලෙස්වලින් නික්මීමක් නොමැති බව දක්වයි “තෙ” යනු පෙර සඳහන් කළ අය දක්වන වචනයයි; “පත්ති පත්තා” යන මෙහි පැමිණිය යුතු බැවින් පත්ති වේ. පැමිණිය යුතු යනු යම් තත්ත්වයකට පැමිණ අත්යන්තයෙන් ක්ලේශ ඕඝයන්ගෙන් නිදහස් වූවෝ වෙත් ද ඒ තත්ත්වයට පැමිණීමට සුදුසු යනුයි. මෙය අර්හත්ඵලයට නමකි. ඒ පැමිණිය යුතු තැනට පැමිණියේනුයි. “පත්තිපත්තා” වේ. “අමතං” යනු නිර්වාණයයි. “විගය්හ” යනු අරමුණු වශයෙන් බැසගෙන; ‘ලද්ධා’ යනු ලැබ, ‘මුධා’ යනු වැය නොකිරීමෙන්, තුට්ටුවක්වත් වැය නොකොට; නිබ්බුතිං යනු සංසිඳවාලන ලද කෙලෙස් දාහය ඇති ඵල සමාපත්තිය; “භුඤ්ජමානා” යනු අනුභව කරමින්; කුමක් කියන ලද්දේ වේ ද? යමෙක් මේ ගෞතම ශාසනයෙහි ශීල සම්පන්නභාවයෙන් එහි මැනවින් යෙදුණේ වී; සමාධි සම්පන්න භාවයෙන් දැඩි වූ මනසින්, ප්රඥා සම්පන්න භාවයෙන් ක්ලේශයන්ගෙන් තොර වූවෝ වෙත්ද ඔවුහු මේ යහපත් ප්රතිපදාවෙන් නිවනට බැස නොමිලේ ලැබූ ඵල සමාපත්ති සඞ්ඛ්යාත නිර්මාණ සැපය අනුභව කරන්නාහු “පත්තිපත්තා” (පැමිණිය යුතු තැනට පැමිණි) නම් වෙති යනුයි.
මෙසේ භාග්යවතුන් වහන්සේ ඵල සමවත් සුවය අනුභව කරන ක්ෂීණාශ්රව පුද්ගලයන්ගේම වශයෙන් සංඝ රත්නයෙහි ගුණ දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සත්යය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී ක්රමයටම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්ෂයක් සක්වල අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
යථින්දඛීලොතිගාථාවණ්ණනා
මෙසේ ක්ෂීණාශ්රව පුද්ගලයන්ගේ ගුණය කරණ කොට ගෙන සංඝයා මූලික කොට ගත් සත්යය දේශනා කොට දැන් බොහෝ ජනයාට ප්රත්යක්ෂ වූ සෝවාන් ඵලයට පත් තැනැත්තාගේ ගුණය කරණ කොටගෙන “යථින්ද ඛීලො” යයි දේශනා කිරීම ආරම්භ කළහ. එහි “යථා” යනු උපමාවාචී පදයකි. “ඉන්ද්රඛීලො” යනු නගරයේ දොර රැඳවීම සඳහා එළිපත්ත ඇතුළත රියන් අටක් හෝ දහයක් පොළොව සාරා සිටුවන ලද හරවත් දාරුමය ටැඹකට නමකි. “පඨවිං” යනු භූමියයි, “සිතො” යනු ඇතුළට පිවිස සිටි; “සියා” යනු වන්නේය; “චතුබ්හි වාතෙහි” යනු සතර දිශාවෙන් පැමිණි සුළඟින්, “අසම්පකම්පියො” යනු කම්පා කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකිවන්නේ, “තථූපමං” යනු එබඳු වූ ‘සප්පුරිසං’ යනු උත්තම පුරුෂයා; ‘වදාමි’ යනු කියමි; “යො අරිය සච්චානි අවෙච්ච පස්සති” යනු යමෙක් චතුරාර්ය්ය සත්යය ප්රඥාවෙන් බැස බලත්ද; එහි ආර්ය්ය සත්යයන් කුමාර ප්රශ්නයෙහි කී අයුරින්ම දත යුතුය.