යානීධාතිගාථාත්තයවණ්ණනා
ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ - භාග්‍යවතුන් වහන්සේ විසින් රත්නත්‍රය ගුණය ඇසුරු කොට සත්‍යය වචනය යොදනු ලබන්නේ නගරයට යහපත කරන ලදී. මා විසින් ද නගරයට යහපත සඳහා රත්නත්‍රය ගුණය ඇසුරු කොට යම් කිසිවක් කිව යුතුයයි සිතා අවසාන ගාථා තුන “යානීධ භූතානි” යයි කීය. එහි යම්හෙයකින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිත පිණිස උත්සාහවත් භාවයට පැමිණියවුන් විසින් යම්සේ ආ යුතු ද එසේ පැමිණි හෙයින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ නාම රූපයන්ගේ නියම ස්වභාවය දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද චතුරාර්‍ය්‍ය සත්‍යය යම්සේ දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද යමක් යම් අයුරකින් වේ ද එය එලෙසම ප්‍රකාශ කරන හෙයින් ද “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් උන්වහන්සේ දෙවි මිනිසුන් විසින් මල්, සුවඳ ආදී බාහිරව හටගත් උපකරණයෙන් ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති ආදී තමා තුළ හටගත් ගුණයෙන් ද අතිශයින් පුදන ලද්දාහු වෙත් ද එහෙයින් ශක්‍රදේවේන්ද්‍ර තෙමේ සියලු දේව පිරිස තමා සමඟ එක් කොට “තථාගතං දෙවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්‍ථි හොතු” යයි කීය.
යම් හෙයකින් වනාහී ධර්‍මයෙහි මාර්‍ග ධර්‍මය - එකට සම්බන්ධ සමථ විදර්ශනා බලයෙන් ක්ලේශ පක්‍ෂය සහමුලින් සිඳ යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් = තථාගත වේ. නිර්‍වාණ ධර්‍මය ද ඒ වූ පරිද්දෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේම සියලු දුක් නැසීම පිණිස පවතී ද බුද්ධාදී උතුමන් විසින් එසේ අවබෝධ කර ගන්නා ලදී. එහෙයින් ධර්‍මය “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් සංඝයා ද යම්සේ ආත්ම හිත පිණිස පිළිපන්නවුන් විසින් යා යුතු ද ඒ ඒ මාර්‍ගයෙන් එසේ ගියේය. එනිසා “තථාගත” යයිම කියනු ලැබේ. එමනිසා අවසාන ගාථා දෙකෙහි ද “තථාගතං ධම්මං නමස්සාම සුවත්‍ථි හොතු - තථාගතං සංඝං නමස්සාම සුවත්‍ථි හොතු” (තථාගත ධර්‍මය වඳින්නෙමු; යහපතක් වේවා; තථාගත සංඝයා වඳින්නෙමු; යහපතක් වේවා) යයි කියන ලදී. ඉතිරිය කියන ලද අයුරින්මය.
මෙසේ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මේ තුන ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කොට දෙව් පිරිස සමඟ දේව පුරයටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ රතන සූත්‍රයම දෙවන දවසෙහි ද දේශනා කළහ. නැවත අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය. මෙසේ සත්වන දවස දක්වා දේශනා කළහ. දවසක් දවසක් පාසා දේශනාව අවසානයෙහි එලෙසින්ම ධර්‍මාවබෝධය සිදුවිය. භාග්‍යවතුන් වහන්සේ අඩ මසක්ම විශාලා නුවර වැඩ වාසය කොට “යමු”යි රජුන්ට දැන්වූහ. ඉක්බිති රජවරු දෙගුණයක් වූ සත්කාර සහිතව නැවත දවස් තුනකින් භාග්‍යවතුන් වහන්සේ ගං තෙරට පැමිණ වූහ. ගඟෙහි උපන් නා රජවරු ද මෙසේ සිතූහ; “මිනිස්සු ශාස්තෲන් වහන්සේට සත්කාර කරති; අපි කුමක් හෙයින් නොකරන්නෙමුදැ යි සිතා රන්, රිදී, මැණික් මුවා නැව් මවා රන්, රිදී, මැණික් මුවාම අසුන් පනවා ජලය පස්වන් පියුමෙන් ගැවසුණක් කොට අපට අනුග්‍රහ කරනු මැනැවැයි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරා රුවන් මුවා නැවට නැංගාහ. පන්සීයක් භික්ෂුහු ද පන්සීයක් නැව්වලට නැංගාහ. නා රජවරු භික්ෂු සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ නාග භවනට පිවිසවූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියලු රාත්‍රියෙහි නාග පිරිසට ධර්‍මය දේශනා කළහ. දෙවන දවසෙහි දිව්‍යමය කෑ යුතු දෙයින් හා බුදිය යුතු දෙයින් මහ දන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා ධර්‍මය දේශනා කොට නාග භවනයෙන් නික්මුණහ.
භූම්‍යස්ථ දෙවියෝ ද, මිනිස්සු ද, නාගයෝ ද තථාගතයන් වහන්සේට සත්කාර කරති. අපි කුමක් හෙයින් නොකරන්නෙමුදැයි සිතා වන ලැහැබ් ගස් පර්වත ආදියෙහි කුඩ මත කුඩ එසවූහ. මේ ක්‍රමයට අකනිටා බඹලොව තෙක් මහත් සත්කාර විශේෂයක් හටගති. බිම්බිසාර රජතුමා ලිච්ඡවීන් විසින් ආපසු වඩින කල්හි කරන ලද සත්කාරයන්ට වඩා දෙගුණයක් කොට සත්කාර කළේය. පෙර කී අයුරින්ම දින පහකින් භාග්‍යවතුන් වහසේ රජගහ නුවරට වැඩම කරවීය.
භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ කල්හි සවස් කාලයෙහි මණ්ඩලමාලයෙහි (ධර්‍ම සභා ශාලාවෙහි) රැස් වූ භික්ෂූන් අතර මේ අතුරු කථාව හටගති. “ගංඟාවේ මෙතෙරින්ද එතෙරින්ද අට යොදුන් භූමි භාගය බෑවුම් සහ ගොඩබිම් සම කොට වැලි විසුරුවා මල්වලින් ගැවසී ගත්තේ අකනිටා බඹලොව දක්වා කුඩ මත කුඩ ඔසවන ලද්දේ යමෙකු උදෙසා ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය අහෝ, පුදුමයි” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ ඒ පුවත දැන ගඳ කිළියෙන් නික්ම එම අවස්ථාවන්ට ගැළපෙන පෙළහරින් වැඩම කොට මණ්ඩල මාලයෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. “මහණෙනි, දැන් මෙහි රැස්වූවාහු කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුද? යනුවෙනි. භික්ෂූහු සියල්ල දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ; “මහණෙනි, මේ පූජා විශේෂය මාගේ බුද්ධානුභාවයෙන් හටගත්තේ නොවේ. නාග දේව බ්‍රහ්මයන්ගේ ආනුභාවයෙන් ද නොවේ. තවද පෙර ආත්ම භාවයක කළ ස්වල්ප වූ පරිත්‍යාගයක ආනුභාවයෙන් හටගත්තේය යනුයි. භික්ෂූහු මෙසේ කීහ; “ස්වාමීනි, අපි ඒ ස්වල්පමාත්‍ර වූ පරිත්‍යගය නොදනිමු. යම්සේ අපි එය දැන ගනිමුද භාග්‍යවතුන් වහන්සේ අපට එසේ දේශනා කරන්නාහු නම් යහපති” යනුයි.