භගවතො නිමන්තනං
මේ වේසාලී නුවර භාග්යවතුන් වහන්සේ උපන් කාලයෙහි සමෘද්ධිමත් වූ විශාල නගරයක් විය. එහි රජවරුම හත් දහස් හත්සිය හතක් වූහ. යුවරාජ, සේනාපති, භාණ්ඩාගාරික ආදීහු ද එපමණ වූහ. එහෙයින් කීය.
“එසමයෙහි වේසාලී නගරය සමෘද්ධිමත් වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයා ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුවසේ ලැබිය හැකි ආහාරපාන ඇත්තේ ද වේ. හත්දහස් හත්සිය හතක් ප්රාසාදයෝ වෙති. හත් දහස් හත්සිය හතක් කුළු ගෙවල් වෙයි. ආරාම හෙවත් මල්වතු, උයන් වතු ද හත් දහස් හත්සිය හතකි. පොකුණු ද හත් දහස් හත්සිය හතකි.” (මහාවග්ගපාලි)
ඒ වේසාලී නගරය පසු කාලයක වර්ෂාව නොමැති ධාන්ය නොමැති දුර්භීක්ෂ හෙවත් ආහාරපාන හිඟ නගරයක් විය. පළමුව දුප්පත් මිනිස්සු මැරෙති. ඔවුහු පිටත බැහැර කරති. මළ මිනිසුන්ගේ කුණු ගඳින් අමනුෂ්යයෝ නගරයට පිවිසියහ. එයින් වැඩි වැඩියෙන් මිය යති. ඒ පිළිකුල නිසා සත්ත්වයන්ට අහිවාතක නම් වූ රෝගය වැළඳුණි. මෙසේ දුර්භික්ෂ, අමනුෂ්ය, රෝග යන තුන් බියෙන් උපද්රවයට පත් වේසාලී නගරවාසීහු රජු වෙත එළඹ මෙසේ කීහ. “මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් උපනි. මෙයින් පෙර සත්වෙනි රාජ කුල පරම්පරාව දක්වා මෙබඳු වූවක් නොවූ විරූය. නුඹ වහන්සේගේ අධාර්මික බව නිසා දැන් ඒ තුන්බිය හට ගත්තේ යයි හඟිමු” යනුවෙනි. රජතුමා සියල්ලන් රැස්වීම් ශාලාවෙහි රැස් කරවා “මාගේ අධාර්මික බව සොයවු” යයි කීහ. ඔවුහු සියලු ප්රවේණිය (පරම්පරාව) සොයන්නාහු කිසිවක් නොදුටුවහ.
ඉන්පසු රජුගේ දෝෂයක් නොදැක “අපගේ මේ භය කෙසේ සංසිඳවන්නේදැයි සිතූහ. එහි සමහරෙක් “මොවුන් පැමිණි පමණින්ම භය සන්සිදේ යයි ෂට් ශාස්තෲන් දැක්වූහ. සමහරු “බුදුරජාණන් වහන්සේ වනාහී ලෝකයෙහි උපන්නහ. ඒ මහත් සෘද්ධිමත් මහානුභාව සම්පන්න භාග්යවතුන් වහන්සේ සියලු සත්ත්වයන්ට හිත පිණිස ධර්මය දේශනා කරති. උන්වහන්සේ පැමිණි පමණින්ම සියලු භය සන්සිඳෙන්නේ යයි කීහ. ඔවුහු එයින් සතුටු සිත් ඇත්තන් වී “ඒ භාග්යවතුන් වහන්සේ දැනට කොහි වැඩ වෙසෙත්ද? අප (කිසිවෙකු) යැවූ කල්හි වැඩම කරන්නාහු දැයි ඇසූහ. ඉක්බිති සමහරෙක් “බුදුවරු නම් අනුකම්පා ඇත්තෝය. කුමක් හෙයින් නොපැමිණිනෙන්නාහුද? ඒ භාග්යවතුන් වහන්සේ වනාහී දැනට රජගහ නුවර වැඩ වෙසෙති. බිම්බිසාර රජ උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ රජතුමා උන්වහන්සේට වැඩම කිරීමට සමහර විට ඉඩ නොදෙන්නේ යයි” කීහ. එසේ නම් රජතුමාට කරුණු අවබෝධ කරවා වැඩම කරවන්නෙමුයි ලිච්ඡවී රජවරුන් දෙදෙනෙක් මහත් බලකාය සමග බොහෝ තුටු පඬුරු දී “බිම්බිසාර රජුට කරුණු අවබෝධ කරවා භාග්යවතුන් වහන්සේ වැඩම කරවාගෙන එවු” යයි කියා රජු සමීපයට යැවූහ.
ඔවුහු ගොස් රජුට පඬුරු පිරිනමා එම පුවත දන්වා “මහරජ, භාග්යවතුන් වහන්සේ අපගේ නගරයට එවනු මැනවැයි” කීහ. රජතුමා එය නොපිළිගත්තේය. “නුඹලාම දැන ගනිවු” යයි කීය. ඔවුහු භාග්යවතුන් වහන්සේ සමීපයට ගොස් වැඳ මෙසේ කීහ. “ස්වාමීනි, අපගේ නගරයෙහි ත්රිවිධ භයක් උපනි. ඉදින් භාග්යවතුන් වහන්සේ වැඩම කරන්නාහු නම් අපට යහපතක් වන්නේය” යනුවෙනි. භාග්යවතුන් වහන්සේ ආවර්ජනා කොට (නුවණින් විමසා) “වෙසාලියේ දී රතන සූත්රය දේශනා කළ කල්හි ඒ ආරක්ෂාව කෙළ ලක්ෂයක් සක්වල පැතිරෙන්නේය. සූත්ර දේශනාව අවසානයෙහි අසූහාර දහසක් ප්රාණින්ට ධර්මාවබෝධය වන්නේය”යි දැන ඉවසා වදාළහ. ඉක්බිති බිම්බිසාර රජතුමා භාග්යවතුන් වහන්සේගේ (ආරාධනාව) පිළිගැනීම අසා “භාග්යවතුන් වහන්සේ විසින් වේසාලියට වැඩම කිරිම පිළිගන්නා ලද්දේ යයි නගරයෙහි ප්රචාරය කරවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, වේසාලී නගරයට වැඩම කිරීම පිළිගත්තෙහුදැ”යි ඇසීය. “මහරජ, එසේය,” ස්වාමීනි, එසේ නම් මාර්ගය පිළියෙල කරන තෙක් බලාපොරොත්තුවෙන් සිටිනු මැනවි.