යථින්දඛීලොතිගාථාවණ්ණනා
මෙසේ ක්ෂීණාශ්‍රව පුද්ගලයන්ගේ ගුණය කරණ කොට ගෙන සංඝයා මූලික කොට ගත් සත්‍යය දේශනා කොට දැන් බොහෝ ජනයාට ප්‍රත්‍යක්‍ෂ වූ සෝවාන් ඵලයට පත් තැනැත්තාගේ ගුණය කරණ කොටගෙන “යථින්ද ඛීලො” යයි දේශනා කිරීම ආරම්භ කළහ. එහි “යථා” යනු උපමාවාචී පදයකි. “ඉන්ද්‍රඛීලො” යනු නගරයේ දොර රැඳවීම සඳහා එළිපත්ත ඇතුළත රියන් අටක් හෝ දහයක් පොළොව සාරා සිටුවන ලද හරවත් දාරුමය ටැඹකට නමකි. “පඨවිං” යනු භූමියයි, “සිතො” යනු ඇතුළට පිවිස සිටි; “සියා” යනු වන්නේය; “චතුබ්හි වාතෙහි” යනු සතර දිශාවෙන් පැමිණි සුළඟින්, “අසම්පකම්පියො” යනු කම්පා කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකිවන්නේ, “තථූපමං” යනු එබඳු වූ ‘සප්පුරිසං’ යනු උත්තම පුරුෂයා; ‘වදාමි’ යනු කියමි; “යො අරිය සච්චානි අවෙච්ච පස්සති” යනු යමෙක් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රඥාවෙන් බැස බලත්ද; එහි ආර්‍ය්‍ය සත්‍යයන් කුමාර ප්‍රශ්නයෙහි කී අයුරින්ම දත යුතුය.
මේ වනාහි මෙහි කෙටි අදහසයි. යම්සේ ඉන්ද්‍රඛීලය ගැඹුරු බිමට පිවිසි නිමාව ඇතිව පොළොවෙහි පිහිටියේ සිවු දිගින් එන සුළඟින් කම්පා කිරීමට නොහැකි වන්නේ ද යමෙක් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රඥාවෙන් දැන දකී ද ඒ මේ සත් පුරුෂයා ද ඒ ඉන්ද්‍රඛීලයට සමානම යයි කියමි. කුමක් හෙයින් ද යත්? යම් හෙයකින් ඒ ඉන්ද්‍ර ඛීලය සතර දිගින් හමන සුළගින් කම්පා නොවන්නා සේ සියලු තිර්ථකවාද නැමති සුළඟින් ඔහු ද කම්පා කළ නොහැක්කෙක් වෙයි. කිසිවෙක් එම දර්ශනයෙන් කම්පා කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකි වන්නේය. එහෙයින් සූත්‍රාන්තරයෙහි ද
“මහණෙනි, යම්සේ ගැඹුරු බිමකට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නොසෙලවෙන කම්පා කළ නොහැකි අයෝමය ඛීලයක් (උගුලක්) හෝ ඉන්ද්‍ර ඛීලයක් වේ ද ඉදින් පෙරදිගින් බලවත් කුණාටුවක් එන්නේ නම් එය නොම සෙලවෙන්නේය. විශේෂයෙන් නොම සෙලවෙන්නේය. නොම වෙවුළුවන්නේය. බටහිර දිශාවෙන් - දකුණු දිශාවෙන් - උතුරු දිශාවෙන් වුව ද - පෙ - බලවත් කුණාටුවක් එන්නේ නම් නොම සෙලවෙන්නේය. කවර හෙයින්ද යත්? මහණෙනි, මුල ගැඹුරු බැවිනි. ඉන්ද්‍රඛීලය මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එලෙසින්ම යම්කිසි මහණ කෙනෙක් බමුණු කෙනෙක් හෝ මේ දුක යයි තතු සේ දනී ද -පෙ- මේ පිළිවෙතැයි තතු සේ දනී ද ඔහු “භවත්තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී. දක්නේ දකී”යි අන් මහණෙකුගේ හෝ බමුණෙකුගේ හෝ අදහස නොබලත්. ඒ කවර හෙයින් ද යත්? මහණෙනි, චතුරාර්ය සත්‍යය මැනවින් දුටු බැවිනි’යි වදාරන ලදී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට ප්‍රත්‍යක්‍ෂ සෝවාන් තැනැත්තාගේ වශයෙන් සංඝරත්නයෙහි ගුණය දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සත්‍යය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කී පරිදි දත යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.
යෙ අරියසච්චානීතිගාථාවණ්ණනා
මෙසේ අවිශේෂයෙන් සෝවාන් පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්‍යය දේශනා කොට දැන් යම් ඒ ඒකබීජි, කොලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝතාපන්න පුද්ගලයෝ තිදෙනෙක් වෙත්ද, යම්සේ මේ ශාසනයෙහි සමහර පුද්ගලයෙක් සංයෝජන ධර්ම තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න වේ ද හෙතෙම එකම භවයක පමණක් ඉපිද දුක් කෙළවර කරයි ද ඔහු ඒකබීජි වේ. එසේම යමෙක් ආත්ම දෙකක හෝ තුනක ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම කෝලංකෝල වේ. එසේ යමෙක් සත්වරක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම සත්තක්ඛත්තු පරම වේ යයි කීවේද
ඔවුන්ගෙන් සියල්ලන්ට කණිටු වූ සත්තක්ඛත්තු පරම පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන “යෙ අරියසච්චානි” යයි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ අරියසච්චානි” යන මෙය (ඉහත) කියන ලද අයුරින්මය. “විභාවයන්ති” යනු සත්‍ය වසාලන කෙලෙස් අඳුර ප්‍රඥා ආලෝකයෙන් දුරු කොට තමාට ප්‍රකාශ වූවක් ප්‍රකට වූවක් කෙරෙත්, “ගම්භීර පඤ්ඤෙන” යනු ප්‍රමාණ කළ නොහැකි ප්‍රඥාව ඇති හෙයින් දෙවියන් සහිත ලෝකයාට ඥානය කරණ කොට ගෙන ලැබිය නොහැකි ස්ථිර ප්‍රඥාවෙන්, “සර්‍වඥයන් වහන්සේ විසින්” යයි කියන ලද්දේ වෙයි. “සුදෙසිතානි” යනු සමාස, ව්‍යාස, සාකල්‍ය, වෛකල්‍යාදි ඒ ඒ න්‍යායන්ගෙන් මැනවින් දේශනා කළ; “කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා” යනු ඒ වැඩූ ආර්‍ය්‍ය සත්‍ය ඇති පුද්ගලයෝ යම්කිසි දේව රාජ්‍ය චක්‍රවර්ති රාජ්‍ය ආදී ප්‍රමාදස්ථානයක උපත ලබා බොහෝ සෙයින් ප්‍රමාද වූවෝ වෙත් ද එසේ වුවද සෝතාපත්ති මාර්‍ග ඥානයෙන් අභිසංස්කාර විඥානය නිරුද්ධ කළ හෙයින් ආත්මභාව හතක හැර නොදත් කෙළවර ඇති සසරෙහි යම් නාමයක් හා රූපයක් උපදින්නේ ද ඒවා නිරුද්ධ කළ හෙයින් විනාශයට ගිය හෙයින් “න අට්ඨමං භවං ආදියන්ති” අටවෙනි භවයක් නොගනිති; සත්වෙනි භවයේදීම විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණෙති යනුයි.