ඛයං විරාගන්තිගාථාවණ්ණනා
මෙසේ බුද්ධ ගුණය කරණ කොට ගෙන සත්යය වදාරා දැන් නිර්වාණ ධර්ම ගුණය කරණ කොට ගෙන “ඛයං විරාගං” යයි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි යම් හෙයකින් නිර්වාණය අවබෝධ කිරීමෙන් රාගාදිය ක්ෂය වීමක් හාත්පසින් ක්ෂයවීමක් වේ ද යම්හෙයකින් ඒ නිර්වාණය ඒ රාගාදියෙහි නැවත නූපදින ලෙස ක්ෂයවීම් පමණක්ම වේ ද, යම් හෙයකින් ඒ නිර්වාණ එකට යෙදීම් වශයෙන් හා ආරම්මන වශයෙන් රාගාදියෙන් වියුක්ත වේ ද, යම් හෙයකින් එම නිර්වාණය අවබෝධ කරගත් කල්හි රාගාදීහු අත්යන්තයෙන් නොඇලුණාහු, පහ වූවාහු, විනාශ කළාහු වෙත්ද එහෙයින් “ඛයං” යයි ද “විරාගං” යයි ද කියනු ලැබේ. යම් හෙයකින් මේ නිවනෙහි පහළ වීමක් නොපෙනේද ගෙවී යාමක් නොපෙනේද, පැවතුනහුගේ වෙනත් ස්වභාවයකට පත්වීමක් නොපෙනේද, එහෙයින් එම නිර්මාණය නොහටගනී. නොදිරයි. මිය නොයයි යන අර්ථයෙන් “අමත” යයි කියනු ලැබේ. උත්තමාර්ථයෙන් මෙන්ම අනල්පාර්ථයෙන් ද “පණීතං” වේ. “යදජ්ඣඞ්ගා” යනු යමකට පැමිණියේ ද යමක් වින්දේ ද, ලබා ගත්තේ ද තමාගේ ඥාන බලයෙන් අවබෝධ කර ගත්තේ ද, “සක්යමුනි” යනු ශාක්ය කුලයෙහි උපන් බැවින් “සක්යො” වේ. මෝනෙය්ය ධර්මයෙන් යුක්ත වන බැවින් “මුනි” වේ. සක්යො එව මුනි “සක්යමුනි; “සමාහිතො” යනු ආර්ය මාර්ග සමාධියෙන් සන්සුන් සිත් ඇත්තේ, “න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි” යනු ශාක්ය මුනීන්ද්රයන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ “ඛය” ආදී නම් ඇති ධර්මය හා සමාන කිසි ධර්ම ජාතියක් නැත. එහෙයින් සූත්රාන්තරයෙහි ද “මහණෙනි, සංඛත වූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්මයෝ වෙත් ද විරාගය ඒ ධර්මයන්ට අග්ර යයි කියනු ලැබේ” ආදිය වදාරන ලදී.
මෙසේ භාග්යවතුන් වහන්සේ නිර්වාණ ධර්මයට අන්ය ධර්මයන්ගේ ඇති අසමාන බව වදාරා දැන් ඒ සත්ත්වයන්ට උපන් උපද්රව සංසිඳවීමට සමත් බය, විරාග, අමත, පණීත ආදී ගුණයන්ගෙන් නිර්වාණ ධර්ම රත්නයෙහි අසමාන බව නිසා සත්ය වචනය “ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු” යයි යොදති. එහි අර්ථය පෙර ගාථාවේ කියන ලද අයුරින්ම දත යුතුය. මේ ගාථාවේ අණ ද කෙළ ලක්ෂයක් සක්වල අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
යං බුද්ධසෙට්ඨොතිගාථාවණ්ණනා
මෙසේ නිර්වාණ ධර්ම ගුණය කරන කොට ගෙන සත්යය වදාරා දැන් මාර්ග ධර්ම ගුණය කරණ කොට ගෙන දේශනා කිරීමට “යං බුද්ධ සෙට්ඨො” යයි ආරම්භ කරන ලදී. එහි “සත්යය අවබෝධ කර ගත්තේනුයි” ආදී වශයෙන් බුද්ධ වේ. උත්තම වූයේ ශ්රේෂ්ඨ වූයේනුයි “සෙට්ඨො”වේ; (බුද්ධො ච සො සෙට්ඨො චා ති) බුදු වූයේත් හෙතෙමේය, ශ්රේෂ්ඨ වූයේත් හෙතෙමේනුයි, බුද්ධසෙට්ඨො වේ. නැතහොත් අනුබුද්ධ ප්රත්යෙක බුද්ධ සඞ්ඛ්යාත බුදුවරුන් අතුරෙහි ශ්රේෂ්ඨ වූයේනුයි බුද්ධසෙට්ඨො වේ; ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ “යං පරිවණ්ණයී” යනු “නිවනට පැමිණීම සඳහා ඇති මාර්ගයන් අතුරෙනුදු අෂ්ටාඞ්ගික මාර්ගය ක්ෂේම වේ” යයි ද “මහණෙනි, නුඹලාට නිර්දෝෂ වූ මාර්ග සමාධිය සප්රත්යකොට සපරිවාර කොට දෙසන්නෙමි” යයි ද මේ ආදී ක්රමයෙන් ඒ ඒ තන්හි ප්රශංසා කළහ. ප්රකාශ කළහ යනුයි. “සුචිං” යනු කෙලෙස් මල මුලිනුපුටා දැමූ හෙයින් අතිශයින් පිරිසිදු වූ; “සමාධිමානන්තරිකඤ්ඤමාහු” යනු තමාගේ පැවැත්මට අනතුරුව ඒකාන්ත වශයෙන්ම ඵලය ගෙන දෙන හෙයින් යමක් ආනන්තරිය සමාධි යයි කීවාහුද, මාර්ග සමාධිය උපන් කල්හි එහි ඵලය නැති කරන කිසිම අනතුරක් නැත්තේමය. යම්සේ කියන ලද්දේ ද;
“මේ පුද්ගලයාද සෝවාන් ඵලය අවබෝධ කර ගැනීමට පිළිපන්නේ වේ ද මේ කල්පයාගේ දැවෙන වේලාව වේ ද යම්තාක් මේ පුද්ගලයා සෝවාන් ඵලය අවබෝධ නොකරයිද ඒ තාක් කල්පය නොදැවෙන්නේය. මේ පුද්ගලයා “ඨිත කප්පී” යයි කියනු ලැබේ. සියලුම මාර්ගස්ථ පුද්ගලයෝ ඨිත කල්පීහු වෙති” යනුයි.
“සමාධිනා තෙන සමො න විජ්ජති” යනු ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද සුපිරිසිදු ආනන්තරික සමාධිය හා සමාන රූපාවචර සමාධියක් හෝ අරූපාවචර සමාධියක් හෝ කිසිවක් විද්යාමාන නොවේ. කුමක් හෙයින්ද? ඒ සමාධීන් වැඩු තැනැත්තේ ඒ ඒ බඹ ලොව උපන්නේ නමුදු නැවත නිරයාදීන්හි උපත ලැබිය හැකි බැවින් ද මේ ආර්ය්ය සමාධියෙහි වැඩු සිත් ඇති ආර්ය්ය පුද්ගලයා සියලු උත්පත්තීන් මුලින්ම සිඳලූ බැවින් ද වේ. එබැවින් සූත්රාන්තරයෙහි ද “මහණෙනි, සඞ්ඛත ධර්මයෝ යම් පමණ වෙත්ද ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය ඔවුනතුරෙන් අග්ර යයි කියනු ලැබේ” යනාදිය වදාරන ලදී.
මෙසේ භාග්යවතුන් වහන්සේ ආනන්තරික සමාධියෙහි අනෙක් සමාධීන්ට වඩා ඇති අසමාන බව වදාරා දැන් පෙර අයුරින්ම මාර්ග ධර්ම රත්නයෙහි අසමාන බව ඇසුරු කොට සත්ය වචනය “ඉදම්පි ධම්මේ” යයි යොදති. එහි අර්ථය පෙර කියන ලද ක්රමයටම දත යුතුය. මේ ගාථාවේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
යෙ පුග්ගලාතිගාථාවණ්ණනා
මෙසේ මාර්ග ධර්ම ගුණය කරණ කොට ගෙන ද සත්යය වදාරා දැන් සංඝ ගුණය කරණ කොට ගෙන ද දේශනා කිරීමට “යෙ පුග්ගලා” යයි අරඹන ලදී. එහි “යෙ” යනු නියම නොකොට දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨ” යනු ඔවුන්ගේ සඞ්ඛ්යාව වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහි (මාර්ගයට) පිළිපන් පුද්ගලයෝ සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි පුද්ගලයෝ සතර දෙනෙක් ද වශයෙන් අටක් වෙති. “සතං පසත්ථා” යනු සත් පුරුෂයන් විසින් ද බුද්ධ, ප්රත්යෙක බුද්ධ ශ්රාවකයන් විසින් ද අනෙකුත් දෙවි මිනිසුන් විසින් ද ප්රශංසා කරන ලද; කුමක් හෙයින්ද? සහජශීලාදි ගුණයන්ගෙන් යුක්ත හෙයිනි. ඔවුන්ට වනාහී සපු, මූනමල් ආදී මල සහජාත වර්ණ ගන්ධ ආදිය මෙන් සහජාත ශීලසමාධි ආදී ගුණයෝ වෙති. එහෙයින් වර්ණයෙන් හා සුවඳින් යුත් මල් මෙන් ඔවුහු දෙවි මිනිසුන් ආදී සත් පුරුෂයන්ට ප්රිය වූවෝ ද මනාප වූවෝ ද ප්රශංසා ලැබුවෝ ද වෙති. එහෙයින් “යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා” යි කියන ලදී.
නැතහොත් “යෙ” යනු අනියමින් දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨසතං” යනු ඔවුන්ගේ ගණන වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහී ඒකබීජ, කෝලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් ද කාම, රූප, අරූප, භවයන්හි අවබෝධ කරගත් ඵල ඇති සකෘදාගාමීහු තිදෙනෙක් ද වෙති. ඒ සියලු දෙනාම ප්රතිපදා හතරට අනුව විසි හතරකි. අන්තරා පරිනිබ්බායී, උපහච පරිනිබ්බායී, සඞ්ඛාර පරිනිබ්බායී, අසඞ්ඛාර පරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වශයෙන් අවිහ බ්රහ්ම ලෝකයන්හි අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ද අතප්ප, සුදස්ස, සුදස්සී බ්රහ්ම ලෝකයන්හි පස් දෙනෙක් බැගින් ද අකනිටා බ්රහ්ම ලෝකයන්හි උද්ධංසෝත හැර අනාගාමීහු සතර දෙනෙක් ද වශයෙන් අනාගාමීහු විසි හතර දෙනෙකි. ශුෂ්ක විදර්ශක, සමථයානික වශයෙන් රහත්හු දෙදෙනෙකි. මාර්ගස්ථයෝ සතර දෙනෙකු වශයෙන් සියල්ල පනස් හතර දෙනෙකි. ඒ සියලු දෙනාම ශ්රද්ධාධුර, ප්රඥා ධූර වශයෙන් දෙගුණ වී එකසිය අටක් වෙති. ඉතිරිය කියන ලද පරිදිමය.