යානීධාතිගාථාවණ්ණනා
දැන් “කරිස්සාමත්ථවණ්ණනං” යයි කී හෙයින් අර්ථ වර්ණනාව ආරම්භ කරනු ලැබේ. සමහරු මෙසේ කියති. (සූත්රයෙහි) මුල්ම ගාථා පහ පමණක් භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. සෙසු ගාථා පිරිත් කරන වේලාවෙහි ආනන්ද තෙරුන් විසින් (දේශනා කරන ලදී) යනුවෙනි. එසේ හෝ මෙසේ හෝ වේවා මේ පරීක්ෂාවෙන් අපට කවර ප්රයෝජනයක්ද? මේ රතන සූත්රයට සර්වප්රකාරයෙන් අර්ථ වර්ණනාවක් කරන්නෙමි.
“යානීධ භූතානි” යනු පළමු ගාථාවයි. එහි ‘යානි’ යනු යම් බඳු වූ අල්පේශාක්ය හෝ මහේශාක්ය හෝ, ‘ඉධ’ යනු මේ ප්රදේශයෙහි; එකෙණෙහි රැස් වූ ස්ථානය සඳහා කියන ලදී. “භූතානි” යනු හුදෙක් “භූත” ශබ්දය “භූතස්මිං පාචිත්තියං” යන මේ ආදී තන්හි විද්යමානාර්ථයෙහි ද “භූතමිදන්ති භික්ඛවෙ, සමනුපස්සාමි” යන මේ ආදී තන්හි පඤ්චස්කන්ධයෙහි ද “චත්තරො ඛො භික්ඛු, මහා භූතා හෙතු” යන මේ ආදී තන්හි චතුර්විධ පඨවිධාතු ආදී රූපයන්හි ද “යොච කාලඝසො භූතො” යන මේ ආදී තන්හි රහතන් වහන්සේ යන අර්ථයෙහි ද “සබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං” යන මේ ආදී තන්හි සියලුම සත්ත්වයන් යන අර්ථයෙහිද “භූතං භූතතො සඤ්ජානාති” යන මේ ආදී තන්හි චාතුම්මහාරාජිකයෙන් යට සත්ත්ව කාය සඳහා ද යෙදේ. මෙහි වනාහී අවිශේෂයෙන් අමනුෂ්යයන් යන අර්ථයෙහි දත යුතුය.
“සමාගතානි” යනු රැස් වූ; “භුම්මානි” යනු භූමියෙහි උපන්, “වා” යනු විකල්පයෙහි; එයින් මෙහි යම් භූමියට අයත් භූතයෝ රැස්වූවාහු ද යන එක් විකල්පයක් දක්වා නැවත දෙවෙනි විකල්පය දැක්වීමට “යානීව අන්තලික්ඛෙ” යයි කීහ. අහසෙහි හෝ යම් භූතයෝ උපන්නාහු ද ඒ සියල්ලෝම මෙහි රැස්වූවාහුය යන අර්ථයයි. මෙහි යාම දෙව්ලොව සිට අකනිටා බඹලොව දක්වා උපන් භූතයෝ අහසෙහි පහළ වූ විමානයන්හි උපන් බැවින් “අන්තරීක්ෂයෙහි භූතයෝ” යයි දත යුතුය. එයින් යට සිනේරු පර්වතයේ සිට බිම දක්වා වෘක්ෂලතාදියෙහි අධිගෘහිත වූ ද පොළොවෙහි උපන්නා වූ ද භූතයෝ වෙත් ද ඒ සියලූ භූමියෙහි ද භූමිය හා සම්බන්ධ වෘක්ෂලතා පර්වත ආදියෙහි ද උපන් බැවින් භූම්යස්ථ (බූමාටු) භූතයෝ යයි දත යුතුය.
මෙසේ භාග්යවතුන් වහන්සේ සියලුම අමනුෂ්ය භූතයන් “භුම්මානි වා යානිව අන්තලික්ඛෙ” යයි පද දෙකකින් වෙන් කොට දක්වා නැවත එක් පදයකින් එක්කොට දැක්වීම සඳහා “සබ්බෙව භූතා සුමනා භවන්තු” යයි වදාළහ. “සබ්බෙ” යනු ඉතිරියක් නැතිව; ‘එව’ යනු අවධාරණයයි. එකෙකුදු ඉවත් නොකොට යන අදහසයි. “භූතා” යනු අමනුෂ්යයෝ; “සුමනා භවන්තු” යනු සුවපත් වූ සිත් ඇත්තෝ, හටගත් ප්රීති සොම්නස් ඇත්තෝ වෙත්වා, “අථොපි” යනු අනතුරු කාර්ය්ය දැනුම් දීම සඳහා වාක්ය සම්බන්ධ කිරීමේ නිපාත දෙකකි. “සක්කච්ච සුණන්තු භාසිතං” යනු මනා සේ මෙනෙහි කොට සියලු සිතින් එක් අරමුණක පිහිටුවා දිව්ය සම්පත් හා ලෝකෝත්තර සැප ගෙන දෙන මාගේ දේශනාව අසත්වා;
මෙසේ මෙහිදී භාග්යවතුන් වහන්සේ “යානිධ භූතානි සමාගතානි” යයි අනියමිත වචනයෙන් අමනුෂ්යයන් එක්කොට දක්වා නැවත “භුම්මානි වා යානිව අන්තලික්ඛෙ” යයි කොටස් දෙකකට වෙන් කොට දක්වා ඉන්පසු “සබ්බෙවභූතා” යයි නැවත එකක් කොට සළකා “සුමනා භවන්තු” යන මේ වචනයෙන් ආසය සම්පත්තියෙහි යොදවන්නාහු “සක්කච්චං සුණන්තු භාසිතං” යනුවෙන් ප්රයෝග සම්පත්තියෙහිද එසේම යෝනිසෝමනසිකාර සම්පත්තියෙහි ද පරතෝඝොස සම්පත්තියෙහි ද එසේම අත්තසම්මා පණිධි හා සප්පුරිස උපස්සය සම්පත්තීන්හිද සමාධි ප්රඥා හේතු සම්පත්තීන්හිද යොදවමින් ගාථාව නිම කළ සේක.
තස්මා හීතිගාථාවණ්ණනා
“තස්මා හි භූතා” යනු දෙවන ගාථාවයි. “තස්මා” යනු හේතු අර්ථය ඇති වචනයකි. “භූතා” යනු ආමන්ත්රණ වචනයකි. “නිසාමෙථ” යනු අසවු; “සබ්බෙ” යනු ඉතිරියක් නැතිව සියල්ලෝ; කුමක් දේශනා කරන ලද්දේ ද? යම් හෙයකින් නුඹලා දිව්යස්ථානය ද එහි උපභෝග සම්පත් ද අත්හැර මෙහි රැස්වූවාහු ධර්ම ශ්රවණය සඳහාමය. නළු නාටක දැකීම සඳහා නොවේ. එමනිසා සියලු භූතයෙනි, සවන් දෙවු යනුයි. නැතහොත් “සතුටු සිත් ඇත්තෝ වෙත්වා, සකසා අසත්වා” යන වචනය කරණ කොට ගෙන ඔවුන්ගේ සතුටු සිත් ඇති බවත් සකසා අසනු කැමති බවත් දැක වදාළහ. යම් හෙයකින් තෙපි සතුටු සිත් ඇති බව කරණ කොට ගෙන තම සිත මනාකොට පිහිටු වීම ද (අත්තසම්මාපණිධි) නුවණින් සිහි කිරීම ද (යොනිසො මනසිකාර) යන ආශ්රව ශුද්ධීන්ගෙන් ද සකසා අසනු කැමති බව නිසා සත් පුරුෂ ආශ්රය (සප්පුරිසුපස්සය) අනුන්ගෙන් ඇසීම (පරතොඝොස) ආසන්න කාරණය කොට ඇති බැවින් ප්රයෝග ශුද්ධීන්ගෙන් ද යුක්ත වූවාහුද, එහෙයින් භූතයෙනි, සියල්ලෝ කන් යොමු කරවු” යනුයි. නැතහොත් පළමු ගාථාව අවසානයෙහි “භාසිතං” යයි යමක් කියන ලද්දේ ද එය කරුණු වශයෙන් ගෙන හැර දක්වමින් වදාළහ. යම් හෙයකින් සියලු අක්ෂණයන් (අයෝග්ය අවස්ථා) දුරුකළ ක්ෂණයාගේ දුර්ලභත්වය නිසා මාගේ දේශනාවන් නම් ඉතාමත් දුර්ලභ වේ ද ප්රඥා, කරුණා ගුණයන් කරණකොට ගෙන පැවැත් වූ හෙයින් නොයෙක් ආනිසංස ඇත්තේ වේ ද ඒ ධර්මය දේශනා කරනු කැමැත්තේ මම “සුණන්තු භාසිතං” යයි වදාළෙමි. “තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ” යන ගාථා පදයෙන් මෙය වදාරන ලද්දේ වෙයි.