වෙසාලිවත්ථු
දැන් “යෙන යදා යත්ථ යස්මා චෙතං” යයි යමක් මෙහි කීවේද (එයට පිළිතුරු කියනු ලැබේ) කවරෙකු විසින් වනාහි මේ සූත්‍රය කියන ලද්දේ ද? කවදා, කොහිදී, කුමක් හෙයින් කියන ලද්දේ ද? මෙය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලදී. ශ්‍රාවකාදීන් විසින් නොවේ. එයද යම් දිනක දුර්භීක්ෂාදී උපද්‍රවයන්ගෙන් පීඩාවට පත් විශාලාවේ ලිච්ඡවීන් විසින් ආරාධනා කරනු ලැබ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සිට විශාලා මහනුවරට වැඩම කරවන ලද්දාහු එකල්හි විශාලා නුවරදී ඔවුන්ගේ උපද්‍රව නැති කරනු සඳහා දේශනා කරන ලදී. මේ ඒ ප්රශ්නයන්ගේ කෙටියෙන් විසඳීමයි. විස්තර වශයෙන් වනාහි විශාලා වස්තුවේ සිට පෝරාණයන් විසින් වර්ණනා කරනු ලැබේ.
මේ එහි වර්ණනාවයි - බරණැස රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ගැබක් පිහිටීය. ඇය එය දැන රජුට දැන්වීය. රජ ගැබ් පෙළහර දුනි. ඇය මැනවින් පරිහරණය කරන ගැබ් ඇත්තී ගැබ පිරිපුන් කල්හි සූතිකාගාරයට පිවිසියාය. පිනැත්තියන්ගේ දරුවා බිහිවීම අළුයම් කාලයෙහි වෙයි. ඇයද පිනැත්තියන්ගෙන් කෙනෙකි. එමනිසා අළුයම් වේලාවෙහි ලාකඩ වැස්මක් සහිත බදු වද මලක් බඳු මාංශ පේශියක් බිහි කළාය. ඉන්පසු “අනෙක් දේවීහු රන් පිළි රූ සමාන පුතුන් බිහි කරති. අග මෙහෙසිය බිහි කළේ මස් වැදැල්ලකැ”යි රජු ඉදිරියෙහි මා පිළිබඳව දෝෂාරෝපණ උපදින්නේ යයි සිතා ඒ දෝෂාරෝපණයන්ට බියෙන් ඒ මස් වැදැල්ල එක් භාජනයක දමා වෙනෙකකින් වසා රාජ මුද්‍රාවෙන් මුද්‍රා තබා ගඞ්ගා දියෙහි පා කර හැරියාය. මිනිසුන් මුදාහළ කෙණෙහිම දෙවියෝ ආරක්ෂාව සැපයූහ. රන් පටක රත්හිරියල්වලින් “බරණැස් රජුගේ අග මෙහෙසියගේ දරුවෝ යයි ලියා එහි බැන්දාහ. ඉක්බිති දියරැලි බිය ආදියෙන් උවදුරට පත් නොවූ ඒ භාජනය ගඟදිය පහරින් ගසාගෙන ගියේය.
එකල්හි එක්තරා තාපසයෙක් ගොපලු කුලයක් ඇසුරු කොට ගං තෙර වසයි. හෙතෙම උදැසනම ගඟට බැස්සේ ඒ භාජනය ගසාගෙන එනු දැක පාංශුකූල සංඥාවෙන් හෙවත් අයිතිකරුවෙකු නැතැයි යන හැඟීමෙන් ගත්තේය. ඉක්බිති එහි අක්ෂර පත්‍රිකාවත් රාජ මුද්‍රිකා ලාඤ්ඡනයත් දැක විවෘත කොට එහි ඇති ඒ මස් වැදැල්ල දිටීය. දැක ඔහුට මෙසේ සිත් විය. “දරු ගැබක් විය යුතුය. එසේ වුවත් මෙහි දුගඳක් හෝ කුණු වූ බවක් හෝ නොමැත.” යනුවෙනි. අසපුවට ගෙන ගොස් පිරිසිදු තැනක තැබීය. ඉක්බිති අඩමසක් ඇවෑමෙන් එය මස් වැදලි දෙකක් බවට පත්විය. තාපසයා එය දැක වඩාත් හොඳින් තැන්පත් කර තැබීය. ඉක්බිති නැවත අඩ මසක් ඇවෑමෙන් එක් එක් වැදැල්ලක අත් පා හිස සඳහා බිබිලි පහ බැගින් පැන නැංගේය. ඉක්බිති තවත් අඩ මසක් ඇවෑමෙන් එක් මස් වැදැල්ලක් රන් පිළිමයක් සමාන දරුවෙක් විය. අනෙක දැරියක් වූවාය. ඔවුන් කෙරෙහි තාපසයාට දරු සෙනෙහස පහළ විය. ඔහුගේ ඇඟිල්ලෙන් කිරි එරුණි. එතැන් පටන් කිරි හා බත් ලබයි ද හෙතෙම බත් අනුභව කොට කිරි දරුවන්ට පොවයි. ඒ දරුවන්ගේ උදරයට යමක් යමක් පිවිසෙයිද ඒ සියල්ල මැණික් බඳුනක දැමූවක් සේ පෙනෙන්නේය. මෙසේ ඡවි හෙවත් උඩ සම නැත යන අර්ථයෙන් නිච්ඡවී වූහ. සමහරු මෙසේ කීහ. මසා තැබුවාක් මෙන් ඔවුනොවුන්ගේ සම අප්‍රකට විය. මෙසේ ඔවුහු සමෙන් තොර වූ නිසා හෝ අප්‍රකට සම ඇති බැවින් හෝ “ලිච්ඡවී” යයි ප්‍රකට වූහ. යනුවෙනි.
තාපස තෙම දරුවන් පෝෂණය කරන්නේ හිරු නැගි කල්හි ගමට පිඬු පිණිස පිවිසෙයි. දහවල බොහෝ ඉක්ම ගිය පසු ආපසු පැමිණෙයි. තවුසාගේ මේ ක්‍රියා කලාපය දැන ගොපල්ලෝ “ස්වාමීනි, පැවිද්දන්ට දරුවන් පෝෂණය කරදරයකි. දරුවන් අපට දෙනු මැනව. අපි පෝෂණය කරන්නෙමු. නුඹ වහන්සේ තමන්ගේ කාර්ය්යයන් කරනු මැනවැ”යි කීහ. තාපසයා යහපතැයි පිළිතුරු දුනි. ගොපල්ලෝ දෙවන දවස්හි මාර්ගය සමකොට මල් විසුරුවා ධජපතාක ඔසවා තූර්ය වාදනය කරන කල්හි අසපුවට පැමිණියහ. තාපස තෙමේ “දරුවෝ මහ පිනැත්තෝය. සැළකිල්ලෙන් හදා වඩා ගනිවු. එසේ කොට ඔවුනොවුන් ආවාහ විවාහ කරවු. පස්ගෝ රසයෙන් රජු සතුටු කරවා භූමි භාගයක් ලබාගෙන එහි නගරයක් නිර්මාණය කරවු. එම නගරයෙහි කුමාරයා අභිෂේක කරවු” යයි කියා දරුවන් බාරදුනි. ඔවුහු යහපතැයි පිළිතුරු දී දරුවන් ගෙන ගොස් පෝෂණය කළහ.
දරුවෝ වැඩි වියට පත්වීමත් සමගම ක්‍රීඩා කරන්නාහු විවාද ස්ථානයන්හි අනෙක් ගොපලු දරුවන්ට පහර දෙති. ඔවුහු හඬති. “කුමකට හඩවුදැයි මව්පියන් විසින් අසන ලද්දාහු “මේ මව්පියන් නැති, තාපසයා විසින් පෝෂණය කරන ලද දරුවෝ අපට අතිශයින් පහර දෙති”යි කියති. ඉන්පසු ඔවුන්ගේ මව්පියෝ - “මේ දරුවෝ අනෙක් දරුවන් වෙහෙසට පත් කරති. දුකට පත් කරති. මොවුන්ට සංග්‍රහ නොකළ යුතුය. මොවුන් දුරු කළ යුතුය. මොවුන් දුරු කළ යුතු යයි කීහ. එතැන් පටන් ඒ ප්‍රදේශය “වජ්ජි” යයි කියනු ලැබේ. ප්‍රමාණයෙන් යොදුන් තුන් සීයකි. ඉක්බිති ගොපල්ලෝ රජු සතුටු කොට ඒ ප්‍රදේශය ලබා ගත්හ. එහි නගරයක් නිර්මාණය කොට සොළොස් හැවිරිදි කුමාරයා අභිෂේක කොට රජ කළහ. ඔහුට ඒ දැරිය සමග විවාහ නියම කොට “පිටතින් දැරියන් නොගෙනා යුතුය. මෙහෙන් දැරියන් කිසිවෙකුට නොදිය යුතුයැයි කතිකාවක් කළහ. ඔවුන්ගේ පළමු සංවාසයෙන් දුවක හා පුතෙකු වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. මෙසේ සොළොස් වතාවක්ම දෙදෙනා බැගින් ම උපන්නහ. ඉන්පසු ක්‍රමයෙන් වැඩෙන ඒ දරුවන්ට ආරාම, උද්‍යාන, නිවාසස්ථාන, පරිවාර සම්පත්ති ගැනීමට ප්‍රමාණවත් නොවන ඒ නගරය තෙවරක් අතරත ගව්වක් පමණවූ, අතරත ගව්වක් පමණ වූ පවුරකින් වට කළහ. ඒ නගරය නැවත නැවත මෙසේ විශාල කළ බැවින් “වෙසාලී” යයි නමක් ඇතිවිය. මේ වෙසාලී කථා වස්තුවයි.
භගවතො නිමන්තනං
මේ වේසාලී නුවර භාග්‍යවතුන් වහන්සේ උපන් කාලයෙහි සමෘද්ධිමත් වූ විශාල නගරයක් විය. එහි රජවරුම හත් දහස් හත්සිය හතක් වූහ. යුවරාජ, සේනාපති, භාණ්ඩාගාරික ආදීහු ද එපමණ වූහ. එහෙයින් කීය.
“එසමයෙහි වේසාලී නගරය සමෘද්ධිමත් වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයා ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුවසේ ලැබිය හැකි ආහාරපාන ඇත්තේ ද වේ. හත්දහස් හත්සිය හතක් ප්‍රාසාදයෝ වෙති. හත් දහස් හත්සිය හතක් කුළු ගෙවල් වෙයි. ආරාම හෙවත් මල්වතු, උයන් වතු ද හත් දහස් හත්සිය හතකි. පොකුණු ද හත් දහස් හත්සිය හතකි.” (මහාවග්ගපාලි)