මාතාපිතුඋපට්ඨානන්තිගාථාවණ්ණනා
දැන් “මාතාපිතු උපට්ඨානං” යන මේ ගාථාවෙහි මාතුච පිතුච (මවද පියාද) මාතාපිතු වේ. උපට්ඨානං යනු උවටැන් කිරීමයි. පුත්තානංච දාරානංච (දරුවන්ටද බිරියන්ටද පුත්තදාරස්ස වේ. සඞ්ග්රහ කිරීම “සංගහොයි” න ආකුලා (වියවුල් නොවූයේ) අනාකුලායි. කර්මයෝම කම්මන්තා වේ. ඉතිරිය කියන ලද පරිදිමය. මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “මාතා” මව නම් උපදවන්නිය කියනු ලැබේ. “පිතා” පියා ද එසේමය. උපස්ථානය නම් පා සේදීම, සම්බාහනය, ඇඟ ඉලීම හා නැවීමෙන්ද සිව්පසය සපයා දීමෙන්ද උපකාර කිරීමයි. එහිදී යම් හෙයකින් මව්පියවරු දරුවන්ට බොහෝ උපකාර ඇත්තාහුද අර්ථය කැමැත්තෝ ද අනුකම්පා කරන්නෝ ද වෙත්ද දරුවන් පිටත ක්රීඩා කොට පස්වලින් ගැවසුණු ශරීර ඇතිව පැමිණි කල්හි දැක පස් පිසදමා හිස් මුදුන සිඹින්නාහු හාත්පසින් සිඹින්නාහු සෙනෙහස උපදවත්ද ඒ දරුවෝ වසර සියයක් නමුදු මව්පියවරුන් විසින් දරන්නාහු ඒ මව්පියන්ට ප්රත්යූපකාර කිරීමට අසමත් වෙති. යම් හෙයකින් ඒ දෙමව්පියෝ (දරුවන්) ඇතිදැඩි කරන්නෝ පෝෂණය කරන්නෝ ලෝකය දක්වන්නෝ ‘බ්රහ්ම’ යයි සම්මත වූවෝ පූර්වාචාර්ය්යයයි සම්මත වූවෝ වෙත්ද එහෙයින් ඔවුන්ට උපස්ථාන කිරීම මෙලොව ප්රශංසාවද පරලොව ස්වර්ග සැපය ද ගෙන දෙයි. එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ. භාග්යවතුන් වහන්සේ විසින්,
“මව්පියෝ දරුවන්ට බ්රහ්මය හයිද පූර්වාචාර්ය්යහයිද ආහුනෙය්යහයිද දරුවන්ට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.
“එහෙයින් නුවණැත්තා ඔවුන්ට නමස්කාර කරන්නේය. ආහාරයෙන්ද යලි පානයෙන්ද වස්ත්රයෙන්ද යහනින්ද ඇඟ ඉලීමෙන්ද නෑවීමෙන්ද පා දෙවීමෙන්ද ඔවුන්ට සත්කාර කරන්නේය.
මව්පියන් කෙරෙහි ඒ සේවය කිරීමෙන් පණ්ඩිතයෝ මෙලොවදී ප්රශංසා ලබත්. හේ පරලොව ගොස් සවර්ගයෙහි සතුටු වේ යන මෙය දේශනා කරන ලදි.
තවත් අර්ථකථනයක් ඇත. උපස්ථානය නම් භරණ (පෝෂණය කිරීම) කිච්චකරණ (කළ යුතු කාර්ය්ය කිරීම), කුලවංසට්ඨපන (කුල පරම්පරාව පවත්වාගෙන යාම) ආදී වශයෙන් පස් ආකාර වේ. එය පවින් වැලැක්වීම ආදී පස් වැදෑරුම් දිට්ඨ ධම්මික (මෙලොවට අයත්) යහපතට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතය. භාග්යවතුන් වහන්සේ විසින්
“ගෘහපති පුත්රය පුත්රයා විසින් කරුණු පහකින් පෙරදිග නම් වූ මව්පියෝ උපස්ථාන කළ යුත්තාහ. ඔවුන් විසින් පෝෂිත වූ මම ඔවුන් පෝෂණය කරන්නෙමි. ඔවුනට පැමිණී කටයුතු කරන්නෙමි. කුල පරපුර රැකගන්නෙමි. මව්පියන්ගෙන් ලැබූ දෑවැද්ද (ඔවුන්ගේ අවවාද පරිදි) පවත්වන්නෙමි. කළුරිය කළ පරලොව ගිය මාපියනට පින් දෙන්නෙමි යනුයි. ගෘහපති පුත්රය මේ කරුණු පහෙන් පුතු විසින් පෙරදිග වූ මව්පියෝ උවටන් කරන ලදහු කරුණු පහකින් යුතුව අනුකම්පා කෙරෙත්. (මව්පියෝ) පුතු පවින් වළක්වත්, පිනෙහි යොදවත්, ශිල්ප හදාරවත්, සුදුසු ස්ත්රියක පාවාදෙත්, සුදුසු කල්හි දෑවැද්ද පවරා දෙත්” යන මෙය දේශනා කරන ලදි.
තවද යමෙක් මව්පියන් තුළ තෙරුවන් කෙරෙහි ප්රසාදය ඉපිදවීමෙන් ද ශීල සමාදානයෙහි යෙදවීමෙන් ද නැතහොත් පැවිද්දට යොමු කිරීමෙන් ද උපස්ථාන කෙරෙයි. මෙතෙම මව්පියන්ට උපස්ථාන කරන්නන් අතර ශ්රේෂ්ඨයාය. ඔහුගේ ඒ මව්පිය උපස්ථානය මව්පියන් විසින් කළ උපකාරයට ප්රත්යුපකාර වූයේ නොයෙක් ආකාරයේ දිට්ඨධම්මික වූ ද සම්ප්රදායික (පරලොවට අයත්) වූ ද අර්ථයන්ට පදනම් වන හෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
“පුත්තදාරස්ස” යන මෙහි තමාගෙන් උපන් පුත්තු ද දූවරුද “පුත්රයෝ” යයි ගණන් ගැනෙත්. “දාර” යනු විසි වැදෑරුම් භාර්ය්යාවන් අතුරින් යම්කිසි භාර්ය්යාවක්, පුත්තාච දාරාච (දරුවෝ ද බිරිඳ ද) පුත්තදාරං වේ. ඒ අඹුදරුවන්ට “සඞ්ගහො” යනු සම්මානන (බුහුමන් කිරීම) ආදී උපකාර කිරීමයි. එය සුසංවිහිත කම්මන්ත (මැනවින් සංවිධානය කළ කටයුතු ඇති) ආදී දිට්ඨධම්මික (මෙලොවට අයත් හිත සුවයට හේතුවන බැවින් මඞ්ගලය දත යුතුය. භාග්යවතුන් වහන්සේ විසින් “බටහිර දිශාව අඹුදරුවෝ යයි දත යුතුය යන මේ කාරණය දේශනා කරන ලදි. මෙහි දක්වන ලද අඹුදරුවන් “හරිය” ශබ්දයෙන් සංග්රහ කොට “ගෘහපති පුත්රය කාරණා පහකින් සැමියා විසින් බටහිර දිශාව වූ භාර්ය්යාවට උපස්ථාන කළ යුතුය. බුහුමන් කිරීමෙන්, අවමන් නොකිරිමෙන් බිරිද ඉක්මවා කටයුතු නොකිරිමෙන් ඓශ්වර්ය්ය පැවරිමෙන්, වස්ත්රාභරණ පරිත්යාග කිරිමෙන් යන මේ කරුණු පහෙනි. ගෘහපති පුත්රය, මේ කරුණු පහෙන් සැමියා විසින් උපස්ථාන කරනු ලැබූ බටහිර දිශාව වූ භාර්ය්යාව කරුණු පහකින් සැමියාට අනුකම්පා කරයි. මනා ලෙස සංවිධානය කළ කටයුතු ඇත්තී වෙයි. මනාකොට සංග්රහ කළ පරිජනයා (දැසිදස්සන්) ඇත්තී වෙයි. සැමියා ඉක්මවා කටයුතු නොකරයි. උපයන ධනය ආරක්ෂා කරයි. සියලු කාර්ය්යයන්හි දක්ෂ වූ අනලස් වූ තැනැත්තියක් වෙයි යනුවෙන් වදාළහ.