තස්මා හීතිගාථාවණ්ණනා
“තස්මා හි භූතා” යනු දෙවන ගාථාවයි. “තස්මා” යනු හේතු අර්ථය ඇති වචනයකි. “භූතා” යනු ආමන්ත්‍රණ වචනයකි. “නිසාමෙථ” යනු අසවු; “සබ්බෙ” යනු ඉතිරියක් නැතිව සියල්ලෝ; කුමක් දේශනා කරන ලද්දේ ද? යම් හෙයකින් නුඹලා දිව්‍යස්ථානය ද එහි උපභෝග සම්පත් ද අත්හැර මෙහි රැස්වූවාහු ධර්ම ශ්‍රවණය සඳහාමය. නළු නාටක දැකීම සඳහා නොවේ. එමනිසා සියලු භූතයෙනි, සවන් දෙවු යනුයි. නැතහොත් “සතුටු සිත් ඇත්තෝ වෙත්වා, සකසා අසත්වා” යන වචනය කරණ කොට ගෙන ඔවුන්ගේ සතුටු සිත් ඇති බවත් සකසා අසනු කැමති බවත් දැක වදාළහ. යම් හෙයකින් තෙපි සතුටු සිත් ඇති බව කරණ කොට ගෙන තම සිත මනාකොට පිහිටු වීම ද (අත්තසම්මාපණිධි) නුවණින් සිහි කිරීම ද (යොනිසො මනසිකාර) යන ආශ්‍රව ශුද්ධීන්ගෙන් ද සකසා අසනු කැමති බව නිසා සත් පුරුෂ ආශ්‍රය (සප්පුරිසුපස්සය) අනුන්ගෙන් ඇසීම (පරතොඝොස) ආසන්න කාරණය කොට ඇති බැවින් ප්‍රයෝග ශුද්ධීන්ගෙන් ද යුක්ත වූවාහුද, එහෙයින් භූතයෙනි, සියල්ලෝ කන් යොමු කරවු” යනුයි. නැතහොත් පළමු ගාථාව අවසානයෙහි “භාසිතං” යයි යමක් කියන ලද්දේ ද එය කරුණු වශයෙන් ගෙන හැර දක්වමින් වදාළහ. යම් හෙයකින් සියලු අක්‍ෂණයන් (අයෝග්‍ය අවස්ථා) දුරුකළ ක්‍ෂණයාගේ දුර්ලභත්වය නිසා මාගේ දේශනාවන් නම් ඉතාමත් දුර්ලභ වේ ද ප්‍රඥා, කරුණා ගුණයන් කරණකොට ගෙන පැවැත් වූ හෙයින් නොයෙක් ආනිසංස ඇත්තේ වේ ද ඒ ධර්මය දේශනා කරනු කැමැත්තේ මම “සුණන්තු භාසිතං” යයි වදාළෙමි. “තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ” යන ගාථා පදයෙන් මෙය වදාරන ලද්දේ වෙයි.
මෙසේ මේ කාරණය දක්වමින් තම දේශනාව ඇසීමෙහි යොදවා ඇසිය යුතු දෙය “මෙත්තං කරොථ මානුසියා පජාය” යනුවෙන් දේශනා කිරීමට ආරම්භ කළහ. එහි අර්ථය උවදුරු තුනකින් පීඩාවට පත් යම් මේ මනුෂ්‍ය ප්‍රජාවක් වේ ද ඒ මනුෂ්‍ය ප්‍රජාවට මිත්‍රභාවය හිතේෂීභාවය පිහිටුවවු” යනුවෙනි. සමහරු වනාහී “මානුසියං” යයි ශබ්ද කරති. එම සත්තමී අර්ථය නොලැබෙන බැවින් යෝග්‍ය නොවේ. අන්‍යයෝ යම් අර්ථයක් වර්ණනා කරත්ද එයද නොගැළපේ. මෙහි අදහස වනාහී “මම බුදුන් වහන්සේ” යයි අධිපති බලයෙන් දේශනා නොකරමි. එසේ වුවත් නුඹලාගේ ද මේ මනුෂ්‍ය ප්‍රජාවගේ ද හිත සඳහා “මෙත්තං කරොථ මානුසියා පජාය” යයි කියමි. මෙහිද,
“යම් රාජර්ෂී කෙනෙක් සත්ත්වයන්ගෙන් ගැවසීගත් පොළොව දිනා ගෙදොර නිරගුළු කළ හෙයින් නිරග්ගල නම් වූ සස්සමේධය, පුරිසමේධය, සම්මාපාසය, වාජපෙය්‍යය, යන සිව් සඟරාවතින් යාග කරමින් හැසුරුනාහු වෙත් ද -
ඒ යාගයෝ සුභාවිත මෛත්‍රී සහගත චිත්තයාගේ සොළොස්වන කලාව ද පවා නොඅගිත්. ඉදින් එකද සත්ත්වයෙකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම් ඒ හේතුවෙන් කුසල් වඩන්නෙක් වෙයි.
සව් සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්ය තෙමේ බොහෝ පිං කෙරෙයි.” (අංගුත්තර නිකාය - අට්ඨක නිපාත)
මේ ආදී සූත්‍රයන්ගේ වශයෙන් ද එකොළොස් ආනිසංස වශයෙන් ද යමෙක් මෛත්‍රී කරත්ද ඔවුන්ගේ මෛත්‍රිය “හිත” යයි දත යුතුය.
“දෙවතානුකම්පිතො පොසො සදා භද්‍රානි පස්සති” (දෙවියන්ගේ අනුකම්පාවට යොමු වූ පුරුෂයා හැම කල්හිම යහපත දකී)
යන මේ ආදී වශයෙන් යමෙකු කෙරෙහි (මෛත්‍රිය) කරනු ලැබේද ඔවුන්ටද “හිත” යයි දත යුතුය.
මෙසේ දෙපිරිසටම හිත බව දක්වන්නාහු “මෙත්තං කරොථ මානුසියා පජාය”යි වදාරා දැන් (කළ) උපකාරය ද දක්වන්නාහු “දිවාච රත්තොච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා” යයි වදාළහ. එහි අර්ථය : සමහර මිනිස්සු චිත්‍ර කර්ම දැව කර්ම ආදියෙන් පවා දෙවියන් සාදා චෛත්‍ය වෘක්‍ෂ ආදිය වෙත එළඹ දෙවියන් උදෙසා දහවල බලි පූජා කරත්ද පහන් පූජා ද කාළ පක්‍ෂ ආදී දිනවල රාත්‍රියට බලි කරත් ද සලාක බත් ආදිය හෝ දී ආරක්ෂක දෙවියන්ගේ සිට බ්‍රහ්ම දෙවියන් දක්වා ප්‍රාප්තිදාන (පින්දීම) පැවරීම් වශයෙන් දහවල බලි කරත්ද ඡත්‍රාරෝපණදීපමාලා සහිතව සර්වරාත්‍රික ධර්ම ශ්‍රවණාදිය කරවා ප්‍රාප්ති දාන පවරාදීමෙන් ද රාත්‍රියෙහි බලි කරත්ද ඔවුහු කෙසේ නම් නොරැකිය යුක්තෝද? යම් හෙයකින් මෙසේ දහවල හා රාත්‍රියෙහි නුඹලා උදෙසා යමෙක් බලි කරත්ද ඒ නිසාම ඔවුන් රකිවු. ඒ නිසා බලි කර්ම කිරීම හේතුවෙන් ඒ මිනිසුන් රකිවු. ආරක්ෂා කරමු. නොපමා වී ඒ කෘතඥ භාවය හදවතෙහි ඇති කොට නිතර සිහි කරමින් ඔවුන්ගේ අහිත දේ ඉවත් කරවු. හිත දේ එළවවු” යනුයි.