ඛීණන්තිගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ පර්යාප්ති ධර්මයත් නව ලෝකෝත්තර ධර්මයත් ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්යය වදාරා දැන් යමෙක් ඒ පර්යාප්ති ධර්මය ඇසුවාහු ද ඇසූ ධර්මය අනුසාරයෙන් පිළිපැද නව ප්රකාර වූ ද ලෝකෝත්තර ධර්මය අවබෝධ කළාහු ද ඔවුන්ගේ අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමේ ගුණය ඇසුරු කොට නැවත සංඝාධිෂ්ඨාන සත්යය “ඛීණං පුරාණං” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “ඛීණං” යනු සිඳින ලද; ‘පුරාණං’ යනු පැරණි වූ; ‘නවං’ යනු දැනට පවතින; ‘නත්ථි සම්භවං’ යනු හටගැනීමක් නොමැති; “විරත්ත චින්තා” යනු පහවූ රාග සිත් ඇත්තෝ; ‘ආයතිකෙ භවස්මිං’ යනු අනාගත සංසාරයෙහි නැවත ඉපදීමෛහි; ‘තෙ’ යනු යමෙකුගේ පුරාණ කර්ම ක්ෂය වූයේ වේ ද වර්තමාන කාලික කර්ම හට ගැනීමක් නැත්තේ වේ ද යමෙක් අනාගත භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්ෂීණාශ්රව භික්ෂූහු, ‘ඛීණඛීජා’ යනු සිඳින ලද බීජ ඇත්තාහු; ‘අවිරුළ්හිච්ඡන්දා’ යනු නැවත ඉපදීමෙහි කැමැත්තෙන් තොර වූවාහු; ‘නිබ්බන්ති’ යනු නිරුද්ධ වෙති; ‘ධීරා’ යනු ධෛර්ය්යයෙන් යුක්ත වුවෝ; ‘යථායම්පදීපො’ යනු මේ පහන මෙන්;
කුමක් දේශනා කරන ලද්දේ වේද? සත්ත්වයන් ඉපිද නිරුද්ධ වූයේ නමුදු ඔවුන්ගේ පැරණි අතීතකාලික යම් කර්මයක් වේ ද එය තණ්හා සෙනෙහස ප්රවීණ නොවූ නිසා ප්රතිසන්ධිය ගෙන දීමට සමර්ථ බැවින් ක්ෂය නොවූයේම වෙයි. අර්හත් මාර්ගයෙන් යමෙකුගේ තණ්හා සෙනෙහස වියලවන ලද බැවින් ඒ පුරාණ කර්මය ගින්නෙන් දැවුණු බීජයක් මෙන් මත්තෙහි විපාක දීමට අසමත් බැවින් ක්ෂීණ වූයේ වෙයි. ඔවුන්ගේ යම් බුද්ධ පූජා ආදී වශයෙන් දැන් පවත්නා කර්මයක් ‘නවං’ යයි කියනු ලැබේද එය ද තණ්හාව ප්රහාණය කිරීමත් සමගම සිඳින ලද මුල් ඇති ගසක මල් මෙන් මත්තෙහි ඵල ගෙන දීමෙහි අසමත් බැවින් යමෙකුට නැවත හට ගැනීමක් නැත්තේ ද යමෙක් තණ්හා ප්රහාණයත් සමගම මතු භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්ෂීණාශ්රව භික්ෂූහු “කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජං” (කර්මය කෙතයි, විඥානය බීජයයි) යනුවෙන් මෙහි දේශනා කරන ලද ප්රතිසන්ධි විඥානය කර්මය ක්ෂයවීමත් සමඟම ක්ෂය වූ බැවින් “ඛීණඛීජා” වෙති. පෙර පුනර්භව සඞ්ඛ්යාත වර්ධනයෙහි යම් කැමැත්තක් වූයේ ද එයද සමුදය ප්රහාණය සමගම ප්රහීණ වූ බැවින් පෙර මෙන් වු කාලයෙහි හට නොගැනීමෙන් මතු භවයෙහි නොවැඩුණු කැමැත්ත ඇත්තේ වේ. ධෛර්ය්ය සම්පන්න බැවින් ‘ධීරා’ වේ. යම්සේ මේ පහන නිවුණේ ද එසේම අවසන් විඥානය නිරුද්ධ වීමෙන් නිවෙති. නැවත රූපී වූවෝ හෝ අරූප වූවෝ හෝ යන මේ ආදී පැණවීම් ඉක්මවා යති යනුයි. එකල්හි නගර දේවතාවන්ට පූජා පිණිස දල්වන ලද පහන් අතුරෙන් එක් පහනක් නිවුණේය. එය දක්වමින් “යථායම්පදීපො” යයි වදාළහ.
මෙසේ භාග්යවතුන් වහන්සේ යමෙක් පෙර ගාථා දෙකෙන් ප්රකාශිත ඒ පර්ය්යප්ති ධර්මය ඇසුවාහුද අසන ලද ආකාරයෙන්ම පිළිපැද නවප්රකාර වූ ද ලෝකෝත්තර ධර්මය අවබෝධ කළාහුද උන්වහන්සේලාගේ අනුපාදිශේෂ නිර්වාණප්රාප්ති ගුණය දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සංඝාධිෂ්ඨාන සත්ය වචනය යොදන්නාහු. “ඉදම්පි සංඝෙ” යයි දේශනාව නිමා කළ සේක. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී කියන ලද ආකාරයට ක්ෂීණාශ්රව භික්ෂූන්ගේ නිර්වාණ සඞ්ඛ්යාත “ඉදම්පි සංඝෙ රතනං පණීතං” මේ රත්නභාවය ද සංඝයා කෙරෙහි උතුම් වේ යයි මෙසේ පද පිළිවෙල යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
දේශනාව කෙළවර රාජකුළයට යහපත විය. සියලු උපද්රවයෝ සංසිඳුණාහ. අසූහාර දහසක් ප්රාණීන්ට ධර්මාවබෝධය විය.
යානීධාතිගාථාත්තයවණ්ණනා
ඉක්බිති ශක්ර දේවේන්ද්ර තෙමේ - භාග්යවතුන් වහන්සේ විසින් රත්නත්රය ගුණය ඇසුරු කොට සත්යය වචනය යොදනු ලබන්නේ නගරයට යහපත කරන ලදී. මා විසින් ද නගරයට යහපත සඳහා රත්නත්රය ගුණය ඇසුරු කොට යම් කිසිවක් කිව යුතුයයි සිතා අවසාන ගාථා තුන “යානීධ භූතානි” යයි කීය. එහි යම්හෙයකින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිත පිණිස උත්සාහවත් භාවයට පැමිණියවුන් විසින් යම්සේ ආ යුතු ද එසේ පැමිණි හෙයින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ නාම රූපයන්ගේ නියම ස්වභාවය දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද චතුරාර්ය්ය සත්යය යම්සේ දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද යමක් යම් අයුරකින් වේ ද එය එලෙසම ප්රකාශ කරන හෙයින් ද “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් උන්වහන්සේ දෙවි මිනිසුන් විසින් මල්, සුවඳ ආදී බාහිරව හටගත් උපකරණයෙන් ද ධර්මානුධර්ම ප්රතිපත්ති ආදී තමා තුළ හටගත් ගුණයෙන් ද අතිශයින් පුදන ලද්දාහු වෙත් ද එහෙයින් ශක්රදේවේන්ද්ර තෙමේ සියලු දේව පිරිස තමා සමඟ එක් කොට “තථාගතං දෙවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු” යයි කීය.
යම් හෙයකින් වනාහී ධර්මයෙහි මාර්ග ධර්මය - එකට සම්බන්ධ සමථ විදර්ශනා බලයෙන් ක්ලේශ පක්ෂය සහමුලින් සිඳ යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් = තථාගත වේ. නිර්වාණ ධර්මය ද ඒ වූ පරිද්දෙන් ප්රඥාවෙන් අවබෝධ කරන ලද්දේම සියලු දුක් නැසීම පිණිස පවතී ද බුද්ධාදී උතුමන් විසින් එසේ අවබෝධ කර ගන්නා ලදී. එහෙයින් ධර්මය “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් සංඝයා ද යම්සේ ආත්ම හිත පිණිස පිළිපන්නවුන් විසින් යා යුතු ද ඒ ඒ මාර්ගයෙන් එසේ ගියේය. එනිසා “තථාගත” යයිම කියනු ලැබේ. එමනිසා අවසාන ගාථා දෙකෙහි ද “තථාගතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු - තථාගතං සංඝං නමස්සාම සුවත්ථි හොතු” (තථාගත ධර්මය වඳින්නෙමු; යහපතක් වේවා; තථාගත සංඝයා වඳින්නෙමු; යහපතක් වේවා) යයි කියන ලදී. ඉතිරිය කියන ලද අයුරින්මය.