6. රතන සූත්රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් “යානීධ භූතානි” යන මේ ආදී වශයෙන් මංගල සූත්රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති රතන සූත්රයෙහි අර්ථ වර්ණනා ක්රමය පැමිණියේය. එම සූත්රය මෙහි ඇතුළත් කිරීමේ ප්රයෝජනය කියා ඉන් අනතුරුව සුපිරිසිදු තොටකින් ගඞ්ගා විල් ආදියෙහි ජලයට බැස ගැනීමක් මෙන් පිරිසිදු නිදාන කථාවෙන් මෙම සූත්රයේ අර්ථයට බැස ගැනීම දැක්වීම සඳහා,
මේ රතන සූත්රය යමෙකු විසින් යම් දිනක යම් තැනක දී යම් හෙයිකින් කියන ලද්දේ ද යන මේ පිළිවෙළ කියා මේ සූත්රයට අර්ථ වර්ණනාව කරන්නෙමි,
එහි යම් හෙයකින් මංගල සූත්රයෙන් ආත්මාරක්ෂාවත්, අයහපත් දේ කිරීම හා යහපත් දේ නොකිරීමට හේතු වන උපද්රවයන්ගේ නැසීම දක්වන ලද්දේ ද මේ රතන සූත්රය ද පරාරක්ෂාවත් අමනුෂ්යාදි හේතුන්ගෙන් වන උපද්රවය නැසීම සිදු කෙරේ ද එහෙයින් ඒ මංගල සූත්රයෙන් අනතුරුව ඇතුළත් කළේ වන්නේය
යන මේ කරුණ පළමුකොට මේ සූත්රය මෙහි ඇතුළත් කිරීමේ ප්රයෝජනයයි.
වෙසාලිවත්ථු
දැන් “යෙන යදා යත්ථ යස්මා චෙතං” යයි යමක් මෙහි කීවේද (එයට පිළිතුරු කියනු ලැබේ) කවරෙකු විසින් වනාහි මේ සූත්රය කියන ලද්දේ ද? කවදා, කොහිදී, කුමක් හෙයින් කියන ලද්දේ ද? මෙය වනාහී භාග්යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලදී. ශ්රාවකාදීන් විසින් නොවේ. එයද යම් දිනක දුර්භීක්ෂාදී උපද්රවයන්ගෙන් පීඩාවට පත් විශාලාවේ ලිච්ඡවීන් විසින් ආරාධනා කරනු ලැබ භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සිට විශාලා මහනුවරට වැඩම කරවන ලද්දාහු එකල්හි විශාලා නුවරදී ඔවුන්ගේ උපද්රව නැති කරනු සඳහා දේශනා කරන ලදී. මේ ඒ ප්රශ්නයන්ගේ කෙටියෙන් විසඳීමයි. විස්තර වශයෙන් වනාහි විශාලා වස්තුවේ සිට පෝරාණයන් විසින් වර්ණනා කරනු ලැබේ.
මේ එහි වර්ණනාවයි - බරණැස රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ගැබක් පිහිටීය. ඇය එය දැන රජුට දැන්වීය. රජ ගැබ් පෙළහර දුනි. ඇය මැනවින් පරිහරණය කරන ගැබ් ඇත්තී ගැබ පිරිපුන් කල්හි සූතිකාගාරයට පිවිසියාය. පිනැත්තියන්ගේ දරුවා බිහිවීම අළුයම් කාලයෙහි වෙයි. ඇයද පිනැත්තියන්ගෙන් කෙනෙකි. එමනිසා අළුයම් වේලාවෙහි ලාකඩ වැස්මක් සහිත බදු වද මලක් බඳු මාංශ පේශියක් බිහි කළාය. ඉන්පසු “අනෙක් දේවීහු රන් පිළි රූ සමාන පුතුන් බිහි කරති. අග මෙහෙසිය බිහි කළේ මස් වැදැල්ලකැ”යි රජු ඉදිරියෙහි මා පිළිබඳව දෝෂාරෝපණ උපදින්නේ යයි සිතා ඒ දෝෂාරෝපණයන්ට බියෙන් ඒ මස් වැදැල්ල එක් භාජනයක දමා වෙනෙකකින් වසා රාජ මුද්රාවෙන් මුද්රා තබා ගඞ්ගා දියෙහි පා කර හැරියාය. මිනිසුන් මුදාහළ කෙණෙහිම දෙවියෝ ආරක්ෂාව සැපයූහ. රන් පටක රත්හිරියල්වලින් “බරණැස් රජුගේ අග මෙහෙසියගේ දරුවෝ යයි ලියා එහි බැන්දාහ. ඉක්බිති දියරැලි බිය ආදියෙන් උවදුරට පත් නොවූ ඒ භාජනය ගඟදිය පහරින් ගසාගෙන ගියේය.
එකල්හි එක්තරා තාපසයෙක් ගොපලු කුලයක් ඇසුරු කොට ගං තෙර වසයි. හෙතෙම උදැසනම ගඟට බැස්සේ ඒ භාජනය ගසාගෙන එනු දැක පාංශුකූල සංඥාවෙන් හෙවත් අයිතිකරුවෙකු නැතැයි යන හැඟීමෙන් ගත්තේය. ඉක්බිති එහි අක්ෂර පත්රිකාවත් රාජ මුද්රිකා ලාඤ්ඡනයත් දැක විවෘත කොට එහි ඇති ඒ මස් වැදැල්ල දිටීය. දැක ඔහුට මෙසේ සිත් විය. “දරු ගැබක් විය යුතුය. එසේ වුවත් මෙහි දුගඳක් හෝ කුණු වූ බවක් හෝ නොමැත.” යනුවෙනි. අසපුවට ගෙන ගොස් පිරිසිදු තැනක තැබීය. ඉක්බිති අඩමසක් ඇවෑමෙන් එය මස් වැදලි දෙකක් බවට පත්විය. තාපසයා එය දැක වඩාත් හොඳින් තැන්පත් කර තැබීය. ඉක්බිති නැවත අඩ මසක් ඇවෑමෙන් එක් එක් වැදැල්ලක අත් පා හිස සඳහා බිබිලි පහ බැගින් පැන නැංගේය. ඉක්බිති තවත් අඩ මසක් ඇවෑමෙන් එක් මස් වැදැල්ලක් රන් පිළිමයක් සමාන දරුවෙක් විය. අනෙක දැරියක් වූවාය. ඔවුන් කෙරෙහි තාපසයාට දරු සෙනෙහස පහළ විය. ඔහුගේ ඇඟිල්ලෙන් කිරි එරුණි. එතැන් පටන් කිරි හා බත් ලබයි ද හෙතෙම බත් අනුභව කොට කිරි දරුවන්ට පොවයි. ඒ දරුවන්ගේ උදරයට යමක් යමක් පිවිසෙයිද ඒ සියල්ල මැණික් බඳුනක දැමූවක් සේ පෙනෙන්නේය. මෙසේ ඡවි හෙවත් උඩ සම නැත යන අර්ථයෙන් නිච්ඡවී වූහ. සමහරු මෙසේ කීහ. මසා තැබුවාක් මෙන් ඔවුනොවුන්ගේ සම අප්රකට විය. මෙසේ ඔවුහු සමෙන් තොර වූ නිසා හෝ අප්රකට සම ඇති බැවින් හෝ “ලිච්ඡවී” යයි ප්රකට වූහ. යනුවෙනි.