සහාවස්සාතිගාථාවණ්ණනා
මෙසේ සත්තක්ඛත්තු පරම පුද්ගලයාන්ගේ අටවෙනි ආත්මභාවයක උපත නොලබන ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්ය වදාරා දැන් ආත්ම භාව හතක උපත ලැබීමට ද වඩා ප්රහීණ නොකළ භවාදාන ඇති සෙසු පුද්ගලයන්ට වඩා විශිෂ්ට වූ ඔහුගේම ගුණයන් කරණ කොට ගෙන දේශනාව කිරීමට “සහාවස්ස” යයි ආරම්භ කළහ. එහි “සහාව” යනු සමගම, ‘අස්ස’ යනු ‘න තෙ භවං අට්ඨමං ආදියන්ති’ යයි කියන ලද පුද්ගලයන් අතුරෙන් කෙනෙකුගේ, “දස්සන සම්පදාය” යනු සෝවාන් මඟට පැමිණීමෙන්; සෝවාන් මග වනාහී නිර්වාණය දැක කළ යුතු කෘත්ය සම්පදාවෙන් සියල්ලන්ට පළමුව නිර්වාණය දකින හෙයින් “දස්සන” යයි කියනු ලැබේ. එය තමා කෙරෙහි පහළ වීම “දස්සන සම්පදා” වේ. ඒ දර්ශන සම්පත්තිය ද සමගම, “තයස්සු ධම්මා ජහිතා භවන්ති” යනු මෙහි “සු” යනු “ඉදං සු සාරිපුත්තං මහා විකට භොජනස්මිං හොති” යනාදී තන්හි මෙන් පද පුරණ නිපාතයක් පමණි. දර්ශන සම්පත්තියට පැමිණීමත් සමඟම ධර්මයෝ තුනක් දුරු කරන ලද්දාහු වෙත් ද ප්රහීණ කළාහු වෙත් ද යන මෙයම මෙහි අර්ථය වේ.
දැන් දුරු කළ ධර්ම දැක්වීමට “සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි” යයි වදාළහ. එහිදි කය ඇති කල්හි පවතින පඤ්ච උපාදානස්කන්ධ සඞ්ඛ්යාත කයෙහි විසි වැදෑරුම් දෘෂ්ටිය “සක්කාය දිට්ඨි” වේ. නැතහොත් ඇති කයෙහි දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාර ඇති කයෙහි පවතින දෘෂ්ටිය යන අර්ථයයි. නැතහොත් කය ඇති කල්හිම ඇති කර ගන්නා දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාරයේ ශරීරය පවත්නා කල්හි “රූපාදිය ආත්මයයි” යනුවෙන් මෙසේ පවත්නා දෘෂ්ටිය යන අර්ථයයි. එම දෘෂ්ටිය ප්රහීණ වූ බැවින් දෘෂ්ටි ගත සියල්ල ප්රහීණ වූයේම වේ. එම සක්කාය දිට්ඨිය ඒවාට පදනම වන හෙයිනි. සියලු කෙලෙස් රෝග සංසිඳවන හෙයින් ප්රඥාවට “චිකිච්ඡිත” යයි කියනු ලැබේ. ඒ ප්රඥා චිකිච්ඡාව මෙයින් පහ වූයේ ය, නැතහොත් ඒ ප්රඥා චිකිච්ඡාවෙන් මෙය පහ වූයේ ය යන අර්ථයෙන් “විචිකිච්ඡිත” වේ. “සත්ථරි කංඛති” (ශාස්තෲන් කෙරෙහි සැක කෙරේ) ආදී වශයෙන් කියන ලද වස්තූන් අට පිළිබඳ විමතියට මෙය නමකි. එම විචිකිච්ඡාව ප්රහීණ වූ බැවින් සියලු විචිකිච්ඡාවන් පහවූයේ වෙයි. විචිකිච්ඡාව වනාහි ඒවාට පදනම වන හෙයිනි. “මේ ශාසනයෙන් බැහැර ශ්රමණ බ්රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේ. ව්රතයෙන් ශුද්ධිය වේ” යනුවෙන් මේ ආදී තන්හි සඳහන් වන ගෝශීල කුක්කුර ශීල ආදී ශීලය ද ගෝ ව්රත, කුක්කර ව්රත ආදී ව්රත ද “සීලබ්බත” යයි කියනු ලැබේ. එය ප්රහීණ වූ බැවින් සියලුම නග්ගිය, මුණ්ඩිය ආදී සියලුම අමර තපස් ප්රහීණ වූයේ වේ. ශීලව්රතය වනාහී එයට පදනම වන හෙයිනි. එහෙයින් සියල්ල අවසානයෙහි “යදත්ථි කිඤ්චි”යි වදාරන ලදී. මෙහිදී දුක්ඛදස්සන සම්පදාවෙන් සක්කාය දිට්ඨියත්, සමුදය දස්සන සම්පදාවෙන් විචිකිච්ඡාවත්, මග්ගදස්සන නිබ්බාණ දස්සන සම්පදාවෙන් සීලබ්බතයත් ප්රහීණ වේ යයි දත යුතුය.
චතූහපායෙහීතිගාථාවණ්ණනා
මෙසේ මේ සෝවාන් පුද්ගලයාගේ කිලෙසවට්ටප්රහාණය දක්වා දැන් එම කිලේස වට්ටය ඇති කල්හිම යම් විපාක වට්ටයකින් යුතු තැනැත්තෙක් විය යුතු ද එම විපාක වට්ටයාගේ ද ප්රහාණය දක්වමින් “චතූහි අපායෙහිච විප්පමුත්තො” යයි වදාළහ. එහි සතර අපාය නම්: නිරය, තිරච්ඡාන, පෙත්තිවිසය හා අසුරකායයි. මේ ආත්මභාව සතක උපදින්නේ නමුදු ඒ අපාය හතරෙන් මිදුණේය යන අර්ථයයි.
මෙසේ සෝවාන් පුද්ගලයාගේ විපාක වට්ට ප්රහාණය දක්වා දැන් මේ විපාක වට්ටයට මුල් වූ යම් කම්ම වට්ටයක් වේ ද එහිද ප්රහාණය දක්වන්නාහු “ඡ චාභිඨානානි අභබ්බො කාතුං” වදාළහ. එහි “අභිඨානානි” යනු ඕලාරික (බරපතල) කරුණුයි ඒ මේ කරුණු හය කිරීමට නුසුදුසුය. ඒවාද “අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසමපන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය” (මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටි සම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන ඒ කරුණ විද්යාමාන නොවේ. එය හේතු රහිතයෙකි. අවකාශ රහිතයෙකි.) ආදී වශයෙන් ඒකක නිපාතයෙහි කියන ලද මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම (බුද්ධ ශරීරයෙහි) ලේ සෙලවීම, සංඝ භේදය, අන්ය ශාසතෲ කෙනෙකුන් උදෙසා සිටීම යයි දත යුතුය. ඒවා වනාහි - හුදෙක් දෘෂ්ටි සම්පන්න ආර්ය්ය ශ්රාවක තෙමේ කුරා කුහුඹියෙකු පවා ජීවිතයෙන් තොර නොකරන්නේය. එසේ ද වුවත් පෘථග්ජනභාවයට ගරහනු සඳහා කියන ලදී. පෘථග්ජන තෙමේ දෘෂ්ටි සම්පන්න නොවන හෙයින් මෙසේ මහා සාවද්ය වූ බරපතල පාපයන් පවා කරයි. දර්ශන සම්පන්න පුද්ගලයා වනාහි ඒවා කිරීමට නුසුදුසුය. මෙහි නුදුසුදු බව භවාන්තරයෙහි ද ඒවා නොකිරීම දැක්වීම සඳහාය. භවාන්තරයෙහි වනාහි මෙතෙමේ තමාගේ ආර්ය්යශ්රාවකභාවය නොදන්නේ නමුදු ස්වභාවිකවම මේ හය හෝ ස්වාභාවික ප්රාණඝාත ආදී වෛරයන් පහත් අන්ය ශාස්තෲ උද්දේශය සමග කරුණු හයක් හෝ නොකරයි. සමහරු “ඡ ඡාභිඨානානි” යයි යමක් අරමුණු කොට ශබ්ද කෙරෙත්ද ඒ ඉහත කරුණ නිසාය. ආර්ය්ය ශ්රාවක ගම් දරුවන්ගේ මැරුණු මාළු ගැනීම් ආදිය ද මෙහි නිදර්ශන වේ.
මෙසේ භාග්යවතුන් වහන්සේ ආත්ම හතක උපදින්නේ නමුදු ප්රහීණ නොකළ භවාදාන සහිත පුද්ගලයන්ට වඩා ආර්ය්ය ශ්රාවකයාගේ ඇති විශිෂ්ට ගුණ වශයෙන් සංඝ රත්නයෙහි ගුණ වදාරා දැන් ඒ ගුණයම ඇසුරු කොට සත්ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
කිඤ්චාපි සොතිගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ ආත්ම භාව හතක උපදින්නේ නමුදු ආර්ය්ය ශ්රාවකයාගේ අනෙකුත් ප්රහීණ නොකළ භවාදාත ඇති පුද්ගලයන්ට වඩා ඇති විශිෂ්ට ගුණයන් කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්යය දේශනා කොට දැන් “හුදෙක් දර්ශන සම්පන්න පුද්ගලයා බරපතල පාප කර්ම හය කිරීමට නුසුදුසු වුයේ පමණක් නොවේ. අල්පමාත්ර වූ පාප කර්මයක් කොටද එය සැඟවීමට ද නුසුදුසු යයි ප්රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මය නොසැඟවීමේ ගුණය කරණ කොට ගෙන “කිඤ්චාපි සො කම්මං කරොති පාපකං” යයි දේශනා කිරීමට පටන් ගත්හ.