වරො වරඤ්ඤූතිගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ පර්යාප්ති ධර්මය කරණ කොට ගෙන බුද්ධාධිෂ්ඨාන සත්ය දේශනා කොට දැන් ලෝකෝත්තර ධර්මය කරණ කොට ගෙන “වරො වරඤ්ඤු” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “වරො” යනු ප්රණීතාධිමුත්තිකයන් විසින් “අහෝ ඒකාන්තයෙන් අපිද මෙවැන්නෝ වෙමුයි”යි කැමති වූ; නැතහොත් උතුම් ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘වරො’ වේ. උත්තම වූ ශ්රේෂ්ඨ වූ යන අර්ථයයි. “වරඤ්ඤු” යනු නිර්වාණය දත්, නිර්වාණය වනාහි සියලු ධර්මයන්ට උත්තම අර්ථයෙන් ‘වරං’ වේ. එය බුදුන් වහන්සේ බෝ මුලදී තෙම්ම ප්රතිවේධ කොට දැන ගත්හ. ‘වරදො’ යනු පඤ්ච වග්ගිය, භද්ද වග්ගිය, ජටිලාදීන්ට ද අනෙකුත් දෙවි මිනිසුන්ට ද නිර්වාණ භාග්යය හා වාසනා භාග්යය ගෙන දෙන උතුම් ධර්මය දෙන යන අර්ථයයි. “වරාහරො” යනු උතුම් වූ නිර්වාණ ගාමිණී ප්රතිදාව ගෙන දෙන හෙයින් “වරාහරො” යයි කියනු ලැබේ. ඒ භාග්යවතුන් වහන්සේ වනාහී දීඞ්පකර බුදුරජාණන් වහන්සේගේ පටන් සමතිස් පෙරුම් දම් පුරන්නාහු පැරණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් අනුව ගිය පැරණි උතුම් නිවන් මඟ ගෙන වැඩි සේක. එහෙයින් ‘වරාහරො’ යයි කියනු ලැබේ.
තවද සර්වඥතා ඥාන ප්රතිලාභයෙන් = ‘වරො’ වේ. නිර්වාණය ප්රත්යක්ෂ කළ බැවින් ‘වරඤ්ඤු’ වේ. සත්ත්වයන්ට විමුක්ති සැපය දෙන බැවින් = ‘වරදො’ වේ. උතුම් වූ ප්රතිපදාව ගෙන වැඩි නිසා = ‘වරාහරො’ වේ. මේ ලෝකොත්තර ගුණයන්ගෙන් භාග්යවතුන් වහන්සේට අධික වූ කිසිවෙක් නොමැති හෙයින් ‘අනුත්තරො’ වේ.
තවත් ක්රමයකි. උපසම අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරො’ වේ. ප්රඥා අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරඤ්ඤු’ වේ. ත්යාග අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරදො’ වේ. සත්ය අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් උතුම් මාර්ග සත්ය ගෙන වැඩි හෙයින් “වරාහරො” වේ. එසේම පිනෙන් උසස් බැවින් ‘වරො’ වේ. ප්රඥාවෙන් උසස් බැවින් “වරඤ්ඤු” වේ. බුදු බව පතන අයට එයට මඟ සළසා දෙන නිසා ‘වරදො’ වේ. පසේ බුදු බව පතන අයට එය මඟ ගෙන වැඩි බැවින් “වරාහරො” වේ. ඒ ඒ තැන තමන් හා සමාන කෙනෙක් නැති බැවින් හෝ තමා ගුරුවරයෙකු නැති කෙනෙක් වී අනුන්ට ගුරුවරයෙකු වන හෙයින් “අනුත්තරො” වේ. ශ්රාවක භාවය කැමති අයට ඒ සඳහා ස්වක්ඛාත ආදී ගුණයන්ගෙන් යුත් උතුම් ධර්මය දේශනා කරන හෙයින් “ධම්මවරං අදෙසයී” වේ. ඉතිරි පද ඉහත කී අයුරින්මය.
මෙසේ භාග්යවතුන් වහන්සේ නව විධ වූ ලෝකෝත්තර ධර්මය කරණ කොට ගෙන තමන් වහන්සේගේ ගුණ වදාරා දැන් එම ගුණයම ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්යය “ඉදම්පි බුද්ධෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී යම් උතුම් ලෝකෝත්තර ධර්මයක් උන්වහන්සේ දැන ගත් සේක් ද යමක් දුන් සේක් ද යමක් ගෙන වැඩි සේක් ද යමක් දේශනා කළ සේක් ද “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං” බුදුන් වහන්සේ කෙරෙහි මේ රත්නභාවය ද උතුම් වේ යයි මෙසේ පද පිළිවෙළ යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
ඛීණන්තිගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ පර්යාප්ති ධර්මයත් නව ලෝකෝත්තර ධර්මයත් ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්යය වදාරා දැන් යමෙක් ඒ පර්යාප්ති ධර්මය ඇසුවාහු ද ඇසූ ධර්මය අනුසාරයෙන් පිළිපැද නව ප්රකාර වූ ද ලෝකෝත්තර ධර්මය අවබෝධ කළාහු ද ඔවුන්ගේ අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමේ ගුණය ඇසුරු කොට නැවත සංඝාධිෂ්ඨාන සත්යය “ඛීණං පුරාණං” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “ඛීණං” යනු සිඳින ලද; ‘පුරාණං’ යනු පැරණි වූ; ‘නවං’ යනු දැනට පවතින; ‘නත්ථි සම්භවං’ යනු හටගැනීමක් නොමැති; “විරත්ත චින්තා” යනු පහවූ රාග සිත් ඇත්තෝ; ‘ආයතිකෙ භවස්මිං’ යනු අනාගත සංසාරයෙහි නැවත ඉපදීමෛහි; ‘තෙ’ යනු යමෙකුගේ පුරාණ කර්ම ක්ෂය වූයේ වේ ද වර්තමාන කාලික කර්ම හට ගැනීමක් නැත්තේ වේ ද යමෙක් අනාගත භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්ෂීණාශ්රව භික්ෂූහු, ‘ඛීණඛීජා’ යනු සිඳින ලද බීජ ඇත්තාහු; ‘අවිරුළ්හිච්ඡන්දා’ යනු නැවත ඉපදීමෙහි කැමැත්තෙන් තොර වූවාහු; ‘නිබ්බන්ති’ යනු නිරුද්ධ වෙති; ‘ධීරා’ යනු ධෛර්ය්යයෙන් යුක්ත වුවෝ; ‘යථායම්පදීපො’ යනු මේ පහන මෙන්;
කුමක් දේශනා කරන ලද්දේ වේද? සත්ත්වයන් ඉපිද නිරුද්ධ වූයේ නමුදු ඔවුන්ගේ පැරණි අතීතකාලික යම් කර්මයක් වේ ද එය තණ්හා සෙනෙහස ප්රවීණ නොවූ නිසා ප්රතිසන්ධිය ගෙන දීමට සමර්ථ බැවින් ක්ෂය නොවූයේම වෙයි. අර්හත් මාර්ගයෙන් යමෙකුගේ තණ්හා සෙනෙහස වියලවන ලද බැවින් ඒ පුරාණ කර්මය ගින්නෙන් දැවුණු බීජයක් මෙන් මත්තෙහි විපාක දීමට අසමත් බැවින් ක්ෂීණ වූයේ වෙයි. ඔවුන්ගේ යම් බුද්ධ පූජා ආදී වශයෙන් දැන් පවත්නා කර්මයක් ‘නවං’ යයි කියනු ලැබේද එය ද තණ්හාව ප්රහාණය කිරීමත් සමගම සිඳින ලද මුල් ඇති ගසක මල් මෙන් මත්තෙහි ඵල ගෙන දීමෙහි අසමත් බැවින් යමෙකුට නැවත හට ගැනීමක් නැත්තේ ද යමෙක් තණ්හා ප්රහාණයත් සමගම මතු භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්ෂීණාශ්රව භික්ෂූහු “කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජං” (කර්මය කෙතයි, විඥානය බීජයයි) යනුවෙන් මෙහි දේශනා කරන ලද ප්රතිසන්ධි විඥානය කර්මය ක්ෂයවීමත් සමඟම ක්ෂය වූ බැවින් “ඛීණඛීජා” වෙති. පෙර පුනර්භව සඞ්ඛ්යාත වර්ධනයෙහි යම් කැමැත්තක් වූයේ ද එයද සමුදය ප්රහාණය සමගම ප්රහීණ වූ බැවින් පෙර මෙන් වු කාලයෙහි හට නොගැනීමෙන් මතු භවයෙහි නොවැඩුණු කැමැත්ත ඇත්තේ වේ. ධෛර්ය්ය සම්පන්න බැවින් ‘ධීරා’ වේ. යම්සේ මේ පහන නිවුණේ ද එසේම අවසන් විඥානය නිරුද්ධ වීමෙන් නිවෙති. නැවත රූපී වූවෝ හෝ අරූප වූවෝ හෝ යන මේ ආදී පැණවීම් ඉක්මවා යති යනුයි. එකල්හි නගර දේවතාවන්ට පූජා පිණිස දල්වන ලද පහන් අතුරෙන් එක් පහනක් නිවුණේය. එය දක්වමින් “යථායම්පදීපො” යයි වදාළහ.