යංකිඤ්චීතිගාථාවණ්ණනා
මෙසේ දෙවියන් කෙරෙහි මිනිසුන්ගේ උපකාරක බව දක්වා ඔවුන්ගේ උවදුරු සංසිඳවීම සඳහා ද බුද්ධාදී ගුණ ප්‍රකාශ කිරීමෙන් දෙව් මිනිසුන්ට ධර්ම ශ්‍රවණය සඳහා ද “යං කිඤ්චි විත්තං” ආදී වශයෙන් සත්‍ය වචනය ප්‍රයෝග කිරීම ඇරඹූහ. එහි “යං කිඤ්චි” යනු අනියමිත වශයෙන් ඉතිරියක් නැතිව සියල්ල හාත්පසින් ගනී; ඒ ඒ තන්හි ව්‍යවහාරයට ගිය යම්කිසි “විත්තං” යනු ධනය; එහි වනාහී සතුට උපදවානුයි = විත්තං වේ. “ඉධ වා” යන්නෙන් මනුෂ්‍ය ලෝකය දක්වා “හුරං වා” යනු එයින් අන්‍ය වූ අවශේෂ ලෝකයයි. එයින් මිනිසුන් හැර සියලු ලෝකය ගැනීම පැමිණි කල්හි “සග්ගෙසු වා” යයි වෙනම කී බැවින් මිනිසුන්ද ස්වර්ගය ද හැර සෙසු නාගසුපර්‍ණ ආදීන්ගේ ගැනීම දත යුතුය.
මෙසේ මේ පද දෙකෙන් මිනිසුන් අතර ව්‍යවහාරයට පත් යම් අලඞ්කාරද පරිභෝගයට පත් රන්, රිදී, මුතු, මැණික්, වෙරළු, පබළු, පත්මරාග, මැසිරිගල් ආදියක් වේ ද නැතහොත් මුතුමැණික් වැලි අතුරූ භූමියෙහි රත්නමය විමානයන්හි නොයෙක් යොදුන් සිය ගණන් පළල් වු විමානයන්හි උපන් නාග සුපර්ණාදීන්ගේ යම් ධනයක් වේ ද එය දැක්වූයේ වෙයි. “සග්ගෙසුවා” යනු කාමාවචර රූපාවචර දේව ලෝකයන්හි; ඔවුන් විසින් ශෝභන වූ (කුශල) කර්මයෙන් ඉරියව් පවත්වනු ලැබේ, යනු ලැබේනුයි “සග්ග” නම් වේ. යහපත් හෝ අග්‍ර වූයේ ද “සග්ග” වේ. “යං” යනු ස සස්වාමික වූ හෝ අසස්වාමික වූ යම්; “රතනං” යනු ඇල්ම හෙවත් රතිය ගෙන යයි. උසුලයි, උපදවයි, වඩයිනුයි = “රතන” වේ. ගෞරව කළ ඉතා වටිනා, අසමාන දුර්ලභ දර්ශන ඇති, උසස් සත්ත්වයන් පරිභෝග කරන යම් කිසිවක් වේ නම් එයට මෙය නමකි. යම්සේ කීවේද,
“ගෞරව කළ ඉතා වටිනා අනිකකට සමාන නොවන නිතර දැකිය නොහැකි, උසස් පුද්ගලයන් පරිහරණය කරන යමක් වේ ද එයට එහෙයින් රතන යයි කියනු ලැබේ” යනුයි.
“පණීතං” යනු උතුම්, ශ්‍රේෂ්ඨ, අල්ප නොවූ; මෙසේ මේ ගාථා පදයෙන් ස්වර්ගයෙහි සුධර්ම, වෛජයන්ත, ආදී කොට ඇති නොයෙක් යොදුන් සිය ගණන් පමණ වූ සියල්ල රත්නයෙන් කළ විමානයන්හි ස සස්වාමික වූ ද, බුද්ධෝත්පාදයෙන් තොර කාලයෙහි සත්ත්වයන්ගෙන් අපායම පිරෙන කල්හි ශුන්‍ය විමානයන් හා සම්බන්ධ වූ අස්වාමික වූ ද, නැතහොත් පොළොව, මහා සමුද්‍රය, හිමාලය ආදිය ඇසුරු කොට ඇති අස්වාමික යම් රත්නයක් වේ ද එය දැක්වූයේ වෙයි.
“න නො සමං අත්‍ථි තථාගතෙන” යන්නෙහි “න” යනු වැළැක්වීමෙහියි; “නො” යනු අවධාරණයෙහියි; “සමං” යනු සමාන: “අත්‍ථි” යනු පවතියි; “තථාගතෙන” යනු බුදුන් වහන්සේ හා (සමාන); කුමක් දේශනා කරන ලද්දේ වේද? යම් මේ ධනයක් ද රත්නයක් ද ප්‍රකාශ කරන ලද්දේ ද මෙහි බුද්ධ රත්නය හා සමාන එකකුදු රත්නයක් නැත්තේමය. ඒ යමක් වනාහී ගෞරව කළ හෙයින් රත්නයක් වේද? ඒ කවරේද යත්? චක්‍රවර්ති රජුගේ චක්‍ර රත්නය හා මණි රත්නය ද වේ. යම් රත්නයක් පහළ වූ කල්හි මහජනයා වෙනත් තැනකට ගෞරව නොකරයි ද? කිසිවෙක් මල් සුවඳ ආදිය ගෙන යකුන් (අරක්ගත්) තැනකට හෝ භූතයන් (අරක්ගත්) තැනකට හෝ නොයයිද සියලුම ජනයා ඒ චක්‍රරත්නයට හා මණිරත්නයටම ගෞරව කරයි ද, පූජා කරයි ද, ඒ ඒ වර ප්‍රාර්ථනා කරයිද ඔවුන්ගේ පතන පතන ලද වරයන් අතුරින් සමහරක් සමෘද්ධ වෙයි ද ඒ චක්‍රරත්නය හා මනි රත්නය ද බුද්ධ රත්නය හා සම නොවේ. යම් හෙයකින් වනාහී ගෞරව කළ අර්ථයෙන් රත්නයක් වේ ද එහිදී තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ උපන් කල්හි වනාහී සමහර මහේශාක්‍ය දෙවියෝ සහ මනුෂ්‍යයෝ වෙනත් තැනකට ගෞරව නොකරති. කිසිම වෙනත් කෙනෙකුට පූජා නොකරති. ඒ එසේමය. සහම්පති මහා බ්‍රහ්මයා සිනේරු පර්වතය තරම් වූ රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදීය. අනෙක් දෙවි මිනිස්සු ද බිම්බිසාර, කොසොල් රජවරු ද, අනාථපිණ්ඩිකාදීහු ද ශක්ති පමණින් පිදූහ. පිරිනිවන් පෑ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අනූහය කෝටියක් ධනය වියදම් කොට අශෝක මහරජතුමා සියලු දඹදිව අසූහාර දහසක් විහාරය පිහිටුවීය. අන්‍යයන්ගේ ගෞරව කිරීම් ගැන කවර කථාද? තවද භාග්‍යවතුන් වහන්සේට මෙන් පිරිනිවන් පෑ අන් කවරෙකුගේ උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන් ද ප්‍රතිමා චෛත්‍යාදිය හෝ උදෙසා මෙබඳු ගෞරව කිරීම්, ගරු කිරීම් පවතීද? මෙසේ ගෞරව කිරීම් අර්ථයෙන් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත.
එසේම කසීරට වස්ත්‍රයක් මෙන් යමක් ඉතා වටිනා අර්ථයෙන් රත්නයක් වේද? යම් සේ වදාළේද? “මහණෙනි, දිරාගිය ද කසී සළුව වර්ණවත් ද සැප ස්පර්ශ ඇත්තේ ද ඉතා වටිනා ද වේ” යනුවෙනි. එය ද බුද්ධ රත්නය හා සම නොවේ. ඉදින් ඉතා වටිනා අර්ථයෙන් රත්නයක් වේ ද තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ වනාහී යමෙකුගේ පාංශුකූල වස්ත්‍රයක් වුව ද පිළිගනිත්ද ඔවුන්ට එය මහත් ඵල ද මහානිසංස ද වේ. අශෝක රජුට මෙය මහාර්ඝතාවය සඳහා හේතූ වූවාක් මෙනි. මෙසේ “මහග්ඝතා” වචනයෙහි මෙහි දොස් රහිත බවට සාධක වශයෙන් මේ සුත්‍ර පදය දත යුතුය.
“යම් කෙනෙකුන්ගේ චීවර -පෙ පරිෂ්කාර පිළිගනී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මාහැඟි බැව්හිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මාහැඟි වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි වදාරමි” යනුයි.
මෙසේ මාහැඟි අරුතින් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නොමැත.
එසේම යම් ඒ අසමාන අර්ථයෙන් රත්නයක් වේද? ඒ කවරේද යත්? සක්විති රජුට ඉඳුනිල්මිණි නාභියක් හා සත් රුවන්මය අර දහසක් ඇති පබළුමය නිම්වළලු ඇති රත් රනින් කළ සන්ධි ඇති, එසේ යමකගේ දහයක් දහයක් අරයන් මත වාතය රැගෙන ශබ්ද කරනු සඳහා එක් මුදුන් අරයක් වේද යමක් විසින් කළ ශබ්දය ඉතාමත් දක්‍ෂ වාදකයකු වාදනය කළ පසඟතුරු නාදයක් මෙන් වේද යමකගේ නාභියෙහි දෙපැත්තෙහි සිංහ මුහුණු වේද රිය සකෙහි මෙන් ඇතුළත සිදුරු සහිත වේද එහි කරන්නෙක් හෝ කරවන්නෙක් නැත්තේද කර්මය හේතු කොට ගෙන සෘතු වශයෙන් හට ගනීද රජ යම් දස වැදෑරුම් සක්විති වත් පුරා ඒ පසළොස්වක් පුන් පොහෝ දින හිස සෝදා නෑවේ පෙහෙවස් දරන්නෙක් වූයේ උතුම් පහයේ මතු මහලට ගියේ සිල් පිරිසිදු කරමින් හුන්නේ පුන් සඳ මෙන් ද හිරු මෙන් ද නැගෙන (චක්‍ර රත්නය) දකී ද යමකගේ හඬ දොළොස් යොදුනක සිට අසනු ලැබේද යොදුනක සිට වර්ණය පෙනේද සඳ හෝ හිරු නැගී සිටියේ යයි ඉතාමත් කුතුහලයට පත් මහජනයා විසින් යමක් අද්විතීය යයි හඟීද සියල්ලන්ට පෙනෙමින් නගරය මතින් පැමිණ රජුගේ ඇතුල් පුරයට පෙරදිගින් වඩා උස් පහත් නොවී මහජනයාට සුවඳ මල් ආදියෙන් පූජා කිරීමට සුදුසු ස්ථානයක අකුර ගැසූ කලක මෙන් සිටීද එබඳ චක්‍ර රත්නයක් සක්විති රජුට පහළ වේ.
ඒ චක්‍ර රත්නයම අනුව යමින් හස්ති රත්නයක් පහළ වේ. හෙතෙම සියල්ල සුදු වූයේ රතු වූ පා ඇත්තේ සත් තැනක පොළොවෙහි පිහිටියේ සෘද්ධිමත් වූයේ අහසින් ගමන් කරන්නේ උපෝසථ කුලයෙන් හෝ ඡද්දන්ත කුලයෙන් හෝ පැමිණේ. උපොසථ කුලයෙන් එන්නේ වනාහී සියල්ලන්ගේ වැඩිමලා පැමිණේ. ඡද්දන්ත කුලයෙන් සියලු ඇතුන්ට බාල වූ හික්මුණු ශික්ෂා ඇති දමනයෙන් යුක්ත වූ ඇතා පැමිණේ. හෙතෙම දොළොස් යොදුනක පැතිර සිටි පිරිස රැගෙන සියලු දඹදිව සංචාරය කොට උදේ ආහාරයට පෙරම සිය රාජධානියට පැමිණේ.