යෙ අරියසච්චානීතිගාථාවණ්ණනා
මෙසේ අවිශේෂයෙන් සෝවාන් පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්යය දේශනා කොට දැන් යම් ඒ ඒකබීජි, කොලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝතාපන්න පුද්ගලයෝ තිදෙනෙක් වෙත්ද, යම්සේ මේ ශාසනයෙහි සමහර පුද්ගලයෙක් සංයෝජන ධර්ම තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න වේ ද හෙතෙම එකම භවයක පමණක් ඉපිද දුක් කෙළවර කරයි ද ඔහු ඒකබීජි වේ. එසේම යමෙක් ආත්ම දෙකක හෝ තුනක ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම කෝලංකෝල වේ. එසේ යමෙක් සත්වරක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම සත්තක්ඛත්තු පරම වේ යයි කීවේද
ඔවුන්ගෙන් සියල්ලන්ට කණිටු වූ සත්තක්ඛත්තු පරම පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන “යෙ අරියසච්චානි” යයි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ අරියසච්චානි” යන මෙය (ඉහත) කියන ලද අයුරින්මය. “විභාවයන්ති” යනු සත්ය වසාලන කෙලෙස් අඳුර ප්රඥා ආලෝකයෙන් දුරු කොට තමාට ප්රකාශ වූවක් ප්රකට වූවක් කෙරෙත්, “ගම්භීර පඤ්ඤෙන” යනු ප්රමාණ කළ නොහැකි ප්රඥාව ඇති හෙයින් දෙවියන් සහිත ලෝකයාට ඥානය කරණ කොට ගෙන ලැබිය නොහැකි ස්ථිර ප්රඥාවෙන්, “සර්වඥයන් වහන්සේ විසින්” යයි කියන ලද්දේ වෙයි. “සුදෙසිතානි” යනු සමාස, ව්යාස, සාකල්ය, වෛකල්යාදි ඒ ඒ න්යායන්ගෙන් මැනවින් දේශනා කළ; “කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා” යනු ඒ වැඩූ ආර්ය්ය සත්ය ඇති පුද්ගලයෝ යම්කිසි දේව රාජ්ය චක්රවර්ති රාජ්ය ආදී ප්රමාදස්ථානයක උපත ලබා බොහෝ සෙයින් ප්රමාද වූවෝ වෙත් ද එසේ වුවද සෝතාපත්ති මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඥානය නිරුද්ධ කළ හෙයින් ආත්මභාව හතක හැර නොදත් කෙළවර ඇති සසරෙහි යම් නාමයක් හා රූපයක් උපදින්නේ ද ඒවා නිරුද්ධ කළ හෙයින් විනාශයට ගිය හෙයින් “න අට්ඨමං භවං ආදියන්ති” අටවෙනි භවයක් නොගනිති; සත්වෙනි භවයේදීම විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණෙති යනුයි.
මෙසේ භාග්යවතුන් වහන්සේ සත්තක්ඛත්තුපරම වශයෙන් සංඝරත්නයෙහි ගුණය දේශනා කොට දැන් එම ගුණය ඇසුරු කොට “ඉදම්පි සංඝෙ” යයි සත්ය වචනය යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යන් විසින් පිළිගන්නා ලදී.
සහාවස්සාතිගාථාවණ්ණනා
මෙසේ සත්තක්ඛත්තු පරම පුද්ගලයාන්ගේ අටවෙනි ආත්මභාවයක උපත නොලබන ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්ය වදාරා දැන් ආත්ම භාව හතක උපත ලැබීමට ද වඩා ප්රහීණ නොකළ භවාදාන ඇති සෙසු පුද්ගලයන්ට වඩා විශිෂ්ට වූ ඔහුගේම ගුණයන් කරණ කොට ගෙන දේශනාව කිරීමට “සහාවස්ස” යයි ආරම්භ කළහ. එහි “සහාව” යනු සමගම, ‘අස්ස’ යනු ‘න තෙ භවං අට්ඨමං ආදියන්ති’ යයි කියන ලද පුද්ගලයන් අතුරෙන් කෙනෙකුගේ, “දස්සන සම්පදාය” යනු සෝවාන් මඟට පැමිණීමෙන්; සෝවාන් මග වනාහී නිර්වාණය දැක කළ යුතු කෘත්ය සම්පදාවෙන් සියල්ලන්ට පළමුව නිර්වාණය දකින හෙයින් “දස්සන” යයි කියනු ලැබේ. එය තමා කෙරෙහි පහළ වීම “දස්සන සම්පදා” වේ. ඒ දර්ශන සම්පත්තිය ද සමගම, “තයස්සු ධම්මා ජහිතා භවන්ති” යනු මෙහි “සු” යනු “ඉදං සු සාරිපුත්තං මහා විකට භොජනස්මිං හොති” යනාදී තන්හි මෙන් පද පුරණ නිපාතයක් පමණි. දර්ශන සම්පත්තියට පැමිණීමත් සමඟම ධර්මයෝ තුනක් දුරු කරන ලද්දාහු වෙත් ද ප්රහීණ කළාහු වෙත් ද යන මෙයම මෙහි අර්ථය වේ.
දැන් දුරු කළ ධර්ම දැක්වීමට “සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි” යයි වදාළහ. එහිදි කය ඇති කල්හි පවතින පඤ්ච උපාදානස්කන්ධ සඞ්ඛ්යාත කයෙහි විසි වැදෑරුම් දෘෂ්ටිය “සක්කාය දිට්ඨි” වේ. නැතහොත් ඇති කයෙහි දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාර ඇති කයෙහි පවතින දෘෂ්ටිය යන අර්ථයයි. නැතහොත් කය ඇති කල්හිම ඇති කර ගන්නා දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාරයේ ශරීරය පවත්නා කල්හි “රූපාදිය ආත්මයයි” යනුවෙන් මෙසේ පවත්නා දෘෂ්ටිය යන අර්ථයයි. එම දෘෂ්ටිය ප්රහීණ වූ බැවින් දෘෂ්ටි ගත සියල්ල ප්රහීණ වූයේම වේ. එම සක්කාය දිට්ඨිය ඒවාට පදනම වන හෙයිනි. සියලු කෙලෙස් රෝග සංසිඳවන හෙයින් ප්රඥාවට “චිකිච්ඡිත” යයි කියනු ලැබේ. ඒ ප්රඥා චිකිච්ඡාව මෙයින් පහ වූයේ ය, නැතහොත් ඒ ප්රඥා චිකිච්ඡාවෙන් මෙය පහ වූයේ ය යන අර්ථයෙන් “විචිකිච්ඡිත” වේ. “සත්ථරි කංඛති” (ශාස්තෲන් කෙරෙහි සැක කෙරේ) ආදී වශයෙන් කියන ලද වස්තූන් අට පිළිබඳ විමතියට මෙය නමකි. එම විචිකිච්ඡාව ප්රහීණ වූ බැවින් සියලු විචිකිච්ඡාවන් පහවූයේ වෙයි. විචිකිච්ඡාව වනාහි ඒවාට පදනම වන හෙයිනි. “මේ ශාසනයෙන් බැහැර ශ්රමණ බ්රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේ. ව්රතයෙන් ශුද්ධිය වේ” යනුවෙන් මේ ආදී තන්හි සඳහන් වන ගෝශීල කුක්කුර ශීල ආදී ශීලය ද ගෝ ව්රත, කුක්කර ව්රත ආදී ව්රත ද “සීලබ්බත” යයි කියනු ලැබේ. එය ප්රහීණ වූ බැවින් සියලුම නග්ගිය, මුණ්ඩිය ආදී සියලුම අමර තපස් ප්රහීණ වූයේ වේ. ශීලව්රතය වනාහී එයට පදනම වන හෙයිනි. එහෙයින් සියල්ල අවසානයෙහි “යදත්ථි කිඤ්චි”යි වදාරන ලදී. මෙහිදී දුක්ඛදස්සන සම්පදාවෙන් සක්කාය දිට්ඨියත්, සමුදය දස්සන සම්පදාවෙන් විචිකිච්ඡාවත්, මග්ගදස්සන නිබ්බාණ දස්සන සම්පදාවෙන් සීලබ්බතයත් ප්රහීණ වේ යයි දත යුතුය.