වනප්පගුම්බෙතිගාථාවණ්ණනා
මෙසේ සංඝයාට ඇතුළත් පුද්ගලයන්ගේ ඒ ඒ ගුණයන් අනුව සංඝාධිෂ්ඨාන සත්‍යය වදාරා දැන් රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහි කෙටියෙන් ද වෙනත් තැන්වල විස්තර වශයෙන් ද යම් මේ පර්යාප්ති ධර්මයක් දේශනා කරන ලද්දේ ද එය ද ඇසුරු කොට නැවත බුද්ධාධිෂ්ඨාන සත්‍යය “වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි ආසන්නව පැවතීම ස්වභාව කොට ඇති වෘක්ෂයන්ගේ සමූහය “වන” නම් වේ. මුල්, හර, එළය, පොතු, අතු, කොළ යන මේවායින් ගැවසීගත් පඳුර = පගුම්බ වේ. වනයෙහි වූ පගුම්බය = වනප්පගුම්බො වේ. එයම “වනප්පගුම්බෙ” යයි කියන ලදී. “අත්‍ථි සවිතක්කසවිචාරෙ අත්‍ථි අවිතක්ක විචාර මත්තෙ” “සුඛෙ දුක්ඛෙ ජීවෙ” ආදී තන්හි මෙන් මෙසේ ද කීමට හැකිය. “යථා” යනු උපමාවාචී පදයකි. පිපුණු අග් ඇත්තෙනුයි = ඵුස්සිතග්ගෙ” වේ. සියලු ශාඛා අනුශාඛාවන්හි හටගත් මල් ඇති යන අර්ථයයි. එය පෙර කී අයුරින්ම “ඵුස්සිතග්ගෙ” යයි කියන ලදී. “ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ” යනු ගිම්හාන සෘතුවට අයත් යම් මාස හතරක් වේ ද ඒ ගිම්හාන සෘතුවට අයත් මාස හතරෙන් එක් මාසයක; කවර මාසයකද යත්? ගිම්හාන සෘතුවෙහි පළමුවෙනි බක්මස යන අර්ථයයි. එම මාසය වනාහී “පඨම ගිම්හ” යයි ද “බාලවසන්ත” යයි ද කියනු ලැබේ. ඉන් අනතුරු පදයන්ගේ අර්ථය ප්‍රකටමය.
මේ වනාහී පිණ්ඩාර්ථයයි! යම්සේ “පඨමගිම්හ” නම් වූ බාලවසන්ත මාසයෙහි නානාවිධ වෘක්‍ෂයන්ගෙන් ගහණ වූ වනයෙහි මැනවින් පිපුණු අග් ඇති ශාඛාවන්ගෙන් යුත් තරුණ වෘක්‍ෂ පැළෑටියන්ගෙන් සමන්විත පගුම්බය හෙවත් ලැහැබ අතිශයින් සශ්‍රීක වෙයි ද එසේම මේ ස්කන්ධ ආයතන ආදියෙන්ද සතිපට්ඨාන සම්මප්‍රධාන ආදියෙන් ද ශීල සමාධිස්කන්ධ ආදියෙන් ද නැතහොත් නොයෙක් ආකාර වූ අර්ථ ප්‍රභේද පුෂ්පයන්ගෙන් අතිශයින් සශ්‍රීක බැවින් “තථූපමං” ඒ වන ලැහැබට සමාන වූ ද නිර්‍වාණගාමී මාර්ගය හෙළි කරන හෙයින් “නිබ්බාණගාමිං” නිවනට පමුණුවන්නා වූ ද පරියත්ති “ධම්මවරං” උතුම් පර්‍ය්‍යාප්ති ධර්‍මය ලාභ හේතුවෙන් ද නොව සත්කාරාදී හේතුවෙන් ද නොව හුදෙක් මහා කරුණාවෙන් අතිශයින් උත්සාහවන්ත වූ හද ඇත්තාහු සත්ත්වයන්ට “පරමං හිතාය අදෙසයී” ඉහළම යහපත පිණිස දේශනා කළ සේක යනුයි. “පරමං හිතාය” යන මෙහිද අනුනාසිකය ගාථා ප්‍රබන්ධය සුබෝච්චාරණය සඳහාය. එහි අර්ථය මෙසේය. පරම හිත වූ නිර්වාණය පිණිස දේශනා කළ සේක යනුයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සුපිපුණු අග ඇති වන ලැහැබ සමාන පරියාප්ති ධර්මය දේශනා කොට දැන් එයම ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්‍ය වචනය “ඉදම්පි බුද්ධෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී කියන ලද ආකාර ඇති පරියාප්ති ධර්ම සඞ්ඛ්‍යාත “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං” මේ රත්නභාවය ද බුදුන් වහන්සේ කෙරෙහි උතුම් වේ යයි මෙසේ යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.
වරො වරඤ්ඤූතිගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පර්යාප්ති ධර්මය කරණ කොට ගෙන බුද්ධාධිෂ්ඨාන සත්‍ය දේශනා කොට දැන් ලෝකෝත්තර ධර්මය කරණ කොට ගෙන “වරො වරඤ්ඤු” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “වරො” යනු ප්‍රණීතාධිමුත්තිකයන් විසින් “අහෝ ඒකාන්තයෙන් අපිද මෙවැන්නෝ වෙමුයි”යි කැමති වූ; නැතහොත් උතුම් ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘වරො’ වේ. උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ යන අර්‍ථයයි. “වරඤ්ඤු” යනු නිර්‍වාණය දත්, නිර්‍වාණය වනාහි සියලු ධර්‍මයන්ට උත්තම අර්‍ථයෙන් ‘වරං’ වේ. එය බුදුන් වහන්සේ බෝ මුලදී තෙම්ම ප්‍රතිවේධ කොට දැන ගත්හ. ‘වරදො’ යනු පඤ්ච වග්ගිය, භද්ද වග්ගිය, ජටිලාදීන්ට ද අනෙකුත් දෙවි මිනිසුන්ට ද නිර්‍වාණ භාග්‍යය හා වාසනා භාග්‍යය ගෙන දෙන උතුම් ධර්‍මය දෙන යන අර්‍ථයයි. “වරාහරො” යනු උතුම් වූ නිර්‍වාණ ගාමිණී ප්‍රතිදාව ගෙන දෙන හෙයින් “වරාහරො” යයි කියනු ලැබේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී දීඞ්පකර බුදුරජාණන් වහන්සේගේ පටන් සමතිස් පෙරුම් දම් පුරන්නාහු පැරණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් අනුව ගිය පැරණි උතුම් නිවන් මඟ ගෙන වැඩි සේක. එහෙයින් ‘වරාහරො’ යයි කියනු ලැබේ.
තවද සර්‍වඥතා ඥාන ප්‍රතිලාභයෙන් = ‘වරො’ වේ. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් ‘වරඤ්ඤු’ වේ. සත්ත්වයන්ට විමුක්ති සැපය දෙන බැවින් = ‘වරදො’ වේ. උතුම් වූ ප්‍රතිපදාව ගෙන වැඩි නිසා = ‘වරාහරො’ වේ. මේ ලෝකොත්තර ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට අධික වූ කිසිවෙක් නොමැති හෙයින් ‘අනුත්තරො’ වේ.
තවත් ක්‍රමයකි. උපසම අධිෂ්ඨානය සම්පූර්‍ණ කිරීම් වශයෙන් ‘වරො’ වේ. ප්‍රඥා අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරඤ්ඤු’ වේ. ත්‍යාග අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරදො’ වේ. සත්‍ය අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් උතුම් මාර්ග සත්‍ය ගෙන වැඩි හෙයින් “වරාහරො” වේ. එසේම පිනෙන් උසස් බැවින් ‘වරො’ වේ. ප්‍රඥාවෙන් උසස් බැවින් “වරඤ්ඤු” වේ. බුදු බව පතන අයට එයට මඟ සළසා දෙන නිසා ‘වරදො’ වේ. පසේ බුදු බව පතන අයට එය මඟ ගෙන වැඩි බැවින් “වරාහරො” වේ. ඒ ඒ තැන තමන් හා සමාන කෙනෙක් නැති බැවින් හෝ තමා ගුරුවරයෙකු නැති කෙනෙක් වී අනුන්ට ගුරුවරයෙකු වන හෙයින් “අනුත්තරො” වේ. ශ්‍රාවක භාවය කැමති අයට ඒ සඳහා ස්වක්ඛාත ආදී ගුණයන්ගෙන් යුත් උතුම් ධර්‍මය දේශනා කරන හෙයින් “ධම්මවරං අදෙසයී” වේ. ඉතිරි පද ඉහත කී අයුරින්මය.